"සාහිත්‍ය කන්ඩද?" මේ ප්‍රශ්නය විටින් විට විවිධ පුද්ගලයන් විසින් විවිධ කාරණා අරභයා අසන ලද්දකි. මේ ප්‍රශ්නයට උත්තරය ස්‌ථිර වශයෙන්ම නැත යන්න ය. සාහිත්‍යය අනුභව කළ නො හැක. පොත් කියෑවීමෙන් බඩ නොපිරේ. එයින් විලි වසා ගැනීම ද කළ නොහැක. සාහිත්‍යය ප්‍රවාහන මාධ්‍යයක් ලෙස යොදා ගැනීමට නොහැකි නිසා එය ගමන් බිමන් යැම සඳහා යොදා ගැනීමට ද නො හැක. මේ නිසා හොඳ පොතකට වඩා කබල් බයිසිකලයක් වටිනා අවස්‌ථා තිබේ. එහෙත් සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී සාහිත්‍ය උත්සවය පැවැත්වීමත් සමඟම සාහිත්‍යය පිළිබඳවත් සාහිත්‍ය උත්සවයේ හොඳ නරකත් කුණාටුවක් මෙන් පැතිර යයි. එක්‌සත් ජනතා නිදහස් සන්ධාන ආණ්‌ඩුවේ පළමුවැනි සාහිත්‍ය උත්සවය අනුරාධපුරයේදී පවත්වන ලදී. එහිදී විමල් වීරවංශ කළ කතාවක අඩු පාඩු තිබීමෙන් මහත් සේ සංවේගයට පත් වූ විද්වත්තු සිය දිවි නසාගන්නා තත්ත්වයට පත්වූහ. ඊළඟ සාහිත්‍ය උත්සවය මාතරදී පැවැති අතර ධාරාණිපාත වැසි ඇදහැළීම නිසා උත්සවයේ ප්‍රාසාංගික පැත්ත අසාර්ථක විය. මෙවර පොළොන්නරුවේදී පැවැති සාහිත්‍ය උත්සවය අඩුපාඩුවලින් ගහණ වූ බව දැනගන්නට තිබේ. උත්සවය ආරම්භයේදී ජාතික කොඩිය එසැවීමට අමතක වීම, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පොළොන්නරුවේ හෝටලයකට ගෙන්වා ආණ්‌ඩුව ගණනේ මත්පැන් පානය කරන්නට දීම වැනි කාරණා නිසා අවුල්කාරී තත්ත්වයක් මතුවී තිබේ.
පෙර කී සාහිත්‍ය උත්සව තුනම දැන් ඉතිහාසයට එක්‌වී ඇති බැවින් ද සාහිත්‍ය උත්සවය සංවිධානය කිරීමේ වැඩි බර කරට ගත් පියසිරි විඡේනායක ඇමැතිතුමාට පහරදීමේ කොන්ත්‍රාත්තුවක් අප විසින් භාරගනු ලැබ නැති බැවින් ද ඉදිරියේදී පැවැත්වෙන සාහිත්‍ය කලා මහෝත්සවයන්ට පසුගිය ඒවායින් පාඩම් ගන්නා ලෙස ඉල්ලමින් අපේ කතාවේ ඉතිරි කොටසට එළැඹෙමු. මේ රටේ අධ්‍යාපනයේ පිරිහීම ගමන් ගත්තේ 1970-77 සමගි පෙරමුණු ආණ්‌ඩු කාලය තුළය. එහෙත් මේ රටේ සාහිත්‍ය කලාවේත්, රංග කලාවේත්, ගීත කලාවේත් සිනමාවේ ස්‌වර්ණමය යුගය එකී 1970-77 යුගයට ය. මේ රටේ ලියෑවුණු හොඳම නවකතා, විශිෂ්ටතම කවිපොත් සහ සියයට සියයක්‌ම නිවැරැදි පරිවර්තන පොත් පළවුණේ ඒ කාලයේදී ය. (අප එසේ කියන්නේ මෙකල ඉංගිරිසියෙන් සිංහලයට නැඟෙන ඇතැම් පරිවර්තන කෘතියක් නැවත ඉංගිරිසි බසට පරිවර්තනය කළොත් එකී මුල් කෘතියට සම්පූර්ණයෙන්ම වෙනස් කෘතියක් උපදිනා බැවිනි.) ගීද මෝපසාංග් සිට ප්‍රාන්ස් කෆ්කා දක්‌වා ද, කාටාසිං ඩුග්ගාල්ගේ සිට ටී. සිවසංකර් පිල්ලේ දක්‌වාද, පැබ්ලෝ නෙරූදගේ සිට චිනුවා අචිබි දක්‌වා ද වූ උත්තම ලේඛකයන්ගේ පරිවර්තන බිහිවීම ද ජයසේන ජයකොඩි, සෝමවීර සේනානායක වැනි ලේඛකයන් පහළ වීමද මේ යුගයේදී සිදුවිය. ශ්‍රී ලංකාව බිහි කළ හොඳම කවියකු හා විචාරකයකු වූ විමල් දිසානායක කවි පොත් ලියුවේත්, සරත් අමුණුගම සාහිත්‍යය ගැන ලියුවේත්, ඒ. වී. සුරවීර හා ආර්. ආර්. සමරකෝන් පොත් ලියා සම්මාන ලද්දේත් මේ කාලයේදී ය. එකල අද මෙන් ප්‍රකාශන සමාගම් 1001 ක් තිබුණේ නැත. වැඩිම වුණොත් ප්‍රකාශන සමාගම් 10 ක් තිබෙන්නට ඇති. එහෙත් අදට වඩා සාහිත්‍ය නිර්මාණ පොත් එදා තිබුණේය. අද බහුලව ඇත්තේ පොත් පමණකි. සාහිත්‍යය සඳහා 1977 න් පෙර මුද්‍රණය කළ පොත් කියෑවිය යුතු ය.
මෙතැනදී මෙකල හොඳ නිර්මාණ බිහි නොවන බවට තක්‌සේරුවක් අප තුළ ඇතැයි ලේඛක මහත්වරුන් සහ ප්‍රකාශක සමාගම් කලබල විය යුතු නොවේ. අප කියුවේ පවත්නා තත්ත්වයේ සාමාන්‍යයයි. මේ රටේ කලාවට හා සාහිත්‍යයට පහර දීමේ කොන්ත්‍රාත්තුවක් අප භාරගෙන නැත. අපට අවශ්‍ය යහපත් දේ බිහිවනු දැකීමය.
(දිවයින - 09/09/08)
ටිප්පණිය - නිර්මාණකරුවා ද අදාළ සමාජයේ කොටසකි. එසේ නැතිව ඔහු හුදු ඕතපාතිකයෙකු නොවේ. එහෙයින් කිසියම් යුගයක සාහිත්‍යය එම යුගයේ කදිම පිළිඹුබුවකි. රසික රසඥතාව ඉන් මැනගත හැකි ය. එකල 'පෙර දිනයක මා පෙම් කළ යුවතිය' ගැන ගැයූ පෙම්වතා 'එක පාර මා මරන්න' යැයි අද ගයයි. එදා සමාජය ආදරයෙන් වැළඳ ගත් දෙයෙහි පරස්පරය අද සමාජය වන්දනා කරයි. ගැටළුව එය පිරිහීහක් වීම ය. ඊට හේතු සොයමින් අතීතයට දොස් තැබීමට වඩා එම අගාධයෙන් ගොඩ එන මං සොයනු වටියි. බයිසිකලය කයට ය. පොත මනසට ය. මේ දෙක ම සම ලෙස මිනිසාට අවැසිය යන දැනුම සමාජගත කිරීම වැදගත් ය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment