Thursday, November 3, 2011

ආණ්ඩුව වට්ටන්න බටහිර ඔත්තු සේවයක් ශ‍්‍රීලනිප ප‍්‍රබලයන් මෙහෙයවයි-පුවතක්

මේ ලෝකේ සිද්ධ වෙන දේවල් දිහා ඇස් ඇර ගෙන බලා ගෙන ඉන්න ඕන. එතකොට තේරෙනවා කොහොමද රටකට විනාශය ළඟා වෙන්නේ කියලා. කැලේ නහන්න කැලේ ගහක් ඕන වගේ අපි විනාශ කරන්න අපේ එකෙක් ඕන. ඒ වගේම විදෙස් අත පෙවීම් සාධාරණීකරණය කරන්න අවශ්‍ය පසුබිම මේ රටේ හැදීමට කිසි ඉඩක් නොතැබීම ආණ්ඩුවේ වගකීම. ඒ කියන්නේ විපක්ෂයේ අයට බටහිර කුමන්ත්‍රණකාරයෝ කියලා හංවඩු ගහන්න මාධ්‍ය සංදර්ශන පවත්වන එක නෙමේ.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ, යහපාලනය නැහැ, මානව අයිතිවාසිකම් නැහැ, කියලා චෝදනා ගොනු කළ හැකි පසුබිම සකස් කරන, ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුවේ වළකපන එවුන්ගෙනුත් ආරක්ෂා විය යුතුයි. කතාවක් තියෙනවා දුර සිටින හතුරාගෙන් නොව ළඟ සිටින මිතුරාගන් පරිස්සම් වෙන්න කියලා. ළඟ සිටින මිතුරාගෙනුත් පරිස්සම් වෙන්න ඕන නම් මිතුරු වෙසින් ළඟින් සිටින හතුරාගෙන් කෙතරම් පරිස්සම් විය යුතුද?

මේ රටේ කාලකන්නි විපක්ෂයට කළ හැකි දෙයක් නැහැ. මේ ආණ්ඩුව විනාශ කිරීමේ ලොකුම වැඩ කොටස කරන්නේ, ඒ කියන්නේ විපක්ෂය බලයට ගෙන ඒමේ කාර්ය කරන්නේ ආණ්ඩුවේ සිටින අයමයි. ඔවුන්ගේ වංචා, දූෂණ, හොර මැරකම් නිසා ජනතාවට ආණ්ඩුව එපා වෙනවා.

ඊට පස්සේ විපක්ෂය හොඳ නිසා නෙමේ, උන් අරගත්තත් හොඳක් නොවන බව නොදන්න නිසා නෙමේ, මේ තක්කඩින්ට පාඩමක් උගන්වන්න ඕන කියලා හිතලා ජනතාව විපක්ෂයට ඡන්දය දෙනවා. එහෙම වුණු දාට මේ රට අපායට ගිහින් තමා නතර වෙන්නේ.

ඒ නිසා වහාම මේ ආණ්ඩුවේ ඉන්න වැදගත් අවංක දෑ හිතකාමී සුළුතරය මේ බල්ලන් බැඳ දැමීමමට කටයුතු කළ යුතුයි. එහෙම නොවුණොත් එදා මහින්ද රාජපක්ෂගේ දෑත ශක්තිමත් කොරන්න දුවගෙන ආපු පිම්මට ම හෙට රනිල් වික්‍රමසිංහගේ දෑත ශක්තිමත් කොරන්නත් දුවන්න බලාගෙන ආණ්ඩුවේ පිරිසක් ඉන්නවා.

එහෙම නොවී වංචා දූෂණ මැරකම් ඉහළ ගියොත් ඒක විවිධ විදෙස් අත පෙවීම්වලට අනුබල දීමක් වේවි. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය ස්ථාපිත කරන්න බටහිර මිනිමරුවෝ මේ හිල්වලින් රටට රිංගන්න බලාවි. අශ්වයා ගියාම ස්ථාලය වසා පලක් නැහැනේ. ඒ නිසා දැන් දැන් සුදානම් විය යුතුයි.

3 comments:

නාමල් උඩලමත්ත said...

