Wednesday, December 10, 2008

තමිල්නාඩු නායකයන්ගේ රාජ්‍යතාන්ත්‍රික චර්යාව

මේ ඊයේ ලක්බිමේ කතුවැකිය. ඊයේ පත්තරේ වුණත් කාරණේ වැදගත් නිසා පලකළේ ආයුබෝවන්ඩ. කියවලා බලමුකෝ!
තමිල්නාඩු ජනතාව මේ වන විට මුහුණ පා සිටින දැවෙන ප්‍රශ්න කිසිවක් විසඳුමෙහි අසමත්ව සිටින ප්‍රාන්තයේ දේශපාලන නායකයෝ, තමන් වෙත ජනතාවගෙන් එල්ල වන අප්‍රසාදය හා විරෝධය වළක්වා ගන්නට නැතහොත් හැකිතාක් අවම කර ගන්නට විවිධාකාර උපාමාරු යොදමින් සිටිති. විශේෂයෙන් ළඟඳී පවත්වන්නට නියමිත මහ මැතිවරණයේඳී තමන් පරාජයට පත්වනු ඇතැයි යන බිය ඊට හේතු වී ඇත. ජනතා ගැටලු විසඳුමට වඩා ඔවුන්ගේ අභිප්‍රාය බවට පත්ව තිබෙන්නේ කෙසේ හෝ මැතිවරණය ජයග්‍රහණය කිරීමය. උතුරේ දෙමළ ජනතාව පිළිබඳ වෙනදා නොතිබූ අනුකම්පාවක් තමිල්නාඩු දේශපාලනඥයන් තුළ ජනිත වීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන්නේ එම කාරණයයි.
තමිල්නාඩු ජනතාවගේ අවධානය තමන් වෙත දිනා ගැනීම සඳහා දරන ලද තවත් ලාභදායක ප්‍රයත්නයක් හැටියට තමිල්නාඩු කම්කරු මහජන පක්ෂයේ නායක රාම්දාස්ගේ පහත සඳහන් ප්‍රකාශය පෙන්වා දෙන්නට පුළුවන.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ප්‍රනාබ් මුඛර්ජි මහතා පැය හතළිස් අටක් ඇතුළත දී ලංකාවට එවා ශ්‍රී ලංකාවට අවවාද කළ යුතුයයි හෙතෙම කියා සිටී. තමිල්නාඩු දේශපාලනඥයන් සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ හමුදාපතිවරයා කරන ලද එක්තරා විවේචනාත්මක ප්‍රකාශයකට විරෝධය පළකරමින් කම්කරු මහජන පක්ෂ නායකයා එම යෝජනාව ඉදිරිපත් කොට තිබේ.
පැය හතළිස් අටක් ගතවන්නට පෙරාතුව ශ්‍රි ලංකාවට ගොස් ආණ්ඩුවට අවවාද කරන ලෙස යෝජනා කරන තමිල්නාඩු දේශපාලන නායකයින් ශ්‍රි ලංකාවේ ආණ්ඩුව සම්බන්ධයෙන් පසුගිය මාස කීපයක කාලය ඇතුළත අනුගමනය කරන ලද්දේ කෙබඳු පිළිවෙතක්ද? උතුරේ දෙමළ ජනතාවට කොටි ත්‍රස්තවාදයෙන් එල්ල වන තර්ජනය අවම කරනු පිණිස දියත් කොට ඇති මානුෂික මෙහෙයුම් නතර කරවන්නට ඔවුහු විවිධ උපාමාරු යෙදූහ. සර්ව පාක්‍ෂික සමුළු කැඳවා ශ්‍රි ලංකා ආණ්ඩුවට විවිධාකාර බලපෑම් එල්ල කරන්නට ඉන්දිය මධ්‍යම රජය මෙහෙයවා ගන්නට ඔවුන් කටයුතු කළ ආකාරය කිසිවකුට හෝ රහසක් නොවේ. තමිල්නාඩු නළු නිළියන් යොදවාගෙන ශ්‍රි ලංකා ආණ්ඩුව උතුරේ දෙමළ ජනතාවට අමානුෂිකව සලකන බවට චෝදනා එල්ල කළහ. තමිල්නාඩු දේශපාලන පක්‍ෂ නියෝජිතයෝ ඉන්දිය රාජ්‍ය නායකයන් මුණගැසීමට ගොස් කොටි ත්‍රස්තවාදීන් පරාජයෙන් වළකා ගන්නට මැදිහත් වන ලෙස වක්‍රාකාරයෙන් ඉල්ලා සිටියහ.
කම්කරු මහජන පක්ෂ නායක රාම්දාස් ප්‍රකාශ කරන ආකාරයට, එලෙස ශ්‍රි ලංකාවේ ආණ්ඩුව විවේචනය කරන්නට හා වෙනත් විරෝධතා ව්‍යාපාර දියත් කරන්නට අයිතිය ඇත්තේ ඔවුන්ට පමණකි. ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ තම අදහස් පළකරන්නට හෝ විවේචනය කරන්නට හෝ ශ්‍රි ලංකාවේ කිසිවකුට අයිතියක් නැත. පැය හතළිස් අටක් ගත වන්නට පෙර ශ්‍රි ලංකාවට ගොස් ආණ්ඩුවට අවවාද කරන ලෙස ඉනදියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයාට ඔහු යෝජනා කර තිබෙන්නේ එබැවිනි.
එබඳු යෝජනා ඉදිරිපත් කිරීම මගින් ඉතා පැහැදිලිව තහවුරු වන්නේ ඔවුන්ගේ රාජ්‍යතාන්ත්‍රික චර්යාවයි. දෙරටක් අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතා තම දේශපාලන වාසියට ඉවහල් වන ආකාරයට පාවිච්චියට ගත හැකියයි ඔවුහු සිතා සිටිති.
ත්‍රස්තවාදයේ ග්‍රහණයට හසුව පීඩාවට පත්ව සිටින උතුරේ සිවිල් ජනතාව වෙනුවෙන් තමිල්නාඩු නායකයන් කිඹුල් කඳුළු හෙළන්නේ කවර වාතාවරණයක් තුළද? ඉනදියාවද ත්‍රස්ත ප්‍රහාරයකට ගොදුරුව සිටින අවස්ථාවකය. තමිල්නාඩු නායකයන්ගේ සැබෑ අවශ්‍යතාව කුමක්ද යන්න එමගින් වුව වටහා ගත හැකිය. දේශපාලන වාසි විනා තම ප්‍රාන්තයේ ජනතාවගේ ආරක්‍ෂාව කෙරේ වුව ඔවුන්ගේ අවධානය යොමුව නැත.
තමිල්නාඩු නායකයන්ගේ විරෝධතා ව්‍යාපාර හා යෝජනා ආදිය කෙරේ දැක්වූ ප්‍රතිචාරයෙන් පැහැදිලි වනුයේ ඔවුන්ගේ එවන් ව්‍යාපාරවල හරය, ඉන්දීය රජය විසින් වටහා ගෙන තිබෙන ආකාරයයි. රාම්දාස්ගේ යෝජනාව සම්බන්ධයෙන්ද ඊට වෙනස් ප්‍රතිචාරයක් ඉන්දීය මධ්‍යම රජය විසින් නොදක්වනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !