Wednesday, October 1, 2008

කොකාකෝලා පිම්බීම

කිව්වම මොකද ආයුබෝවන්ඩ මමත් දැන් වරුස ගාණක් තිස්සේ යනවා නොවැ අර පොත් පෙදර්සනේ බලන්න. බලන්න කිව්වට මම නම් යන්නේ ඔය දුර්ලභ පොතක් දෙකක් තිබුණොත් අරන් එන්න මිසක් රස්තියාදු ගහන්න නෙවේ ඔන්න.
මම දැක්ක ආයුබෝවන්ඩ අපේ තරුණ ගැටව් ඒ කිව්වේ කලිසම ඔන්න වැටෙයි මෙන්න වැටෙයි කියලා හිතෙන පුතාලා රංචු රංචු එහා මෙහා හක්කලන් කරනවා.

ඔන්න ඉතින් ටිකක් ඇවිදින කොට කකුල් කෙටි දෙක රිදෙන්න ගත්තා. තොල කටත් වෙලීලා. ගිරිස්මේ නිසා දාඩිය ඉහෙන් කනෙන් බේරෙනවා. අප්පච්චියේ තැඹිලි ගෙඩියක් බොන්න තිබුණා නම් මසුරං වටිනවා.

"මේ පුතාලා කිට්ටුවක දැක්කේ නැද්ද තැඹිලි ගෙඩියක් බොන්න තැනක්" වෙසක් කූඩු වගේ ලස්සනට ඇඳලා එන පුතාලා කට්ටියකගෙන් මම ඇහුවා.

"අයියෝ අන්කල් මේක ඉන්ටර් නැෂනල් එක්ෂිබිෂන් එකක්. ලැජ්ජ නැද්ද තැඹිලි කෝම්බ ලොවින්න. බොන්නකෝ අර කොකාකෝලා එකක් " ඔන්න ඔහොමයි ආයුබෝවන්ඩ අලි බදින දම්වැලක් කරේ දාගෙන ආපු පුතෙක් මට උත්තර දුන්නේ.

මම ආයේ වටපිට හෝදිසි කරලා බැලුවා රණවරා උගුරක් හරි බෙලි මල් කෝප්පයක් හරි බොන්න ඇහැක් තැනැක්. ඔහේ නෑ ආයුබෝවන්ඩ. හැමතැන ම රට බීම. කෝකාකෝලා පුතාලා නම් සාලාව ඇතුලෙත් උන්නා. මට ඉතින් ඔය ඒරොප්පෙන් එන කෝකාකෝලා අරකෝලා මේකෝලා හරියන් නැහැ නොවැ. අන්තිමට සාලාව පිළිකන්නේ තිබුණ තේ කඩෙන් කහට උගුරක් බීවා.

විදිලි එළියට කළුවර මැකුනට මොකද වේලාව අස්ස පිටේ ගොහිල්ලා. මම දනිපනි ගාලා ආපහු එන්න හැරුණා ගෙදර යන්න. මෙන්න බොලේ අර කලිසං හැලෙන පුතාලා කට්ටියකුත් යනවා. ඒත් ගනිපු පොත් නම් අතේ තිබුණේ නෑ. පොත් නැතුවට මොකද ආයුබෝවන්ඩ ඔක්කොමල්ලා පොඩි පොඩි කෝකාකෝලා කෝප්පවලට බට දාගෙන බිබි යන උජාරුව. සිරියාවේ බෑ.

මම හිතන්නේ ඒ උගත් පුතාලට ගන්න වටින පොත් නැතිව වෙන්නැති. ඔය එක එකා ඒ පුතාල ගැන ඔලොක්කුවට කතා කළාට මම නම් ඔය අලුගුත්තේරු වැඩවලට නෑ.

වතුර මල ළඟට එද්දි නොවැ මම දැක්කේ අර බෝතලේ. කිරි අප්පට බල්ලෝ පැනපි ඒකේ ලොකු. බෝතලයක් හුළං ගහලා පුම්බලා. ඒකේ කෝකාකෝලා කියලා ලියලා. සාලාව ඉස්සරහ හරියට මහබඹා වගේ. මහ පාරට ඇවත් මම ආයෙත් හැරිලා බැලුවා. අම්මපා කිව්වට විස්වාස කරන්න එපා ආයුබෝවන්ඩ ප්‍රදර්සනේ බලන්න නොගිහින් පාර දිගේ ගියානම් ඕන එකෙක් හිතන්නේ කොකාකෝලා ප්‍රදර්සනයක් කියලා. නැද්ද මං අහන්නේ?

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !