Wednesday, November 16, 2011

දුමින්ද අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝගයක්

නැවතත් සුපුරුදු පරිදි අශ්වයා ගිය පසු ඉස්තාලය වසා තිබේ. මේ සියලු කටයුතු යුක්තිය සාධාරණය වෙනුවෙන් සමාජය පුරා බුර බුරා නැගෙන ජනතා හඬ යටපත් කිරීමේ සෙප්පඩ විද්‍යා යැයි නොසිතාම බැරිය. ඉතිහාසය අනුව අපට මේ තීන්දුව සමග ඊළඟ පියවර අනුමාන කළ හැකිය.

1. මේ අහිංසක විනිසුරුතුමා දිගාමඩුල්ලට මාරු කිරීම.

2. භාරතගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කළ නීතිඥයින්ට මරණීය තර්ජන එල්ල වීම සහ ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කිරීම.

3. තවමත් ප්‍රතිකාර ලබන භාරතගේ රියදුරා සිය ඊළඟ සාක්ෂිය මගින් භාරත ඝාතනය කළ අවස්ථාවේ දුමින්ද එහි සිටිනු තමා හරිට ම නොදුටුවේ යැයි ප්‍රකාශ කිරීම.

එහෙත් මේ වන විට සිදුනොවෙතැයි සක්සුදක් සේ පැහැදිලි කරුණු කිහිපයක් ද තිබේ.

1. කේ.පී. සිංගප්පූරුවේ සිට කුදලා ගෙන පැමිණි අතිදක්ෂ නිලධාරීන් ලවා දුමින්ද සිල්වා රැගෙන ඒම.

2. නීති විරෝධි ආයුධ ළඟ තබා ගැනීම, මිනිස් ඝාතන කුමන්ත්‍රණ කිරීම, ඝාතනයට අනුබල දීම, වෙඩි තැබීම, ඝාතනය කිරීම යටතේ නඩු පවරා වරදට දඬුවම් දීම.

මෙසේ මහ දවල් නීතිය අවඥාවට ලක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා බලයට ගෙන ඒමට කළ හැකි සියල්ල මේ ආණ්ඩුව දැන් කරමින් සිටියි. ඔහු බලයට එන්නට කිසිදු උත්සාහයක් දැරිය යුතු නොවේ. මේ ආණ්ඩුව විසින් ඔහු සිහසුන කරා පෙරහැ‍රින් වඩම්මා ගෙන යමින් සිටියි.

මේ අනුව මට ඉඳුරාම කිව හැකි එක දෙයක් තිබේ. ඒ අන් කිසිවක් නොව රනිල් වික්‍රමසිංහ ජනාධිපති කළ හැකි එකම පුද්ගලයා මහින්ද රාජපක්ෂ බවය. ඔහුගේ කැබිනට් මණ්ඩලය මෙන් ම කිට්ටුවන්තයෝ ද ඊට හැකි පමණින් උපකාර කරමින් සිටිති. එවිට උදේ සිට වතුර ඇද හවස කලේ බිඳ ගත්තා වැනි තත්ත්වයට ජනතාව පත්වනු ඇත.

එදා සිරිමා ආණ්ඩුව අක්කර 50ට වැඩි ඉඩම් රජයට ගත් අතර පසුව බලයට ආ ජේ. ආර්. ඒ ඉඩම් සිය ඥාතීන් මිතුරන් සමග දැහැමෙන් සෙමෙන් බෙදා හදා ගත්තේය. තමාගේ කනාටු පොල් වතුවලට සරු පොල් වතු මාරු කර ගත්තේය. ජී.ඇම්. ප්‍රේමචන්ද්‍ර වැන්නන්ට අක්කරය රුපියල් 100ක පමණ මුදලකට අක්කර 550ක පමණ තේ වතු ලබා දුන්නේය.

මෙසේම රනිල් වික්‍රමසිංහ බලයට පත්වු පසු අප මෙතෙක් අත්පත් කරගත් සියලු ජයග්‍රහණ ගඟට කැපූ ඉණි බවට පත්වනු ඇත. ජෝන් අමරතුංග වැන්නන් දැන්ම ම කියන පරිදි රජයට ගත් ආයතන නැවත සිය මිතුරන්ට ලබා දෙනු ඇත. ඒ ආයතන රජය සතුව තිබී ඔවුන්ට ලබා දුන්නේ පහුගිය ආණ්ඩුය. හැකි නම් රනිල් වික්‍රමසිංහ උතුරු නැගෙනහිර කොටින්ට ලබා දී නොබෙල් ත්‍යාගය දිනාගනු ඇත.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !