Wednesday, December 3, 2008

ආසියාවේ හොඳ ම මාධ්‍යවේදියාට කන්දෙමු

තාම උදේ පාන්දර ය. කුකුළා හැඬලුවා පමණි. පත්තර බෙදන කොලුවා තාම ආවේ නැත. උදේ පාන්දර පින්න නිසා එළියට පහළියට යන්න ද බැරි ය. කම්මැලි කම යන්නත් එක්ක කුමක් හෝ කියවන්න ඕනයයි සිතූ මම ඇඳ යටට අත දැම්මෙමි. මේ එහි පත්තර කරදහියක තිබූ මසුරන් කතුවැකියෙකි. පෙරමුණේ රාළ කිව්වට කියවලම බලමුකෝ ආයුබොවන්ඩ.

ආසියාවේ හොඳ ම මාධ්‍යවේදියා ලෙස එන්. රාම් මහතා පත් ව සිටී. එන්. රාම් යනු ‘ද හින්දු’ පුවත්පතෙහි ප‍්‍රධාන කතුවරයා ලෙස ද ‘ෆ්රන්ට්ලයින්’ සඟරාවෙහි කතුවරයා ලෙස ද කීර්තිමත් වෘත්තීය භාවයක් හිමිකරගත් ජ්‍යෙෂ්ඨ පත‍්‍රකලාවේදියෙකි.

සමාජ විශ්ලේෂකයකු හැටියට ද දේශපාලන විචාරකයකු හැටියට ද රාම් මහතා ප‍්‍රකට ය. ආසියාවේ දේශපාලනය පිළිබඳ උනන්දුවක් ඇති බොහෝ විද්වත් හු රාම් මහතා ගේ ලිපි - ලේඛනවලට ආකර්ෂණය වෙති.

වයස අවුරුදු විසිදෙක තරම් වූ තරුණ අවදියේ ම ඇමෙරිකාවේ කොලොම්බියානු විශ්ව විද්‍යාලයයෙන් පුවත්පත් කලාව පිළිබඳ ගෞරව උපාධියක් හිමිකරගත් රාම් මහතා ශිෂ්‍ය අවදියේ ම වාම දේශපාලනයට යොමු වූ බව කියැ වේ.

1967 – 1968 කාලයේ ඇමෙරිකන් ශිෂ්‍ය ව්‍යාපාරය තුළ මතු වූ බොහෝ විරෝධතාවල පෙරමුණ ගත් කි‍්‍රයාකාරිකයකු ලෙස ද ඇතැම් හු එන්. රාම් හඳුන්වති.

පසුකලෙක ඉන්දියාවේ ‘බෝෆෝස්’ අවි ගනුදෙනුව පිළිබඳ තොරතුරු හෙළි කරමින් රට දේශපාලන වෙනසකට යොමු කළේ ඔහු බව ද කියැ වේ.

ශ‍්‍රී ලංකාවේ අප එන්. රාම් මහතාට කන්දිය යුත්තේ මන් ද? එම තර්කයට අදාළ ප‍්‍රධාන සාධක දෙකක් තිබේ. පළමුවැන්න ඉතා නිවැරැදි ව හා විචක්ෂණශීලි ව මෙරට ත‍්‍රස්තවාදය විග‍්‍රහ කිරීමට රාම් මහතා සමත් ව තිබීම ය.

දෙවැන්න ආසියාව තුළ සමාජයට වගකියන ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම සඳහා රාම් මහතා යොමු වී සිටීම ය. මේ ප‍්‍රවාහ දෙක තුළ ම එන්. රාම් මහතා දැවැන්තයෙකි.

ශ‍්‍රී ලංකාවට බෙහෙවින් ඇලුම්කරන ඔහු මෙරට ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් ඉතා නිවැරැදි විග‍්‍රහ ගණනාවක් ඉදිරිපත් කර තිබේ. ත‍්‍රස්තවාදයෙන් ජනවාර්ගික ගැටලුවට කිසිදු විසැඳුමක් නො ලැබෙන බව ඔහු ප‍්‍රකාශ කළේ කොටි ත‍්‍රස්තවාදය මෝරා වැඩෙමින් තිබූ අවදියේ ම ය.

එමෙන් ම ත‍්‍රස්තවාදයට උපකාර කිරීම සඳහා බලවත් රටවල් ඉදිරිපත් නො විය යුතු බව ද ඔහු අවධාරණය කළේ ය. ඔහු එය ඉන්දියාවට ද කියා සිටියේ ය.

රාම් මහතා 1992 දී ඉතා වැදගත් ප‍්‍රකාශයක් කළේ ය. එනම්; ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව සාකච්ඡා මේසයට ගෙන ඒම සඳහා බලපෑමක් කළ යුතු ය යන පදනමෙහි සිට එල්. ටී. ටී. ඊ. සංවිධානයට මුදල් ආධාර දී ම, අවි පුහුණුව ලබාදීම හා රැකවරණය ලබාදීම වැනි පහසුකම් සැලයීම බෙහෙවින් වැරැදි සහගත කි‍්‍රයා බව පෙන්වාදීම ය. එහෙත් එම වැරැද්ද ඉන්දියාව එක් වරක් කළ බව ද ඔහු පෙන්වා දුන්නේ ය. (මදුරාසියේ පළවන සුබමංගලා සඟාව)

කොටි සංවිධානය විමුක්ති හමුදාවක් නො වන බවත් ශ‍්‍රී ලංකාවේ වන්නි පළාතෙහි පවතින්නේ පලස්තීන ගැටලුව හා සැසඳිය හැකි තත්ත්වයක් නො වන බවත් රාම් මහතා කියා තිබේ. ඔහු කොටි සංවිධානය සම කරන්නේ කාම්බෝජයේ පොල්පොට්වාදීන්ට හා පීරු රටේ ෂයිනින් බාත් ගරිල්ලන්ට ය.

ශ‍්‍රී ලංකාවේ අවතැන්වූවන් පිළිබඳ ප‍්‍රශ්නයක් ඈඳ්‍රගනිමින් තමිල්නාඩු මහ ඇමැති කරුණානිධි මහතා අල්ලන්නට ගිය අඩව්ව දැඩි ලෙස විවේචනය කරමින් මෙරට යථා තත්ත්වය ඉන්දියාව හමුවේ තබන්නට රාම් මහතා මහත් පරිශ‍්‍රමයක් දැරී ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස හින්දු පත‍්‍ර කාර්යලයට ප‍්‍රහාරයක් එල්ල විය.

ඇතැම් නගරවල දෙමළ අන්තවාදීන් විසින් පුවත්පතෙහි පිටපත් දහස් ගණනක් වීදිවල පුළුස්සා දැමිණි. අලෙවි නියෝජිතයන්ට තර්ජන එල්ල විණි. එහෙත් රාම් මහතා ගේ පෑන මේ කිසිවකින් නැවතුණේ නැත. අවසානයේ සත්‍යය ජය ගත්තේ ය. රාම් මහතා ගේ මතවාදය ද ජය ගත්තේ ය.

මේ ජ්‍යෙෂ්ඨ පත‍්‍රකලාවේදියා ගේ මතයට අනුව ශ‍්‍රී ලංකාවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උතුරේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක වන ආකාරය නිවැරැදි ය.

ත‍්‍රස්තවාදය ශ‍්‍රී ලංකාවට පමණක් නො ව අසල්වැසි ඉන්දියාවට ද බලවත් තර්ජනයෙකි. ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා කි‍්‍රයාත්මක වීමට ඉන්දියාවට මෙන් ම ශ‍්‍රී ලංකාවට ද අයිතියක් තිබේ. ඒ අතර ම දෙමළ ජනතාව ගේ ගැටලු විසැඳීම සඳහා දේශපාලන යෝජනාවලියක් කි‍්‍රයාත්මක විය යුතුය.

ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව මෙන් ම රාම් මහතා ද එය පිළිගනී. දැන් මේ රට තුළ සත්‍යය ලෙස ම සිදුවන්නේ එය යි.

මේ තත්ත්වය තේරුම් නො ගෙන ත‍්‍රස්තවාදය වර්ධනය කිරීමේ පසුබිමක් ඇති කළහොත් එහි භයානක ප‍්‍රතිඵල ශ‍්‍රී ලංකාවට මෙන් ම ඉන්දියාවට ද අත්විඳින්නට සිදු වේ. රාම් මහතා ගේ සියලු දේශපාලන විග‍්‍රහ ඉහත කී කාරණය හා බැඳී පවතී.

එන්.රාම් මහතා ගේ ජනමාධ්‍ය භාවිතය දෙසට යොමු වුවහොත්, පුවත්පත් කලාවේ වෘත්තීයභාවය රැකෙන ප‍්‍රධාන සාධක තුනක් ඇතැයි ඔහු කියයි. පළමුවැන්න පාඨකයා ගේ විශ්වසනීයභාවය රැකීම ය.

දෙවැන්න ප‍්‍රවෘත්ති සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීම හා ඊට අදාළ නිවැරැදි නිගමනයක් ලබාදීම ය. තෙවැන්න ආකර්ෂණීය පිටු සැලැසුම් ඉදිරිපත් කිරීම ය.

ඇමෙරිකන් පුවත්පත් කලාව ගත්ත ද, බි‍්‍රතාන්‍ය පුවත්පත් කලාව ගත්ත ද, අප‍්‍රිකානු හා ලතින් ඇමෙරිකානු පත‍්‍රකලාව ගත්ත ද ඉහත කරුණු තුන පුවත්පත් කලාවේ උසස් ගුණාංග ලෙස සැලකේ.

එන්. රාම් මහතා ගේ නිවැරැදි දේශපාලන දෘෂ්ටිය මෙන් ම ඔහු භාවිත කරන සමාජ වගකීම් සහිත පත‍්‍රකලා න්‍යාය ද අප විසින් නැවත – නැවත අධ්‍යයනය කළ යුතු ව තිබේ. ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය පදනම ඔහුට සම්මානයක් ප‍්‍රදානය කිරීම බෙහෙවින් පැසසිය යුතු කාරණයෙකි.

(දිනමිණ-09/10/31)

6 comments:

සු෴ said...

ඒ සම්මානය වටිනවා වුණත් ඔය පදනමේ සම්මාන දීමේ පදනම ගැනනම් මගේ පැහැදීමක් නැහැ.. දන්නෝ දනිති කිවුවලු.. සල්ලිවලට සම්මාන දීම දැන් ප්‍රවණතාවක් වෙලානේ..දන්නවනම් එන් රාම් මහත්තයත් එන එකක් නෑ ඕව ගන්න.

නාමල් උඩලමත්ත said...

බොහොම ස්තුතියි ප්‍රතිචාරයට. මට නම් ඔය සම්මානය දීපු අය ගැන අවබෝධයක් නැහැ. ඒ ගැන විස්තර ඇතිව යමක් කිවහැකි නම් අගෙයි.

මට වැදගත් රාම් මහත්මයාගේ ජනමාධ්‍ය භාවිතය සහ ත්‍රස්තවාදය පිළිබඳ එතුමාගේ සහ හින්දු පුවත්පතේ ඍජු ආස්ථානය. එතුමා අපේ රටේ ඇති අර්බූදය මැනවින් අවබෝධ කරගත් විදේශීය ජනමාධ්‍යවේදීන් අතලොස්සෙන් කෙනෙක්.

සරත් ගුණතුංග said...

මාධ්‍ය වේදීන්?? මාධ්‍යවේදීන් මට නම් කවුරුත් එකයි. ඔවුන් ඔවුන්ට අවශ්‍ය හැටියට ප්‍රවෘත්ති විකෘත්ති කරනව. අපට පක්ෂපාතව කථාකල පමණින් 'හොඳයයි' පිලිගැනීමත් නුවනට සුදුසු නැහැ. අපි රූපවාහිනියෙ ක්‍රිකට් මැච් එකක් බලන කොට අපි ඇත්තටම මැච් දෙකෙක් බලනව. එකක් අපිට පේන එක, අනෙක කමෙන්ටේටර් මහත්තය කියන එක. ඒ වගේ තමයි,.... ඔන්න ඔය වගෙයි අද් රටේ තත්වය. ඒ මිනිස්සුන්ට සෑම නිදහසක්ම තියෙනව. ඒවුන්ට විරුද්ධ වුනාම මාධ්‍ය නිදහස කියල බෙරිහන් දෙනව, උන් දත්වලින් පවා බොරු කියන කොට අපි නිකම් අහගෙන ඉන්න ඕන.

නාමල් උඩලමත්ත said...

සරත් මහත්මයාගේ ප්‍රතිචාරයට පිං. කොහොම වුණත් මකුණු න්‍යායට මම කැමති නැහැ. ජනමාධ්‍යවේදීන් කියන්නෙත් මිනිස්සු. ඉතින් හොඳ වැඩි අය වගෙම නරක වැඩි අයත් ඉන්නවා. දෙව්දත් සිහිකරමින් මහා සංඝයාට බැණලා පලක් නැහැ. හොඳ දේ හොඳ විදිහට දකින්න ඕන. මම හිතන්නේ රාම් මහත්තයා වගේ අය ඊනියා ජනමාධ්‍ය නිදහසක් ගැන කතා කරමින් ත්‍රස්තයින්ට විමුක්ති සළු පළඳන අය ආදර්ශයට ගන්න ඕන කියලයි.

සු෴ said...

මෙහෙමයි.
ඔය කියන සම්මාන උළෙල කරන්න සමිමානයට පාත්‍රවෙන මාධ්‍ය ආයතනවලට ආධාර පත්තරයක් යවනවලු..වැඩිම ආධාර දෙන මාධ්‍ය උළෙලේ හොඳම මාධ්‍ය සම්මානය ගන්න එක සාමාන්‍ය දෙයක්ලු.. මේ ගැන හොඳටම අහගන්න පුළුවන් ඔය සම්මාන සඳහා ඉල්ලුම් පත් නොයැවූ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුගෙන් ඇහුවා නම්..
පසුගිය වසරක ඔය පලහිලව්ව නිසා නම කෙටු සම්මානය දුන්නේවෙනත් ආයතනයකටය කියන එක ප්‍රසිද්ධ කරුණක්..
ඉතින් මෙවර සම්මාන උළෙලේදී කිවුවාලු ඊ ගාවට ඉන්දියාවේදී පවත්වන්න බලාපොරොත්තුවෙනවාය කියලා...මට හිතෙන්නේ රාම් මහත්තයාගෙ දැක්ම මොන තරම් ප්‍රශස්ත වුවත්, එතුමාවත් මෙහේදි පාවිච්චි වෙලා මිසක් ඇගයීමකට ලක් වුණා නෙවේය කියලා..

මෙවර ඔය කියන සම්මාන උළෙලේදී හොඳම බෞද්ධ වැඩසටහනට හිමි සම්මානය දුන්නේ මොකකටද දන්නවද ?

නෙත් ගුවන් විදුලියේ පාන්දර විකාශය වන පිරිත්වලට..

මේ විදිහට ගියාම බුදුහාමුදුරුවන්ටත් සම්මාන දෙන්න බැරි නෑ..

අදාල නාලිකාවේ මාධ්‍ය‍වේදියා පිරිත් යනු වැඩසටහනක් නොවේය කියා සම්මානය ප්‍රතික්ෂේප කරලා.. ඊ ගාව වතාවෙ සම්මාන උළෙලත් ප්‍රතික්ෂේප කරනවා කිවුවාලු.. මේ ගැන ඉන් පසු දිනක උදේ විකාශයේ වැඩසටහනකුත් ගියාලු.. මම නම් ඇහුවේ නැහැ.

ඉන්පස්සෙන් පහු දිනක මාධ්‍යවේදිනියන්ට සම්මාන දුන්නා.. ඒ ගැන කාන්තාවක්ම අපූරු ලිපියක් ලක්බිමට ලියා තිබුණා..

එයත් හොයා මෙහි පළ කරන්නම්.නාමල්ගේ අමනාපයක් නැත්නම්..

නාමල් කියන දෙය හරි.. මම මේ ලිව්වේ රාම් මහතාගේ දැක්ම සම්බන්ධ දෙයක් නෙවේ.. තනිකරම ඔය සම්මාන විජ්ජාව ගැන පමණයි.. එදා සම්මාන ලැබූ අය අතර අනෙකුත් ගෞරව සම්මාන ලැබූ ප්‍රවීණයින්ට මගෙත් ගෞරවය හිමිවෙනවා.

නමුත් අද සම්මානයක් ගැන සතුටුවෙන්නබැරි තරම් යටි අරමුණුවලින් ඒවා දූෂිත වෙලා..කිසිම ප්‍රමිතියක් නැහැ.ඒ සම්මානවලට වඩා කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව ලියන මෙවැනි බ්ලොග් සටහනක් වටිනවා කියලයි මට හිතෙන්නේ..මේවා තමා අවංක මහජන සම්මාන..

සරත් මහත්මයා කිවු ප්‍රවෘත්ති ලිවීම ගැන මමත් සටහනක් ලියා තිබෙනවා කලකට පෙර.. නමුත් දැන් කිසිවක් පල කරන්න හිතක් නැති නිසා ඒවා ඔහේ තියෙනවා.

නාමල් උඩලමත්ත said...

සු,
මම නොදන්න බොහෝ දේ ලියලා. ඇත්තට ම සතුටුයි. මම වගේ ම මේ අඩවියට එන බොහෝ දෙනා ඔයා නිසා ලොකු දැනුමක් අවබෝධයක් ලැබුවා කියලා මම හිතනවා. ඒකට ඔයාට පිං. 'සබ්බ දානං ධම්ම දානං ජිනාති' (සියලු දානවලට වඩා ධර්ම ධානය උතුම් ය.) කියලා නොවැ අපේ බුදු රදුන් වදාළේ.
ඇත්තට ම මම ඔය සම්මානය නිසා නෙමෙයි මේ රාවෝ මහත්මයාට ගරු කරන්නේ. එතුමාගේ මාධ්‍ය භාවිතය නිසා.

අපේ රටේ ඉන්න මාධ්‍යවේදීන් ජනතාවට කෙතරම් එපාවෙලා ද කියලා සරත් මහත්මයාගේ අදහස්වලින් පේනවා. ඒ අදහස්වලට මම එකඟයි. ඒත් මාධ්‍යවේදියෝ හැමෝ ම එහෙම ද? නැහැනේ. හොඳ ම උදාහරණය මොහාන් සමරනායක. එතුමා ඊනියා මාධ්‍ය නිසා ලොවෙත් නැති මානව අයිතිවාසිකම් ගැන මොරදෙන කෙනෙක් නෙමේ. රට වෙනුවෙන් සිය දැනුම ශ්‍රමය භාවිත කළ කෙනෙක්. ඒ නිසා එතුමට මුහුණුපාන්න වුණු ගැටළු බොහොමයි.

කොහොම වුණත් මම බොහෝ දේ ලියලා අප දැනුවත් කළ සැමට පිං!

 
සිය රට දේ සිරි සැප දේ !