Thursday, December 11, 2008

යහපත් හා සුබවාදී සංඥාවක්

මේකත් මම අහුලගත්තේ දිවයිනෙන්. නොදා බැරිම හින්දයි දාන්නේ.

වේළුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ ඓතිහාසික පරාජය දෙස සංවේගයෙන් බලා සිටින ඔහුගේ ගජමිතුරු රාජ්‍ය නොවන සංවිධානවලට පමණක් නොව තමිල්නාඩුවට හා ලංකාවේ දෙමළ සන්ධානයටද අද අවශ්‍යව ඇත්තේ අපේ ආරකෂක හමුදාවන් ආපසු හරවා යැවීම බව නිසැකය. එල්. ටී. ටී. ඊ. ය යුදමය වශයෙන් කිසිදිනක පරාජය කළ නොහැකි යැයි සපථ කළ සියලුදෙනාම විස්මයට පත් කරවමින් ආරකෂක හමුදා මේ වන විටද ඓතිහාසික ජයග්‍රහණ රුසක් අත්පත් කරගෙන සිටිති.

එදා මාවිල්ආරුවලින් සිය පරාජයේ අමිහිර දිව ගෑ ප්‍රභාකරන්ට සාම්පුර්, වාකරෙ\ ඇතුළු මුළු නැගෙනහිරම අහිමි විය. අනතුරුව බටහිර මුහුදු තීරය සමග පුනරීන් ද අහිමි වු අතර මේ වන විට කිලිනොච්චිය අසලටම ආරකෂක හමුදා ළංව සිටින බව ප්‍රභාකරන් දනියි. ප්‍රභාකරන්ගේ මෙම පසුබැසීම "උපක්‍රමික පසු බැසීමක්" ලෙස අර්ථ ගන්වා විචිත්‍ර වාර්තා සපයන කොටි හිතවාදීහු ඔහු බේරාගන්නා සම්‍යක් ප්‍රයෝගයක් ද ඉදිරිපත් කරති. ඒ අන් කිසිවක් නොව සටන් විරාමයයි.

තමිල්නාඩු ප්‍රාන්තයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉන්දියාවේ අගමැති මන් මෝහන් සිං මහතා හමුවී සටන් විරාමයක් සඳහා ලංකාවට බලපෑම් කරන ලෙසද ඉල්ලා සිටියහ. ද්‍රවිඩ සන්ධානයේ සිටින ප්‍රභාකරන්ගේ රුකඩවලටද ඒ අනුව සටන් විරාම ඉල්ලීම පෙරට දැමීමට සිදුවී තිබේ. ප්‍රභාකරන් සිය වාර්ෂික දේශනයේදී කවදාවත් නැති තරමටම ඉන්දියාවට ආයාචනා කර ඇත්තේද තමන්ට සහාය වන ලෙසය.

සිය පරාජයේ අඳුරු සෙවණැලි යට සිට වුවද ප්‍රභාකරන් ඊළාම් සිහිනය මෙන්ම යුද්ධයද අතහැර දැමීමට සුදානම් නැති බව ඔහුගේ වචනවලින්ම පැහැදිලිව පෙනී යයි.

"තමිල් ඊළාම් ජනතාවගේ විමුක්ති ව්‍යාපාරය වශයෙන් අපි අපගේ මාතෘ භුමිය සිංහලයන්ට අත්පත් කර ගැනීමට හෝ ඒ මත ඔවුන්ගේ ආධිපත්‍යය පැටවීමට හෝ ඉඩ දෙන්නේ නැත......" කුමන බලවේගයක් අපගේ මග අවුරා සිටියද දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් අපි ඉදිරියටද සටන් කරන්නෙමු.."

ප්‍රභාකරන් යනු ම්ලේච්ඡ ත්‍රස්තවාදියකු පමණක් බවත් ඔහු දන්නා එකම දෙය ඝාතනය බවත් ඔහුගේ කුපක්‍රට ඉතිහාසය තුළින්ම තහවුරු වී තිබේ. එහෙව් ඝාතකයකුට සටන් විරාමයක් යනු ඉතා පැහැදිලිවම යුද විරාමයක් පමණි. මෙම සටන් විරාමය වෙනුවෙන් පෙනී සිටින අය ද ඔහුගේ අනුදැනුම මත එම ඉල්ලීම කරන්නෝ බව අමුතුවෙන් කිව යුතුද? ප්‍රභාකරන්ගේ ඊනියා වාර්ෂික දේශනය තුළ රුව්දෙන්නේ ඔහු තුළ කැකෑරෙන වර්ගවාදයත් ලේ පිපාසයත් හැර අන් කුමක්ද?

ප්‍රභාකරන්ගේ මෙම දුෂ්ට අරමුණ ඔහු වෙනුවෙන් සටන් විරාම අයදින අය නොදකිත්ද? නොඑසේ නම් දැක දැකත් ඔහු සුරුකීම සඳහා එබඳු මෙහෙවරක යෙදී සිටිත්ද? සැබැවින්ම ඔවුහු සිය ගජමිතුරු ප්‍රභාකරන්ගේ ගමනක අවසානය වෙනස් කිරීමට සටන් විරාම නමැති කඩතුරාව ඉල්ලා සිටින්නෝ නොවෙත්ද?

මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ කම්පනය තවමත් නිවී නැති බව ඉන්දියාව හොඳින් දනී. තම රට වනසන ත්‍රස්තවාදයට සමාව දෙන්නට ඉන්දියාව සුදානම් නැත. එසේ නම් තම සංස්කෘතික මිත්‍රයා වන ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී නායකයා වෙනුවෙන් ඉන්දියාවට එබඳු සටන් විරාමයක් ඉල්ලා සිටීමට සදාචාරාත්මක අයිතියක් නැති බව මන්මෝහන් සිං අගමැතිවරයාගේ හෘදය සාකෂියට දැනෙන බවද නිසැකය.

ශ්‍රී ලංකාවේ විපකෂයට ද මෙම ත්‍රස්තවාදයත් එහි උල්පත බවට පත්ව සිටින ප්‍රභාකරනුත් විනාශ කළ යුතුය යන යථාර්ථ දැක්ම දැන් පහළව තිබේ. පසුගියදා එ. ජා. ප. යේ ජ්‍යෙෂ්ඨයකු වන ලකෂ්මන් සෙනෙවිරත්න මහතා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය එයට සාකෂිය. ත්‍රස්තවාදය යුද්ධයෙන් නිම කළ යුතු බවත්, ප්‍රභාකරන් පමණක් නොව හැකිනම් ප්‍රභාකරන්ගේ බාප්පාදට ද පහර දිය යුතු බවත්, ඔහුගේ අවධාරණය විය. සිය පකෂය සටන් විරාමයකට එකඟ නැති බවද ඔහු පවසා තිබිණි.

ප්‍රභාකරන්ගේ සහ ඔහුගේ ත්‍රස්තවාදය තුළින් වඩාත්ම විනාශයට ලක්වුයේ එජාපය බවද අපි දනිමු. සිය පකෂ නායකයකු ඇතුළු ජ්‍යෙෂ්ඨයන් රුසක්ම එයට ගොදුරු වු වග එජාපයට අමතක විය නො හැකිය. ඒ කුමක් වුවත් දැන් එ. ජා. ප. ය. සටන් විරාමයට එකඟ නොවීමත් ත්‍රස්තවාදය යුද්ධයෙන්ම නිම කළ යුතුය යන ස්ථාවරයට එළඹීමත් ආරකෂක අංශවලටද දිරි වඩන සුලු පුවතකි.

අප මෙම තීරුවෙන් බොහෝවිට දක්වන ලද පරිදිම ත්‍රස්තවාදයට විනා දෙමළ ජනතාවට මේ රටේ සිංහලයන්ගේ හෝ වෙනත් කිසි ජනකොටසකගේ විරෝධයක් නැත. සිංහල, දෙමළ, මුස්ලිම් සමගිය බිඳ දැමු දුෂ්ට බලවේගය ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයම පමණි. එහෙයින් මේ ඓතිහාසික මෙහොතේ පකෂ විපකෂ භේදයකින් තොරව එක්සත්ව ත්‍රස්තවාදය පැරදවීමට ක්‍රියාත්මක වන ක්‍රියාමාර්ග අනුමත කිරීම විපකෂය රටට දුන් යහපත් සංඥාවක් ලෙසද අපි දකිමු.

සටන් විරාම උගුලට යළිත් අප තල්ලු කර හිර කිරීමට තැත් කරන කපටියන්ගෙන්ද අපි ප්‍රවේශම් විය යුතු වන්නෙමු. එසේම ත්‍රස්තවාදය පරදවා දෙමළ ජනතාවගේ ගැටලුවලට දේශපාලන විසඳුමක් ලබාදීමේ වගකීම ද රජයට තිබේ. එහිදීත් පටු අරමුණු ඔස්සේ නොගොස් රටේ ඒකීය භාවයටත්, ස්වෛරීභාවයටත් අබැටකින් තරම්වත් හානියක් නොවන විසඳුමක් කරා යෑමට සියලුම පකෂ වගකීමෙන් ක්‍රියා කරනු ඇතැයි ද අපි බලාපොරොත්තු වෙමු.
(දිවයින 08/12/07)

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !