Tuesday, September 29, 2009

ඇඟේ (ඇගේ) ලේ නෑ!

ශ්‍රී ලංකාවේ ඇඟළුම් ක්‌ෂේත්‍රයේ නියුතු කාන්තාවන්ගෙන් හරි අඩකට ආසන්න පිරිසක්‌ රක්‌තහීනතාවෙන් පෙළෙන්නේ යෑයි ඇඟළුම් ක්‌ෂේත්‍රයේ කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින එලාම් සංවිධානය ප්‍රකාශ කරන්නේය.

ස්‌ත්‍රීන්ගේ ඇඟේ ලේ හිඟවීමට අදාළ විවිධ සෞඛ්‍ය හේතුන් තිබිය හැකිය. එහෙත් යම් ක්‌ෂේත්‍රයක නියෑළෙන ස්‌ත්‍රී ශ්‍රමිකයන් පිරිසකගෙන් හරි අඩකට ආසන්න පිරිසකගේ ඇඟේ ලේ හිඟවීම ඒ හේතු එකකටවත් අයත් නොවන ඉතාම නිශ්චිත ආර්ථික හා දේශපාලනික ප්‍රශ්නයක්‌ නිසා සිදුවන්නක්‌ බව පැහැදිලිය.

මේ ආර්ථික හා දේශපාලනික ප්‍රශ්නය නම් දරුණුම ආකාරයෙන් ශ්‍රම සූරාකෑමය.

මේ වූකලී ශ්‍රම සූරාකෑම අපරාධයක්‌ වශයෙන් හඳුන්වන කාලයක්‌ නොවේ. දැන් එය හඳුන්වන්නේ රටක දියුණුව උදෙසා අනලස්‌ව ක්‍රියා කිරීමේ ස්‌වභාවය වශයෙනි. එහිද යම් සත්‍යයක්‌ ඇතත් ඒ සත්‍යයට මුවා වී කුපාඩිකම් කරන්නන් එසේ නොකරන්නන්ට වඩා වැඩිය.

ඒ වැඩි අයගෙනුත් වැඩිම අය සිටිනා ක්‌ෂේත්‍රය ශ්‍රී ලංකාවේ ඇඟළුම් ක්‌ෂේත්‍රය බව අපගේ වැටහීමය. එහි සිදුවන සූරාකෑමේ ස්‌වභාවයන් කෙතරම් දරුණු සහ ම්ලේච්ඡද යත් එහි නියෑළෙන ස්‌ත්‍රීන්ගේ රුධිරය ඔය තරම්වත් ඉතිරිව තිබීමත් පුදුමය.

ශ්‍රී ලංකාවේ ඇඟළුම් සේවකයකු දැනට උපයන අවම වැටුප රුපියල් 6500 කි. අපට වැටහෙන අන්දමට ශ්‍රී ලංකාව තුළ මේ මුදලින් මාසයක්‌ ජීවත්වීම සඳහා මනුෂ්‍යයකු ආහාර ගත යුත්තේ උගුරට හොරාය. ගමනාගමනය නම් කෙසේ හෝ අදාළ ප්‍රමාණයෙන්ම කළ යුතුය. ඇඳුම් පැළඳුම් බෝඩිං ගාස්‌තු හෝ ගෙවල් කුලී තිබේ නම් ඒවා ගෙවනු සඳහා වෙන කුමක්‌ හෝ නීති විරෝධී දෙයක්‌ කළ යුතුය.

මේසා අසීරු දුක්‌ඛිත ජීවිතයක්‌ ගතකරන මේ රටේ ස්‌ත්‍රීන් කණ්‌ඩායමකගේ සිරුරුවල රුධිරය නොමැතිවීම මොන පුදුමයක්‌ද?

දරිද්‍රතාවත්, අධිකව වෙහෙසවීමත් නිසි පෝෂණ තත්ත්වයන් නොලැබීමත් නිසා මේ කාන්තාවන් බෙහෙවින්ම දුර්වලවී ඇති බවත් ඒ නිසා ඔවුන් රක්‌ත හීනතා රෝගයට සහ ඒ කරණ කොට ඇතිවන තවත් රෝග ගණනාවකට ගොදුරුව සිටින බවත් ඉහත කී සංවිධානය රටට සංවේගයෙන් දැනුම් දෙන්නේය.

කම්කරු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් පසුගියදා මීට අදාළ රෝගීන් පිරිසකට ප්‍රතිකාර ලබාදී තිබේ. මීට පසුවද කම්කරු අමාත්‍යාංශය මෙබඳු රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන බවට අපට සැකයක්‌ නැත.

එය හොඳ වැඩකි.

එහෙත් ඒ නිසා මේ රෝගය විසින් අනාවරණය කෙරෙන රෝග මූලයේ වෙනසක්‌ සිදුවන්නේ නැත.

එසේ වීමට නම්,

කම්කරු අමාත්‍යංශය නොපමාව ඉදිරිපත් වී මේ අහිංසක අසරණ ශ්‍රමිකයන්ගේ ජීවන වෘත්තිය තුළට මැදිහත් විය යුතුය.

ඇඟළුම් ක්‌ෂේත්‍රය යනු රටේ දෙවන ජාතික අපනයන ආදායමයි. කලාපයේ සෙසු රටවල නිෂ්පාදන සමඟ තරග කිරීමට ඒවා ඉස්‌තරම් ප්‍රමිතියකින් නිෂ්පාදනය විය යුතුය. ඒ නිෂ්පාදකයන් ඒ සඳහා හොඳ ලාභයක්‌ද ලැබිය යුතුය. එහෙත් කිසිම නිෂ්පාදකයකුට මේ ඇඟළුම් මැජික්‌ බලයකින් නිෂ්පාදනය කළ නොහැකිය. ඒ සඳහා පුරුදු පුහුණු ශ්‍රම බලකායක්‌ අවශ්‍යය. මේ ශ්‍රම බලකායේ ශ්‍රමය එල්ටීටීඊය උතුරේ බංකර් කැපූ ක්‍රමයට හෝ පැරණි ඊජිප්තුවේ පිරමීඩ තැනූ ක්‍රමයට හෝ ලබාගත හැකිනම් නිෂ්පාදකයාට එය බෙහෙවින්ම ලාභදායක බව ඇත්තය. එහෙත්, මේ පවතින්නේ එබඳු වහල් යුගයක්‌ නොවේ.

මේ යුගය තුළ ඇඟළුම් කර්මාන්තය නමින් නොනිල වහල් මෙහෙයක්‌ පවත්වාගෙන යැම ශ්‍රේෂ්ඨ නායකයකුට සහ ඔහුගේ චින්තනයට කරන අගෞරවයකි.

එහෙයින්, මේ ඇඟළුම් සේවිකාවනට රටේ ජීවන අංකයට සරිලන අවම වැටුපක්‌ නියම කොට දීමත්, ඔවුන්ගේ සේවක අයිතිවාසිකම් සහ මානව අයිතිවාසිකම් ආරක්‌ෂා කොට දීමත් කම්කරු අමාත්‍යාංශයේ මතු නොව සමස්‌ත රජයේම යුතුකම හා වගකීම බව අපි අවධාරණය කොට සිටිමු.

(දිවයින - 09/09/30)

ටිප්පණිය - ඇඟලුම් කර්මාන්තය යනු මෙරට ගැහැනුන් නොමරා මරන ජාවාරමකි. දිවා රෑ නොතකා ඉතා ලාභ වැටුපකට වසර 10ක් මෙහි වැඩ කළ තරුණිය ඉන් එළියට එන්නේ මැහැල්ලක සේ ය. කිසිදු වෘත්තීවය අයිතිවාසිකමක් නොමැති මේ වදකාගාරවලට තරුණියන් තල්ලු කළේ 77 මෙරටට ආනයනය කළ ධනවාදය විසිනි. අප ඇඟලුම් කම්හල් බිහි කර රැකියා ලබා දුන්හයි උදම් අනන අමනයින් මේ ගැන නැවත සිතිය යුතු ය. පිට රටින් රෙදි ,නූල් සහ බොත්තම් ගෙන්වා ඇදුම් මසා නැවත පිට රට යැවීමෙන් අපට ලැබෙන විශේෂ ලාභයක් නැත. රටේ ශ්‍රමය ඉතා ලාභයට සූරා කෑමට පිට රට සමාගම්වලට ඉඩ සහර ලබා දෙන මේ විකෘති ක්‍රමය වෙනුවට වඩා හොඳ ජීවන ක්‍රමයක් එම තරුණ පරපුරට ලබා දීම මේ රජයේ වගකීම ය.

1 comment:

නිශාන්ත සංජීව said...

ශී‍ර්‍ ලංකාවි වැඩකරන කාන්තාවන්‍ෙගන් බහුතරයක් අයත්වන්‍ෙන් ඇගලුමි අංශයට වන අතර එය ඔවුන්ගේ පවුල් වලට අමතර ආදායමක් ලබා ගැනීමට උපකාරී වී ඇති බව අමතක නොකළ යුතුය,‍‍ෙ‍මි වන වි‍ට බොහොමයක් ගැණුමි කරැවන් Pure Good නමැති සංකල්පය ෙකරෙහි යෙමුව ඇති බැවින් ඔවුන් විසින් සේවක පරිසරය,සොඛ්‍යය හා ආරක්ෂාව වැනි අංශ කෙරෙහි නිරන්තර අවධානය යොමු කරයි.එබැවින් කළ යුතුව ඇත්තේ එවැන් දෑ දිරිමත්කරමින් ර‍ෙටි ආර්ථිකයට දැවැන්ත ශක්තියක්ව ඇති ඇගලුමි ක්ෙශ්තුය නගා සිටුවීම නොවෙිද?

 
සිය රට දේ සිරි සැප දේ !