Wednesday, November 30, 2011

හම්බන්තොට වරායේ ගලේ කතාව සහ මන්ත්‍රීවරුන්ට දඬුවම් දීම

හම්බන්තොට වරාය පිළිබඳ සිහිනය දුටුවේ ලෙනඩ් වුල්ෆ් මහතා. ඒ සිහිනය සැබෑ කළේ වත්මන් රජය. මේ වරායට ලෙනාඩ් වුල්ෆ් වරාය කියලා දැම්මා නම් අගෙයි. ඒ වුණාට ඉතින් මේ රටේ ඉන්නවා කේවට්ටයෝ ටිකක් ටිකක් ලොකු කක්කුස්සියක් හැදුවත් ඒ මහින්ද රාජපක්ෂ කක්කුස්සි සංකීර්ණය කියලා දාන්න ඕන කියලා හිතන ගොයියෝ ටිකක්. ජනාධිපතිතුමාත් ඉතින් පෘථග්ජන මනුස්සයානේ.

වරාය හදපු ගමන් විපක්ෂය කීවේ වරායේ ගලක් තියෙනවා කියලා. ආණ්ඩුව කීවේ මේ ඉරිසියාවට කියන කතා කියලා. විපක්ෂය මේ ගල දැක්කේ වරායට වතුර පිරෙව්වාට පස්සේ. ඇත්තට ම සැබෑ විපක්ෂයක යුතුකම ආණ්ඩුව කරන කටයුතු අධීක්ෂණය කරමින් වරද නිසි අවස්ථාවේ පෙන්වා දී ඒක නිවැරදි කිරීමනේ. ඒත් අපේ විපක්ෂය ඉන්නේ ගහෙන් ඇන්න මිනිහාට අනින්න බලා ගෙනනේ.

ඔන්න කොහොම හරි ආණ්ඩුව නෑ කීව ගල ආණ්ඩුව විසින් ම පුපුරුවලා. මේ ගල වතුර පුරවන්න කලින් පිපිරෙව්වේ නැත්තේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. මේක වතුරේ පුපුරුවන වර්ගයේ ගලක් වෙන්න ඇති කියලා මම හිත හදා ගත්තා. එහෙම නැත්නම් වරාය බඳින්න කලින් වතුර පුරවන්න කලින් මේ ගල නොතිබෙන්න ඇති. වතුරට ගහ ගෙන ආපු එකක් වෙන්නත් ඇතිනේ දෙයියනේ. සුවල්ප වතුරක් යැ ආවේ මුහුදෙන්.

දැන් ඉතින් විපක්ෂයට හරි ම සතුටුයි. මොකද ආණ්ඩුවට කෙළ වුණා කියලා. මේකට වියදම් වුණු ධන සම්භාරය ගැන සැබෑ කැක්කුමක් ඇති එක මිනිහෙක් හිටියේ නැද්ද අහන්න "ඇයි ගොන් තඩියෝ උඹලා මේ ගලක් වටේ බැම්මක් බඳින්නේ? උඹලා හදන්නේ මූදු පතුළේ ගල් කොරියක් දාන්න ද?" කියලා. ඒ නිසා මේ වරද කළ ආණ්ඩුවටවත් එය නිසි කල පෙන්වා නොදුන් විපක්ෂයටවත් බෑ තමන්ගේ වගකීමෙන් පැනලා යන්න. අශ්වයා ගියාම ඉස්තාලය වහන්න විපක්ෂයක් ඕන නැහැ.

යම් වරදක් කරන්න කලින් පෙන්වා නොදී වරද කළා ම ඇඟිල්ල දිගු කරලා වැඩක් නැහැ. නැව් එන්න බැරි වුණා ම ඕන ම ගොනෙකුට තේරෙනවා මේක. හැබැයි ආණ්ඩුවට නම් ඒත් ‍තේරුණේ නැහැ. ඒ ආණ්ඩුවේ ඉන්නේ ගොන්නු නොවන නිසා වෙන්න ඇති කියලා මං හිත හදා ගන්නම්. මට මතක් වුණේ මහදැනමුත්තා අර එලුවා බේර ගනිපු කතාව.

ඒක නෙමේ ජනාධිපතිතුමා කියලා තියෙනවා විනය විරෝධි ලෙස හැසිරෙන මන්ත්‍රීවරුන්ට දඬුවම් කරනවා කියලා. මාත් එක්ක අපේ ගෙදර ප්‍රවෘත්ති බල බල හිටිය එකසිය දහය (හා කලබල වෙන්න එපා ඒ අපේ බල්ලාගේ නම) පැන්න ගමන් අහපි "එතකොට ඔබතුමාගේ උපදේශක මරපු මන්ත්‍රීතුමාට මොනවාද කරන්න ඕන අතිගරු ජනාධිපතිතුමනි?" කියලා. විනය විරෝධි ලෙස හැසිරෙන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට වෙන්න ඇති මේක කීවේ කියලා ඌට තේරෙන එකක් යැ.

ඔන්න කිව්වා වගේ ම සරණ ගුණවර්ධන නියෝජ්‍ය ඇමතිතුමාට සතියක් පාර්ලිමේන්තුව තහනම් කරලලු. ඕකට ගියත් වැඩක් නැති එකේ දැන් එතුමාට සතියක් කොහේ හරි වන්දනා ගමනක් යන්න පුළුවන්. හැබැයි මම කිසිම මාධ්‍ය වාර්තාවක දැක්කේ නෑ සරණ ගුණවර්ධන මේ ගැටුමට සම්බන්ධ වෙලා ඉන්නවා.

එතන හිටියේ කවුද කියලා රට ම දන්නවා. මර්වින් සිල්වා මහත්තයා නම් කීවා අතපය විසිවුණා කියලත්. මම නම් එතුමා දැක්කෙත් නෑ. මට මතක් වුණේ අර කැකිල්ලේ රජ්ජුරුවෝ හංදියේ කඩේ මුදලාලි අලියා ලවා පාගපු කතාව. නිකරුණේ අලියාට රිද්දන්න බෑනේ. ඒ නිසා හොඳට මස් තියෙන එකෙක් එපායැ පාගවන්න.

2 comments:

නාමල් උඩලමත්ත said...

ඇත්තට ම ගල තියෙන්නේ වරායේ නෙමේ වරාය කටේ. ඒ කියන්නේ වරායට නැව් එන මාර්ගයේ. යකෝ ගේ හදන්න කලින් නේද පාර හදන්නේ.

මේක හරියට ගොළුවාමුල්ලේ ගෙයක් ඇතුළේ විශාල වෙසක් කූඩුවක් හැදුවා වගේ තමා.හදලා බලද්දි කූඩුව එළියට ගන්න බෑ.මොන කරන්න ද ඇතුළේ ම පත්තු කළාලු.

ඕන වැඩක් කරන්න කලින් පූර්ව අධ්‍යයන කියලා ජාතියක් කරනවා රුපියල් මිලියන ගණනක් වියදම් කරනවානේ.

ඒ කියන්නේ ඔය අධ්‍යයනවල දී ඉන්දියන් සාගරේ යන නැව් ගණන් කළා මිසක් වරාය කටේ ගලක් තියෙනවා කියලාවත් හොයා ගන්න බැරි වුණා.හැබැයි දිය යටින් ගින්දර ගෙනියන්න නම් මෙයාලා උපන් හපන්නු. ඒකනේ දිය යට ගල පිපිරෙව්වේ.

නාමල් උඩලමත්ත said...

ආ 'අපේ එකසිය දහය' (මේ අපේ බල්ලා අනේ)කියාපි අර 'භාරත මරපු එක්කෙනාට කැබිනට් ඇමතිකමක් වගේ ආයේ ඔලුව උස්සන්න බැරි දඬුවමක් දෙන්න ඕන කියලා. අනිත් එවුන්ටත් හොඳ පාඩමක් වෙන්නත් එක්ක.'

 
සිය රට දේ සිරි සැප දේ !