Thursday, December 4, 2008

ජී. එස්. පී. තීරකයා කවරෙක්ද?

පෙරමුණේ රාලට බොරු කියන්න කිසි උවමනාවක් නැත. උදේ 6ට පමණ පත්තර කොලුවා සීනුව නාද කරනු තුරු මට නින්ද ගිය බව සැබෑ ය. දනිපනි ගා නැඟිට නින්දෙන් වාගේ පත්තර අරන් ආවෙමි. එහා ගෙදර බළලා ඒ අස්සේ කාමරයට රිංගගෙන ය. ඌ ඇඳ මුල්ලේ සිට 'ඥාව්' "ඥාව්' ගාන්නට විය. ඌට පමණක් නොව පෙරමුණේ රාළට ද නැතිබැරිකම් ඇත. ඒත් මේ රාල කාගෙන්වත් ඉල්ලන් කන්නේ නැත.

එහෙත් අපි රටක් ජාතියක් ලෙස දැන් හිඟා කෑම ආඩම්බරයෙන් සලකමු. අපේ හොඳ ම නායකයා ලෝකේ වටේ ගොස් වැඩියෙන් ම හිඟාකන එකා ය. අපට කොහෙන් හෝ සහනාධාර නොලැබේ නම් අපි හාමතේ මැරේ යයි දැන් ජනතාව සිතති. මේ මොන තරම් අවාසනාවක්දැයි රාළට දිනකට සිතෙන්නේ වරක් දෙවරක් නොවේ. මේ කතාව ඒ ගැන ය. කියවල ම බලමුකෝ?

සුනාමිය විසින් අපෙන් ගන්නා ලද දේ මෙන්ම අපට දෙන ලද දේ ද තිබේ. අපෙන් ගන්නා ලද දේ අතර මනුෂ්‍ය ජීවිත, දේපළ, වෙරළාසන්න යටිතල පහසුකම් සහ රටේ ආර්ථිකය වෙයි. අපට ලැබුණ දේ අතර විදේශීය සහනාධාර, ජාත්‍යන්තර අනුකම්පාව, ජී. එස්. පී. ප්ලස් පහසුකම යනාදිය වෙයි. ජී. එස්. පී. ප්ලස් යනු යුරෝපය විසින් වෙනත් රටවලින් ඇණවුම් මිලට ගැනීමේදී සුනාමියෙන් හානියට පත් වු රටවල නිෂ්පාදනය කරන ඇණවුම්වලට ප්‍රමුඛත්වය ලබා දීම ය. මේ නිසා සුනාමියෙන් හටගත් ආර්ථික අමාරුකම්වලට පිළිසරණක් ලැබෙන බව මේ පහසුකම තීරණය කිරීමට පුරෝගාමී වු රටවල් කල්පනා කරති. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වන බවටත් ඒ නිසා ජී. එස්. පී. සහනය නො ලැබෙන බවටත් මේ දිනවල කට කතා පැතිර යමින් පවතී. ජී. එස්. පී. සහනය ලබා දුන්නේ සුනාමි සහනාධාරයක් හැටියට බවත් එම සහනය ප්‍රදානය කිරීමේදී මානව හිමිකම් උල්ලංඝනය වීම කොන්දේසියක් හැටියට සඳහන් නො කෙරුණු බවත් සඳහන් කරන්නේ මේ කාරණය පිළිබඳව අනාගතයේදී ඇතිවිය හැකි සංවාදවලදී පාඨකයාට ප්‍රයෝජනවත් වනු පිණිස ය.

මෙහිදී මේ රටේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව කෙටි විග්‍රහයක් කිරීම වැදගත් ය. ශ්‍රී ලංකාව තුළ යුද්ධයක් පවතී. රට තුළම කෙරෙන බෙදුම්වාදී යුද්ධයක් වුවද මේ යුද්ධය ක්‍රමවේදය, දේපළ හානි, ජීවිත හානි යනාදිය පැත්තෙන් සලකා බලන කල රටවල් දෙකක් අතර කෙරෙන යුද්ධයක් හා සමාන ය. යුද්ධයක් කෙරෙන්නේ මල් වටිටි සහ සෙමර (පවන් සැලීමට ගන්නා චාමර) වලින් නොව බෝම්බ, රොකටි වෙඩි, උණ්ඩ යනාදියෙනි. මෙහිදී වෙඩි වදින කවර පාර්ශ්වයක වුවද මානව හිමිකම් උල්ලංඝනය වෙයි. රටේ නීත්‍යානුකුල යුද හමුදාව ත්‍රස්තවාදියාට වෙඩි තැබු විට ඔහුගේ මානව හිමිකම් උල්ලංඝනය වෙයි. ත්‍රස්තවාදීයා යුද හමුදාවට වෙඩි තැබු විට යුද හමුදාවේ මානව හිමිකම් උල්ලංඝනය වෙයි. මෙය යුද්ධයක් තුළදී නො වැළැක්විය හැකි තත්ත්වයකි. මේ සඳහා ඉතා සරල ජාත්‍යන්තර උදාහරණයක් ගනිමි. එක්දහස් නවසිය අනු ගණන්වලදී ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කරන ලදී. එවිට කුවේටයේ මානව හිමිකම් උල්ලංඝනය විය. ඊළඟට ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය ප්‍රමුඛ යුරෝපා රටවල් සමුහයක් (අපට ජී. එස්. පී. සහනය සැපයු උදවිය) ඉරාකයට බෝම්බ දමා එරට කුඩු පටිටම් කළේ ය. එවිට ඉරාකයේ මානව හිමිකම් උල්ලංඝනය විය. එය යුද්ධයේ ස්වභාවයයි. ත්‍රස්තවාදී කණ්ඩායමක් ශ්‍රී ලංකාව දෙකඩ කරන ලෙස ඉල්ලා තුවක්කු ගෙන වෙඩි තබන විට හා බෝම්බ පුපුරුවන විට පෙරළා වෙඩි තැබීම හැර වෙන යමක් ඉතිරි වන්නේ නැත. වැදගත්ම කාරණය නම් යුද හමුදාව අතින් සිල්ලර මටිටමින් මානව හිමිකම් උල්ලංඝනය වන විට කොටි හමුදාව තොග වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම ය. ඔවුහු සිය හමුදාවට තරුණ ගැහැනු ළමයින් බලෙන් බඳවාගෙන දුෂණය කර යුද බිමට යවති. තුවක්කුවටත් අඩු උසකින් යුතු පිරිමි ළමයින් යුද පෙරමුණට යවති. මේ ළමයි ගෙවල්වලින් පැහැරගත් අය වෙති. කවර මවක්වත් පියෙක්වත් සිය කුඩා පුත්‍රයා හෝ දියණිය යුද බිමට යවන්නේ නැත. එල්. ටී. ටී. ඊ.ය තම ළමා හමුදාව පෙරමුණට යැවීමෙන් මුලින්ම ඒ ළමයින්ට වෙඩි කෑමට සලස්වනු ලැබේ. ඊළඟට ඒ දරුවන්ගේ මළසිරුරු ජාත්‍යන්තර එන්. ජී. ඕ. කාරයන්ට පෙන්වා යුද හමුදාව මානව හිමිකම් කඩකරන බව කියති.

ජී. එස්. පී. ප්ලස් සහනය ලබා දී ඇත්තේ වසර තුනකට ය. එය තවදුරටත් දීර්ඝ කිරීම හෝ කෙටි කිරීම හෝ අත්හිටුවීම එය ලබා දුන් රටවල රාජකාරියකි. එහෙත් සියලු දෙනා මතක තබා ගත යුතුව ඇත්තේ ජී. එස්. පී. නැති කාලයේ ද මේ රට ජීවත් වු බවයි. ඉදිරියේදී ද ජී. එස්. පී. නැති වුවහොත් කිසිදු රටවැසියකු සිය දිවි නසා ගන්නේ නැත. කලක් මේ රටේ ප්‍රධාන ආදායම වුයේ අපනයන භෝග හා මැණික් ය. පසු කාලයේදී ඒ වෙළෙඳපොළ බිඳ වැටුණේය. එහෙත් කිසිදු රටවැසියෙක් එය නිමිත්ත කරගෙන වස පානය කළේ නැත. එල්ලී මළේ ද නැත. ජී. එස්. පී. සහනය හොඳ බව ඇත්ත. එහෙත් ඒ වෙනුවෙන් රටේ ඒකීයත්වය සඳහා ගෙන යන යුද්ධය හෝ ප්‍රතිපත්ති පාවා දිය යුතු නැත. ජී. එස්. පී. නැති වුණොත් ඒ තැන ගැනීමට වෙනත් වාණිජ ක්‍රමවේදයක් පැමිණීමට ඉඩ තිබේ. ඒ ස්වභාවධර්මයයි. සමහර ප්‍රශ්න කාලය විසින් ද තවත් සමහර ප්‍රශ්න ස්වභාවධර්මය විසින් ද විසඳනු ලැබේ. ජී. එස්. පී. ප්‍රශ්නය ස්වභාවධර්මය විසින් විසඳනු ලැබීමට බොහෝ දුරට ඉඩ තිබේ.
(දිවයින 08/12/05)
 
සිය රට දේ සිරි සැප දේ !