Tuesday, September 22, 2009

එළුවන් කන්නයි මං ආවේ (1)

බුදුන් උපන් රට වුවද නේපාලය අද වන විට හින්දු ආගම රාජ්‍ය ආගම බවට පත් වූ රටක්‌ වන්නේ යම්සේද, එංගලන්තය යනු සුදු ජාතික බහුතරය වෙසෙන ක්‍රිස්‌තියානි රටක්‌ වන්නේ යම්සේද, සෞදි අරාබිය ඉස්‌ලාමය රාජ්‍ය ආගම බවට පත්වූ මුස්‌ලිම් රටක්‌ වන්නේ යම් සේද, කවුරු කොහොම කල්පනා කළත් ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක්‌ බව සිහි මොලය සහිත සියලු දෙනා විසින් ප්‍රතිපත්තියක්‌ වශයෙන් පිළිගනු ලැබේ.

මේ රට සියලු ජාතීන්ට අයත් මනුෂ්‍යයන්ට පදිංචිව සිටීමට අයිතිය ඇති, සියලු ආගම් ඇදහීමට ඉඩ ඇති භූමියක්‌ බව පිළිගැනීම ඉහත කී ප්‍රතිපත්තිමය පිළිගැනීම තුළට අන්තර්ගත කෙරුණු උප පිළිගැනීමකි. කිසිවකු අපගේ සාරධර්ම ගැන අභියෝග කළ විට වසර 2500 ක බෞද්ධ ඉතිහාසය ඇපයට තබා නම්බුව රැකගෙන ඉදිරියට යැමේ ඉඩකඩ තවමත් අපට ඉතිරිව ඇත. එහෙත් මේ අයිතිය ඉතා ඉක්‌මනින් තුරන් වන ලකුණු පැහැදිලිව පෙනෙන්නට තිබේ.

හරක්‌ මස්‌ අනුභව කිරීම අකෘතඥ පාප කර්මයක්‌ බව අපගේ ධර්ම දේශකයෝ අපට කියති. එහෙත් දොස්‌තර අපට කියන්නේ හරක්‌ පීකුදු හෝ එළු පීකුදු අනුභව කරන ලෙසය. පීකුදු ගස්‌වල හටගන්නේ නැත. ඒ සඳහා හරකුන් හෝ එළුවන් මැරිය යුතුම ය. මේ රටේ දිනකට මරණ කුකුළන් ප්‍රමාණය ලක්‍ෂ ගණනක්‌ වන්නට පිළිවන. තමන් ප්‍රාණඝාත අකුසලය නොකරන බව හෘද සාක්‍ෂියට සැඟවීම පිණිස කුකුළන් ඇති කරන කොටුව කුකුළු ගොවිපළ ලෙසත් ඌරන් ඇති කරන තැන් ඌරු ගොවිපළ ලෙසත් හඳුන්වනු ලැබේ. මරාගෙන කෑම පිණිස මසුන් ඇති කිරීමට කියන්නේ මත්ස්‍ය වගාව ය.

මේ සියලු හැඳින්වීම්වලින් මවාපෑමට උත්සාහ කරන්නේ කුකුළන්, ඌරන්, හරකුන්, එළුවන්, මසුන් යන සතුන් ගස්‌ මෙන් පැළ කළ හැකි පොහොර වතුර දමා ලොකු කළ හැකි අන්තිමේදී ගෙඩි කඩාගෙන අනුභව කළ හැකි දේ ලෙස ය. ඔබ මස්‌ කනවාදැයි විමසන ලද කල්හි මා කන්නේ කුකුළු මස්‌ පමණකැයි කියන්නෝ වෙති. පෝයදාට මස්‌ කඩ වැසීම නීතිය වුවද මාළු කඩ විවෘත කර තැබීමට බාධාවක්‌ නැත. කුකුළා, මාළුවා හැදෙන්නේ ගහේ නොවැ.

අප ඉහත සඳහන් කොටස ලියුවේ මේ දිනවල රටේ බහුලව සංවාදයට ලක්‌ කෙරෙන සත්ත්ව සංහාරයක්‌ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. මේ සත්ත්ව සංහාරය වූ කලී පසුගියදා හලාවත මුන්නේස්‌වරම් දේවාලයේදී දෙවියන්ට පූජා කිරීම සඳහා යෑයි කියමින් මහ දවල්, මහජනයා සහ පොලිසිය ඉදිරිපිට එළුවන් 200 කගේ බෙලි කපා මැරීම ය. ශ්‍රී ලංකාවේ නීතියට අනුව ප්‍රසිද්ධියේ සතුන් ඝාතනය කිරීම තහනම් ය. මුන්නේස්‌වරමේ එළු සංහාරයේදී පොලිසිය උඩ බලාගෙන සිටියේය.

ඒ ඇයිදැයි අසමිsන් පොලිසියට බැණවැදීම හා හලාවත පොලිසියේ නිලධාරීන් මාරු කිරීම ඉතා ලෙහෙසි කටයුත්තකි. එහෙත් මේ සිද්ධියට විරුද්ධ වී නම් පොලිසිය මුන්නේස්‌වරමේ ආගමික නිදහසට බාධා කරන බව කියමින් රාජ්‍ය නොවන සංවිධාන එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට පෙත්සම් පවා ගැසීමට ඉඩ තිබිණි. ශ්‍රී ලංකාවේ සත්ත්ව ඝාතන පනත පිළිබඳව ප්‍රවෘත්තියක්‌ අද මේ පුවත්පතේ අන් තැනක සඳහන් ය.

මෙයට ශතවර්ෂ දෙකකට පමණ පෙර ගව මස්‌ කෑම සලකන ලද්දේ කුල ගෝත්‍රවලින් පවා එළවා දැමිය යුතු වරදක්‌ ලෙස ය. ඌරුමස්‌ නම් කිසි විටකත් අනුභව නොකරන ලදී. එහෙත් අද මේ දෙක ශරීර ශක්‌තිය ගෙන දෙන ආහාර බවට "රෙජිස්‌ටර්" කරනු ලැබ තිබේ. රජරටින් හොරකම් කරන ලද හොර හරක්‌ ලොරි කොළඹට එන විට ගවයින්ගෙන් හරි අඩක්‌ තෙරපීම නිසා මිය ගොසිනි. දෙමටගොඩ ගව ඝාතකාගාරයේදී හරකුන්ගේ ගෙල කැපීමට පෙර පොලුවලින් පහර දී කකුල් කඩනු ලැබේ.

ඌරකු මැරීමට පෙර ඌ ගසක බැඳ පොලුවලින් පහර දී කටට උතුරන වතුර වත්කරනු ලැබේ. ඒ ඌරා තවදුරටත් ඉදිමීම පිණිස ය. මේ නීච අපරාධ නැවැත්වීම සඳහා රජය වහාම පියවර ගත යුතු ය. සත්ත්ව ඝාතනයට විරුද්ධව සිවිල් සමාජය තුළින්ම ශක්‌තිමත් ව්‍යාපාර පැන නැඟිය යුතු අතර සත්ත්ව ඝාතන නීති කඩන්නන්ට කස පහර හා සිර දඬුවම් දිය යුතු ය. මේ කතුවැකියේ දෙවන කොටස අපි හෙට ලියමු. මේ රටේ කුකුළු පැටවුන් සහ සුනඛයන් මුහුණදෙන ශෝචනීය ඉරණම එවිට හෙළිදරව් කරමු.

(දිවයින - 09/09/23)

ටිප්පණිය - කතුවැකියේ මුල් පරිච්ඡේදය එසේ නොවන බව මවාපෑමට මෙරට ප්‍රචලිත කර තිබෙන ජනප්‍රිය කුණුහරුපය බහු සංස්කෘතික පචයයි. අපි ඒ ගැන මීට පෙර සාකච්ඡා කර තිබේ. මේ ආකාරයට මීට කලින් ද දරුණු සත්ත්ව සංහාරයන් විවිධ ආගමික නිකායන් කර තිබේ. එහෙයින් වහා ම මේවාට තිත තැබිය යුතුය. බොහෝ ජනවර්ග ජීවත් වන ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත දැනටමත් බිළි පූජා නතර කර තිබේ. මිනිසාගේ ශිෂ්ටත්වයට නිගා දෙන මේ සැහැසිකම් නතර කරලීම බලධාරීන්ගේ යුතුකම ය.

2 comments:

උෂාන් කෝදාගොඩ විතාරණ said...

බලුමස් අරලෙඩේට හෙදයි කිවුවෙත් අපේ බල්ලන්ටත් බඩුම තමා ( http://www.youtube.com/watch?v=oh3iIoLTy10 )

නාමල් උඩලමත්ත said...

මේ රටේ සමහර කාලකන්නි ඉපදිලා ඉන්නේ රැවටෙන්න බලාගෙන. කාලයක් සුද්දෝ අපේ පොල් තෙල් කර්මාන්තය විනාශ කරලා උන්ගේ එළවළු තෙල් අපට කවන්න අලි පචයක් කීවා. පොල් තෙල්වල කොලෙස්ට්‍රෝල් කියලා. මේ රටේ ඉන්න දොස්තර හැත්ත ඒකට කුළියට ගත්තා. සමහරු අදත් පොල් තෙල් නොකා එළවළු තෙල් කනවා. මුන් හිතා ඉන්නේ එළවළු තෙල් කැරට් බීට් වම්බටු මිරිකලා හදනවා කියලා. ඒවා හදන්නේ කටුපොල් එහෙම නැත්නම් ෆාම් ගහේ ගෙඩිවලින්. ඒ ගෙඩි කන බල්ලන්ගෙ ඇඟේ තියෙන මයිල් ටිකත් යනවා ආයුබෝවන්ඩ.

 
සිය රට දේ සිරි සැප දේ !