Tuesday, December 30, 2008

විපක්ෂ නායකට මුඛවාඩමක් අවශ්‍යය යි !

මේ රටේ ත්‍රස්තවාදය ඔඩු දුවා විශාල ප්‍රශ්නයක් වීම කෙරෙහි රට පාලනය කළ සියලු දෙනා වගකිව යුතු බව රාලගේ මතයයි. ආණ්ඩු පක්ෂය ඊට විසඳම් දෙන විට විරුද්ධ පක්ෂය එහි නැති අඩපාඩු පෙන්වමින් විරුද්ධ වීම මෙරට සම්ප්‍රදායයි. විරුද්ධ පක්ෂය ආණ්ඩුව කරන සියල්ලට විරුද්ධ විය යුතුය යන දුප්පත් මානසිකත්වයේ මෙරට සියලු විපක්ෂ පෙළුණි. අද ද එසේ ය. 9/11 ප්‍රහාරයේ දී ඇමරිකානු විපක්ෂය මෙන් ම නොබෝ දා මුම්බායි ප්‍රහාරයේ දී ඉන්දිය විපක්ෂය ක්‍රියා කළ අයුරු ප්‍රශංසනීය වේ. එහෙත් අප ඒවා ආදර්ශයට ගත යුතු නැත. එසේ ආදර්ශයට ගත්තේ නම් රනිල් අද මෙතැන නැත. අනෙක් බොහෝ අය ද නැත. රාල මේ කතුවැකිය පළ කරන්නේ හැමදාම මේ රටේ විපක්ෂ නායකයින් කළ දෑ සිහිපත් කරනට ය. ඔහුට අවශ්‍ය රට නොව අම්මා අප්පා වුව බිල්ලට දී පර්චස් භාගයක හෝ ජනපති වීමට ය. රනිල්ට විතරක් ඒ උරුමය අමකත කළ හැකි ද? එසේ කරන්ටැයි කීම හරි ද? "ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට" කීවේ කට කහනවාට නොවේ.

ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් මහතා වරක් මෙසේ කියා තිබේ. ‘ත‍්‍රස්තවාදය පරාජය කිරීමට නම් දැඩි අවධානයකින් පසු විය යුතු ය. අධිෂ්ඨානයෙන් යුතු ව කි‍්‍රයාත්මක විය යුතු ය.

ත‍්‍රස්ත ප‍්‍රහාර හෙළා දැකීම පමණක් නො ව අප ගේ තොරතුරු ත‍්‍රස්තවාදියා ට නො දී සිටීමට ද අප වග බලා ගත යුතු ය’ ත‍්‍රස්තවාදයෙන් හොඳට ම පාඩම් උගත් අමෙරිකාවේ රාජ්‍ය නායකයා එසේ කියන්නේ විහිළුවක ට නො වේ.

ත‍්‍රස්තවාදියා අප ගේ ශක්තිය මැන බැලීමට ත්, තොරතුරු විමර්ශනය කිරීමටත් තම කාලය, ශ‍්‍රමය හා ධනය වැය කරයි. එය ත‍්‍රස්තවාදියා ගේ අනාගත සැලැසුම් සඳහා අත්‍යවශ්‍ය වේ. මේ අතර අප ගේ ඇතැම් නායකයෝ ත‍්‍රස්තවාදියා ට නොමිලේ ම විස්තර සැපැයීම ට උත්සුක වෙති.

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා යුද්ධය ට සම්බන්ධ තොරතුරු ගැන ආණ්ඩුවෙන් විමසා සිටී. ඒ ප‍්‍රසිද්ධියේ ය. එතුමා ට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගැන දැන ගන්නට වුවමනා කර තිබේ.

ගුවන් යානා කො පමණ ප‍්‍රමාණයක් තිබේ ද ? එම යානා වල ගෙන යා හැකි ගුවන් මගීන් ගේ ප‍්‍රමාණය කොපමණ ද ? අලුත්වැඩියා කළ ප‍්‍රහාරක යානා කොපමණක් තිබේ ද ? සමහර යානා අලුත්වැඩියා නො කරන්නේ මන් ද ? වැනි ප‍්‍රශ්න ගණනාවක් රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් විමසා තිබේ.

ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයක් පවතින රටක දේශපාලකයකු මෙබඳු මෝඩ ප‍්‍රශ්න විමසන අවස්ථාවක් අප ගේ මතකයට නො නැඟේ.

කිසිවකු කොටි සංවිධානයට තොරතුරු සපයන්නේ ද ඒ ගැන අප ට ඇත්තේ බලවත් අප‍්‍රසාදයෙකි. බලවත් විරෝධයෙකි. රටට ආදරයක් ඇති සියලු දෙනා එබඳු දුෂ්ඨ ප‍්‍රයෝග පිළිකුලෙන් යුතු ව ප‍්‍රතික්ෂේප කරනවා ට සැකයක් නැත.

එපමණකින් නො නැවතී සියලු දෙනා ඊට විරුද්ධ විය යුතුය යනු අප ගේ අවංක හැඟීම වේ. දැන් පෙනෙන හැටියට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ප‍්‍රමුඛ කොටි සංවිධානයට තොරතුරු සැපැයීමක යෙදී සිටී. වික‍්‍රමසිංහ මහතා ප‍්‍රසිද්ධියේ විමසන සෑම ප‍්‍රශ්නයක් ම කොටි සංවිධානයට ඉතා වැදගත් ය. ඒ සියලු ප‍්‍රශ්න ප‍්‍රභාකරන් ගේ ප‍්‍රශ්න වනු ඇත.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන දේශපාලන ගැටලුව බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය නම්; එය පිටුදැකීම සඳහා ප‍්‍රධාන පක්ෂ දෙක ම යම් කැපවීමක් කළ යුතු ය. එහෙත් දිගු කාලයක සිට ම එජාපය එය මඟ හරිමින් සිටී. විශේෂයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ගේ නායකත්වය යටතේ කොටි ත‍්‍රස්තවාදයට අහිතකර යමක් කිරීමට එජාපය පෙළැඹී නැත.

ත‍්‍රස්තවාදය විනාශ කරනු වෙනුවට ඊට පණ පෙවීමේ කි‍්‍රයාවලියක ඔව්හු නිරත ව සිටිති. රනිල් ආණ්ඩුව හා එල්. ටී. ටී. ඊ. සංවිධානය අස්සන් තැබූ සටන් විරාම ගිවිසුම ඊට කදිම සාක්ෂ්‍යය වේ. එම කාලයෙහි කොටි සංවිධානය සන්නද්ධ අංශයේ මෙන් අන්තර්ජාතික දේශපාලනය ඔස්සේ ද වඩාත් ශක්තිමත් විය. එහි භයානක ප‍්‍රතිඵල අප ගේ ජනතා ව අදත් භුක්ති විඳිති.

වික‍්‍රමසිංහ මහතා මෙහි දී යම් පෙ‍්‍රඩාවක් ද ගෙන යන බව පෙනෙයි. එනම්; රණවිරුවන් ගැන කවදාවත් නො වූ කරුණාවක් පෙරටු කොට යුද්ධය ගැන කතා කරන්නට පටන් ගැනීම ය.

ඔහු කිලිනොච්චි සටන්වල දී මිය යන ආරක්ෂක හමුදාවන්ගේ සංඛ්‍යා ලේඛන ඉල්ලා සිටී. ඒ ප‍්‍රසිද්ධ කිරීම සඳහා ය. සොල්දාදුවන් ගේ මරණ ගණන් කොට වික‍්‍රමසිංහ මහතා ට ප‍්‍රීතියක් ලැබිය හැකි දැ’ යි අප හරියට ම දන්නේ නැත.

එහෙත් ත‍්‍රස්තවාදයට එරෙහි ව කිසිදු බුද්ධිමත් තීන්දුවක් නො ගත් රනිල් වික‍්‍රමසිංහ වැනි නායකයකු සොල්දාදුවන් ගේ මරණ ගැන කියන විට දේශපෙ‍්‍ර්මී ජනතාව ගේ සිත්හි විශාල සැකයක් මතු වේ.

වික‍්‍රමසිංහ මහතා ත‍්‍රස්තවාදී කි‍්‍රයාපද්ධතියට එරෙහි යුද්ධයට අතීතයේ උදවු කෙළේ නැත. වර්තමානයේ උදවු කරන්නේ ද නැත. අනාගතයේ උදවු කරන්නේ යැයි උපකල්පනය කරන්නට ද පුළුවන්කමක් නැත.

ඉතා ඈත අතීතයේ පටන් ම අප ගේ ජාතිය මුහුණ දෙන බරපතළ දේශපාලන ගැටලුවක් තිබේ. එනම්; ඇතැම් නායකයන් විෂයයෙහි පවත්නා පාවාදීමේ ප‍්‍රතිපත්තිය යි හෙවත් කැත සිරිත ය.

ඉංග‍්‍රීසීන් මේ රට මුළුමනින් ම යටත්කර ගත්තේ ද එම කැත සිරිත නිසා ය. එදා ඇතැම් දුෂ්ඨ නායකයෝ තම පටු වුවමනාවන් ඉටු කර ගැනීම සඳහා ජාතික අරගලය පාවා දුන්හ.

එයින් නිදහස් සටන දියාරු වූ අතර අභීත නායකයනට හිස් ගැසුම් කන්නට සිදු විණි. ඒ වෙනුවට කුහක සිංහල නායකයනට සුද්දන් ගේ තාන්න - මාන්න ලැබිණි. අද තත්ත්වය ද ඊට වෙනස් නැත. අප ගේ ඇතැම් දුෂ්ඨ දේශපාලකයෝ කොටි සංවිධානයෙන් ද විවිධ අල්ලස් ලබා ගනිති.

ශ‍්‍රී ලංකාව දේශපාලනික වශයෙන් තීරණාත්මක අවස්ථාවකට එළැඹ තිබේ. ඒ පිළිබඳ විස්තර නැවත - නැවත කීමෙහි තේරුමක් නැත. දැන් අවශ්‍ය වන්නේ සාමූහික ප‍්‍රයත්නයෙකි.

කොටි සංවිධානය ගැන අති සරල ලෙස කල්පනා කිරීම ද වැරැදි ය. සිදුවිය යුත්තේ දේශපෙ‍්‍ර්මීන් ශක්තිමත් ව පෙළගැසී ත‍්‍රස්තවාදයට එරෙහි ව දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කිරීම ය. කොයි හැටි වුව මේ සටනේ ජයග‍්‍රහණය සැමැරිය යුත්තේ අප ගේ වීරෝදාර හමුදාවන් සමඟ ය. ඒ දිනය වැඩි ඈතක නො විය යුතු ය.

ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ත‍්‍රස්තවාදයේ හොඳට ම බැට කන දකුණු ආසියාවේ රටවල් ය. මේ කලාපයේ ත‍්‍රස්තවාදය මරා දැමීම සඳහා විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක විය.

සමහරක් සාර්ථක ය, තවත් දේ අසාර්ථක ය. කෙසේ වුව ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ පළමු පියවර විය යුත්තේ විපක්ෂ නායකතුමා ගේ කටට සුළු කාලයකට හෝ මුඛවාඩමක් බැඳීම ය.

2 comments:

ශාකුන්තල said...

http://groups.google.com/group/sinhalacasting/browse_thread/thread/9b83610d51680ac/1ae39319d6f93eb9?lnk=gst&q=%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8#1ae39319d6f93eb9

නාමල් උඩලමත්ත said...

හරියට හරි. දැන් ඉන්නේ එක්නැලිගොඩලාගේ දොන් ජුවාන්ලගේ මුනිබුරාලා නොවැ.

 
සිය රට දේ සිරි සැප දේ !