අපි මේ ගැන කතා කරලා ගොඩ වෙලාවක් ගියේ නෑ. මෙන්න විදේශ ආක්‍රමණවලට අවශ්‍ය ආකාරයට පුවත් නිර්මාණය කරන විදිහ. (http://www.humanrights.asia/news/ahrc-news/AHRC-STM-165-2011#.TrJmTGdbBzM.facebook) මේවා ඇසුරින් තමා ලෝකය ශ්‍රී ලංකාව දකින්නේ. මේ වගේ නිව්ස්වලින් විදේශ ආක්‍රමණවලට අවශ්‍ය පසුබිම සහ අවශ්‍ය ධෛර්යය මැනවින් ලබා දෙනවා. ඒ වගේ ආක්‍රමණක් කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය ඇති කරලා දෙනවා කියලා මෙරට ජනතාව අතර ලෝකය පුරා මතවාද නිර්මාණය කළොත් මොකද වෙන්නේ? මේ රටේ ඉන්න ආණ්ඩු විරෝධීන් ටිකට, ආණ්ඩුවේ වර්තමාන ක්‍රියා කළාපය නිසා කළකිරි සිටින අයත් එකතු වෙනවා. ඊට පස්සේ අපට වෙන්නේ තවත් එක ලිබියාවක් ඉරාකයක් වෙන්න. ඒ නිසා ආණ්ඩුව වහා අවදි විය යුතුයි. මේ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම සහ නිවැරදි කර ගැනීම මත තමා රටේ අනාගතය තීන්දු වෙන්නේ.

sameera said...

නීතිය බල්ලට ගියා බල්ලා රට ගියා තව මොනවද බං මේ පාණ්ඩුවේ නිවරදි කරගන්න තියෙන්නෙ......

නාමල් උඩලමත්ත said...

මේ ආණ්ඩුව හැදුවේ අද ඒ ආණ්ඩුව විනාශ කරන පැරෂුට්කාරයෝ නෙමෙයි. මේ රටේ දේශමාමක ජනතාව ආණ්ඩුව හැදුවේ. ජනතාව ‍බොහොම බලාපොරොත්තු ඇතිවයි ආණ්ඩුව හැදුවේ. ඒ ආණ්ඩුව මේ රටට ලබා දීපු ජයග්‍රහණ බොහොමයක් තියෙනවා. ඒ ජයග්‍රහණ ආපස්සට හරවන්න අපට උවමනා නැහැ. අපට අවශ්‍ය ඒ ආණ්ඩුවේ වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යන ආණ්ඩුවක්. ලබපු ජයග්‍රහණ ස්ථාවර කරන ආණ්ඩුවක්.

ඒ සඳහා කළ හැකි දේ තමා අපි මේ කරන්නේ. මේ ජයග්‍රහණ මූසල යූඇන්පී ආණ්ඩුවක් පත් කරලා ඒ ගංවතුරට ගහගෙන යන තුරු ඇහ කන පියා ගෙන බලා ඉන්න අපි සුදානම් නැහැ. ඉස්සර නම් වරදට එරෙහිව හඬක් නගන්න ජවිපෙ හිටියා. ඒත් 2005 පස්සේ උන් අයාලේ ගියා. දැන් උන් දෙකට බෙදිලා කුකුල්ලු ඌරෝ හොරකමේ යනවා. ඒ නිසා අපි මහන්සිවෙලා හදපු ආණ්ඩුවේ වැරදි අපි විවේචනය කරනවා. ඒ කුහක විදිහට නෙමේ. ඇත්තට ම රට වෙනුවෙන් කළ යුතු යුතුකමක් විදිහට.

මේ ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත්වීම විතරයි යූඇන්පියට බලයට එන්න ඇති එකම මග. ඒ කියන්නේ මේ ආණ්ඩුව සිය දිවි හානි කර ගැනීම පමණයි යූඇන්පිය ආණ්ඩුවකට උපත දෙන්නේ. කොටින්ම කියනවා නම් රනිල් වික්‍රමසිංහ හෙවත් කළු සුද්දා මේ රටේ ජනාධිපති කළ හැක්කේ මහින්ද රාජපක්ෂට විතරයි. මහින්ද දිගින් දිගට ම ඇස් කන් පියා ගෙන හිටියොත්, තම වටේ ඉන්න පිස්සු බලු රංචුව බැඳලා නොදැම්මොත් ඒ අමිහිරි ඛේදවාචකයට මගේ මව් බිමට මුහුණ දෙන්න වේවි. පසුගිය වසර කිහිපය තුළ ලද සියලු ජයග්‍රහණ ගඟට කැපූ ඉණි වේවි.

ඒ ජයග්‍රහණවලට නායකත්වය දුන්නේ ආණ්ඩුව වුණාට ගාමක බලවේගය වුණේ දේශමාමක ජනතාව. ජන මනස හැදුවේ ධර්මපාල තුමාගේ මනසින් උපන් දේශමාමක බුද්ධිමත්තු පිරිස. ඒ නිසා ඒ ජයග්‍රහණය ආරක්ෂා කර ගැනීමේ වගකීමක් අපට තියෙනවා. අයිතියක් අපට තියෙනවා.
‍‍

 
සිය රට දේ සිරි සැප දේ !