Thursday, September 17, 2009

මඩින් නොව ගොඩින් එන්න

ගස උඩ රැඳී සිටිමින්, ගස කපා දැමීම සඳහා ගස මුලට පොරව හෙලන මොට්‌ටයන් සිටියේ ජනකතාවලය. එහෙත්, ගස උඩ රැඳී සිටිමින් ගස විනාශ කිරීම සඳහා ගස මුලට බෝම්බ හෙලන "මොට්‌ට අමනයන්" "දැකගත හැක්‌කේ ජනකතාවල නොවේ. යථාර්ථයේය, වර්තමාන දේශපාලන යථාර්ථයේය. එක්‌ අතකට ඒවා පැරැණි ජනකතාවලට වඩා අපූරුය.

එහි එන චරිතවලට අනුව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා යුද අපරාධකරුවෙකි. මානව හිමිකම් කඩකරන්නෙකි. ඔහුට එරෙහිව පැවැත්විය යුතු ලෝකයේ ලොකුම මානව හිමිකම් සහ යුද අපරාධ පිළිබඳ නඩුව සඳහා ඔහු අල්ලා ජිනීවා හන්දියේ උසාවි කූඩුව තුළට ගෙන ආ යුතුය.

ඔවුනට අනුව, මේ නඩුව ඇසීමට පත්කරනු ලබන්නේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්‌ඩලයකි. එහි සභාපතිතිනිය වන්නේ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ ප්‍රධානී නවී පිල්ලේ වන අතර සෙසු දෙදෙනා නම් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ ප්‍රංශ විදේශ ලේකම් බර්නාඩ් කුෂ්නර්ය. අතිරේක (ක්‍රීඩකයකු) වශයෙන් ස්‌වීඩනයේ කාල් බිල්ට්‌ද නම් කරනු ලැබේ.

විත්තිකරු හෙවත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීමට ඩලස්‌ලාට තබා ගඩාපිලාටවත් ඉඩ නොදෙන අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥ මණ්‌ඩලයකි. වී. රුද්‍රකුමාර් ප්‍රධාන මෙම මණ්‌ඩලයේ සෙසු නීතිඥයන් වන්නේ එරික්‌ සෝල්හයිම්, වයිකෝ, නැදුමරන්, ඇඩෙලා බාලසිංහම් සහ කන්නිමෝෂි යන අයය.

"යුක්‌ති සහගත භාවය" සහ "මානව භක්‌තිය" වෙනුවෙන් තමන්ගේ රට, ජනතාව පමණක්‌ නොව අම්මා අප්පා වුව අමතක කිරීමට සැදී පැහැදී සිටින විපක්‌ෂ දේශපාලන නායකයන් කිහිප දෙනෙකු විසින් ඉදිරිපත් කරන පැමිණිල්ල ලෝක උසාවියට පෙර ලෝක ජනමාධ්‍යයට ඉදිරිපත් කෙරෙනු ඇත.

එහෙත්, නඩු විභාගය දැක බලා ගැනීම සඳහා රුසියාවට, චීනයට, පකිස්‌තානයට, ලිබියාවට, වෙනිසියුලාවට, ඉරානයට තබා ඉන්දියාවටවත් ඉඩ ලබා නොදෙනු ඇත.

ඉහත කී ත්‍රිපුද්ගල විනිශ්චය මණ්‌ඩලය නඩු විභාගය පවත්වන අතර තමන්ගේ විනිශ්චය ඉදිරිපත් කිරීමට ලෝක ජනතාවට එස්‌. එම්. එස්‌. ඡන්ද ක්‍රමය භාවිත කළ හැකිය. මක්‌නිසාද මුළු නඩු විභාගයම රියෑලිටි ෂෝ එකක්‌ කිරීම බොහෝ බටහිර මාධ්‍යයන්ගේ මේ මොහොතේ අවශ්‍යතාව වන නිසාය.

එහෙත් අල් ජසීරා, සී. එන්. එන්. වැනි මාධ්‍යයන් බලාපොරොත්තු වන මට්‌ටමේ රියෑලිටි ෂෝ එකක්‌ ඉදිරිපත් කරනවාට වඩා නඩු විභාගය පැමිණිලිකරුවන් තව හොඳට අන්දවා "කොමඩි ස්‌ටාර්" මට්‌ටමේ රියෑලිටි ෂෝ එකක්‌ බවට පත්කිරීම බී. බී. සී, චැනල් ෆෝ මාධ්‍යකරුවන්ගේ උත්සාහය වන බැවින් මෙහිදී යම් මාධ්‍ය යුද්ධයක්‌ ඇරැඹීමට ද ඉඩ තිබේ.

අප මේ උපමා කතාව කීවේ මේ දිනවල හෙළිදරව් කෙරෙන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාටත්, රටටත් අවසානයේ එහි ජනතාවටත් එරෙහිව දියත් කෙරෙමින් පවතින කුමන්ත්‍රණය අරභයා අප තුළ පවත්නා හාස්‍යයක්‌ නිසා නොවේ. කෝපය නිසාය.

මේ කුමන්ත්‍රණවල අවසාන ඉලක්‌කය ජී. එස්‌. ටී. ප්ලස්‌ සහනය වැළැක්‌වීම වැන්නකින් ශ්‍රී ලංකාවට රිදවීම පමණක්‌ නොවන බව පැහැදිලිය.

අවසාන විග්‍රහයේදී එය කෙසේ හෝ දේශපාලන බලය ලබාගැනීමට මේ රටේම යම් පිරිසක්‌ ගන්නා උත්සාහයක ප්‍රතිඵලයක්‌ වශයෙන් දිස්‌වීම වළකනු නොහැකිය.

විපක්‌ෂයේ දේශපාලන පක්‌ෂ ආණ්‌ඩු බලය ලබාගැනීම සඳහා දේශපාලන උපක්‍රමවල යෙදීම අස්‌වාභාවික සිද්ධියක්‌ නොවේ. එහෙත් ඒ සඳහා තමන්ගේ මාතෘභුමිය පාවාදීම හෝ ඇපයට ගැනීම අස්‌වාභාවික දෙයක්‌ පමණක්‌ නොව අසාධාරණ දෙයක්‌ද වේ.

ඕනෑම උපක්‍රමයක්‌ සහිතව ක්‍රීඩාපිටියට පිවිසීමට ඔබට අවසර ඇති මුත් ක්‍රීඩාපිටිය විනාශකොට ජයග්‍රහණය ලැබීමට ඔබට අවසරයක්‌ නැත.

මේ අර්ථයෙන් විපක්ෂයේ සමහරුන් ජනාධිපතිවරයාට එල්ල කරන ප්‍රහාර වදින්නේ ඔහුට නොව රටට ය. මේ අර්ථයෙන් විපක්‌ෂයේ සමහරුන් රජයට එල්ල කරන ප්‍රහාර වදින්නේ රජයට නොව රටටය.

ඒ නිසා අළුගුත්තේරු වැඩ නොකර හරියට ක්‍රීඩා පිටියට පිවිස පරාජය වුව නම්බුකාර ලෙස ලබා ගන්නැයි අපි ඒ "නොදියුණු" විපක්ෂ දේශපාලනඥයනට කියමු. මේ "බලුවැඩ" නිසා ඔබ අහිමිකරන්නේ විපක්‌ෂයක පෞරුෂය පමණක්‌ නොවේ. රජයේ තිබෙන දහසකුත් එකක්‌ වැරැදි විවේචනය කිරීමේ අවස්‌ථාව ද වේ.

(දිවයින - 09/09/18)

ටිප්පණිය - මේ රටේ විපක්ෂ නායකවරයා ක්‍රියාකරන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස නොව රටේ විපක්ෂ නායක ලෙස ය. කණා ගහන ගල් සේ ආණ්ඩු බලය ලබා ගැනීමේ පෙරේත කමින් ඔවුන් ගහන ගල් වදින්නේ මව්බිමේ හිසට ය. එවිට ගලා යන්නේ ජාතික අභිමාණයේ රුධිරයයි. 2001 ප්‍රහාරය හමුවේ ඇමරිකන් විපක්ෂය හැසිරුණු ආකාරය මේ ඉටහර ගැතී දීනයින්ට නොපෙනෙන්නේ ජාතියේ අවාසනාවට ය.

2 comments:

Ranaweera said...

//මේ රටේ විපක්ෂ නායකවරයා ක්‍රියාකරන්නේ ආන්ඩුවට විපක්ෂ, විපක්ෂ නායක ලෙස නොව රටට විපක්ෂ, විපක්ෂ නායක ලෙස ය.//

ඇත්තටම ඔවු. රනිල් ගොය්ය කට ඇරියොත් නං ඉතින්.......කියල වැඩක් නැහැ.

ධනූ... said...

මේක තමයි දැන් රටේ ඇත්ත තත්වය. රනිල්ලට ඕන වෙලා තියෙන්නෙ කොහොමහරි බලය ගන්න විතරයි.

 
සිය රට දේ සිරි සැප දේ !