Tuesday, November 29, 2011

ෆොන්සේකා නිදහස් කළ යුත්තේ ඇය?

ෆොන්සේකා නිදහස් නොකලොත් යුධ අපරාධ චෝදනා ගේනවා – ඇමරිකාව

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ නිරුවත මැනවින් පිළිබිඹු කළ අවස්ථාවකි මේක. මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස වගේ විවිධ මාතෘකාවලින් සරසලා ලෝකයට වහං කරන මේ කැත හෙළුව කෙතරම් බිහිසුණු ද ත්‍රස්තවාදී ද අමන ද කියලා අවබෝධ කරගත යුතුයි.

මේ රටේ නීතියට බලපෑම් කරන්න ඇමරිකාවට අයිතියක් නැහැ. ජනතාව ලබා දී ඇති පරමාධිපත්‍ය බලය ආණ්ඩුව අත්තනෝමතික ලෙස භාවිත කරනවා නම් එයට ජනතාව පිළිතුරු සපයනු ඇත. අයුක්තිය හමුවේ ජනතාව නිහඬව නොසිටිනු ඇත.

අනෙක් අතට සැබවින් ම යුද්ධයේ දී මානව හිමිකම් කඩවිනි නම් කළ යුත්තේ ෆොන්සේකාගේ හිර දඬුවමට එම වරද හිලව් කිරීම ද? එසේ කිරීමෙන් උක්ත වරද නිවැරදි වේද? මානව හිමිකම් කඩ කළවුන්ට දඬුවම් ලැබේද? අසාධාරණයට ලක්වුවන්ට ඉන් සිදුවන යහපත කුමක්ද?

මින් අපට නම් මනාව ප්‍රත්‍යක්ෂ වන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ආදී විවිධ වචන සංකල්ප ගණිකා වෘත්තියේ යොදවමින් අන්‍ය රටවලට ඇඟිලි ගසන පාදඩ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. ඔවුන් මේ සාධු සංකල්ප වෙනුවෙන් පෙනී සිටින්නේ යුක්තිය සාධාරණය ඉටු කරන්නට නොව ඇවිලෙන ගින්නෙන් සුරුට්ටු පත්තු කරන්නටය. බොර දිය මාලු බාන්නටය.

මේ බොරු සටන් පාඨ නිර්මාණය වීමට වර්තමාන රජය ද වගකිව යුතු ය. මේ රජය බටහිර ගැති යැංකි පංකි රජයක් නොවන නිසා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඉතා ම සුළු දෙයට පවා ඇඟිල්ල දිගු කිරීමට බලා සිටින බව රජය තවමත් අවබෝධ කර ගෙන නැත.

2009 ලක්ෂ 18න් ජනතාව විසින් පරාද කළ ෆොන්සේකාට අද ජනාධිපතිට බිය වන්නට කිසිදු කාරණයක් නැත. එදා අභීත යුද විරුවා ලෙස අප සිත් පොබ කළ ෆොන්සේකාට තමන් හා තරඟ වදින්නට ඔහුගේ මාණ්ඩලික ප්‍රධානී ධූරයේ ඉල්ලා අස්වීම නොබියව භාර ගත් මහින්දට අද ඇති ප්‍රශ්නය කුමක්ද?

එදා කළ නොහැකි වූ දේ අද ඔහු කෙසේ කරන්න ද? එදා සිටි අපාය සහාය මිත්‍රයෝ ටිකවත් අද ඔහු වටා නැත. ජවිපෙ පවසන පරිදි 2004 පමණක් නොව 2009 සන්ධානගත වීම ද වරදකි. එය ඔවුන් යළි නොකරන බව ද පවසා තිබේ. කළ ද ජවිපෙ දැන් තවත් ත්‍රීවිල් පක්ෂයකි. එජාපය තුළ නියෝජ්‍ය නායක තනතුරකින්වත් ෆොන්සේකාට නොසලකන බව නිසැකය.

කළ යුත්තේ විදෙස් සමුළුවකට යන බව පවසා සිංගප්පූරු සාප්පු සවාරි ගොස් එතනින් හිර ගෙදරට ගිය මහනුවර හිටපු නගරාධිපති නිදහස් කළ කුප්‍රකට විධායක බලය පාවිච්චි කර ෆොන්සේකා නිදහස් කිරීමය. එසේ නිදහස් නොකිරීම මගින් ආණ්ඩුව ෆොන්සේකාට මහජන අනුකම්පාව දිනා ගැනීමේ මගක් පාදා දී තිබේ. එය ඔහුට කරන යහපතකි. එහෙයින් වහාම ඔහු නිදහස් කළ යුතුය. ඔහුට කළ හැකි කෙං ගෙඩියක් නැත. ෆොන්සේකා නිදහස් කළ යුත්තේ ඇමරිකාව කියන නිසා නොව උක්ත කරුණු නිසා ය.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !