Wednesday, November 23, 2011

විදෙස් කොටින්ගෙන් දෙමළ සන්ධානයට අප‍්‍රසාදය, එජාපයට ප‍්‍රසාදය

මෙතනදී එජාපය ගැන කතා කළ යුතු නැහැ. රවි, ජයලත් වගේ අය වැඩ කරන්නේ කා වෙනුවෙන් ද අද එජාපය පිනවන්නේ කවුද කියලා අපි දන්නවා. දැන් අනෙක් අයත් දැනගත්තා. රටේ හතුරෝ ප්‍රසාදය පළ කරන්නේ කාටද කියලා කිව යුතු නැහැනේ.

දෙමළ සන්ධානයට බැණ වදින ටැමිල් ඩයස්පෝරාව එජාපයට මල් මිටක් පුදන්න අමතක නොකරන්නේ ඔවුන්ගේ මනදොළ සැපිරුවේ එජාපය නිසා. එදා 2009 ෆොන්සේකා වෙනුවෙන් උතුරු නැගෙනහිර ඡන්ද ලබා දුන්නේ ටැමිල් ඩයස්පෝරාව සහ එජාපය සහ දෙමළ සන්ධානය එකතු වෙලා. එදාත් ඔවුන් රටේ හතුරා කවුද කියලා හඳුනා ගත්තා. අදත් එහෙමයි. ඒ නිසායි එජාපයට මේ මල් මිට.

මට වැදගත් වෙන්නේ දෙමළ සන්ධානය මේ වැදගත් අවස්ථාවේ මහත්වරු ලෙස හැසිරීම. ඔවුන් නියම මහත්වරු විදිහට අය වැයට ඇහුම්කන් දුන්නා විතරක් නෙමේ ජනාධිපතිවරයාගේ සම්ප්‍රදායානුකූල තේ පැන් සංග්‍රහයටත් පැමිණියා. ඔවුන් ටැමිල් ඩයස්පේරාව සන්තර්පණය සඳහා උත්සාහ නොගත් නිසා තමා උදහස. මම හිතන්නේ දෙමළ සන්ධානය වහාම ටැමිල් ඩයස්පෝරාවෙන් වෙන්ව ස්වාධීනව වැඩ කළ කිරීම ආරම්භ කළ යුතුයි. එය පහසු නැහැ. කොහොම වුණත් වලිගයට බල්ලා නටවන්න ඉඩ දීම ප්‍රඥා ගෝචර නැහැ.

මේ විදිහට දෙමළ සන්ධානය හැසිරුණේ සමහර විට ඉතිහාසයේ පළමු වතාවට වුණා වෙන්න ඇති. අපි වරදට විරුද්ධව කතා කරනවා වගේම හොඳක් කළා ම ඒක අගය කරන්නත් නිහතමානි විය යුතුයි. ඒ නිසා මම ඒක අගය කරනවා. මේක රටේ අනාගතය පිළිබඳ සුබ පෙර නිමිත්තක් විදිහටයි මම දකින්නේ.

ඒ සුබ නිමිත්ත විදෙස් අගුපිල්වල ඉන්න අයට සුබ නැහැ. මොකද ඒ රටවලින් ලැබෙන පහසුකම් අඩු වෙයි කියලා ඔවුන් බයයි. ඔවුන් දැන් වසර 30-40ක් ඉන්නේ රටින් පිට වර්තමාන රටේ තත්ත්වය පිළිබඳ අවබෝධයක් නැහැ.

අනෙක් අතට ඔවුන්ට අවශ්‍ය මේ රටේ අරගලවලට මුවා වෙලා ඒ රටවලින් ලැබෙන වරප්‍රසාද භුක්ති විඳින්න පමණයි. එසේ නොමැති නම් ඔවුන් කළ යුත්තේ එජාපයට ප්‍රසාදය පළ කිරීම නොව දෙමළ සන්ධානයට සිය ප්‍රසාදය පළ කිරීම සහ සුබ පැතීම. රජය සමග සහයෝගයෙන් වැඩ කොට දෙමළ ජනතාවගේ යහපත වෙනුවෙන් වැඩ කිරීමට දෙමළ සන්ධානය දිරි ගැන්වීමයි සැබෑ දෙමළ ජනතා ප්‍රේමීන් කළ යුත්තේ.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !