Tuesday, September 15, 2009

සරසවි ඇදුරන් දෙකෙන් එකක්‌ තෝරා ගැනීම

උසස්‌ අධ්‍යාපන ඇමැති විශ්වා වර්ණපාල මහතා කාලෝචිත, ඉතාම යහපත් තීරණයක්‌ ගෙන ඇත. එනම් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවල යෙදෙන ආචාර්ය මහාචාර්යවරුන් එම කටයුතුවල තවදුරටත් යෙදෙනවාද එසේ නැත්නම් එයින් බැහැරව ටියුෂන් කටයුතුවල යෙදෙනවාද පිළිබඳවය.

විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට එකවිට දෙකක්‌ කළ නොහැකිය. අද එම ආචාර්ය මහාචාර්යවරුන්ට සාමාන්‍ය ගුරුවරුන්ට මෙන් ටියුෂන් රෝගයද බෝවී ඇත. මෙය නම් ඉතා හොඳ දෙයක්‌ නොවේ. මෙය බරපතල රෝගයකි.

මෙයට බොහෝ කලකට පෙරාතුව විශ්වවිද්‍යාලවල ඉගැන්වීමේ කටයුතුවල යෙදුණු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ආචාර්ය, මහාචාර්යවරුන් වූ අය ටියුෂන් දෙන්න ගියේ නැත. විශ්වවිද්‍යාල ඉගැන්වීමට අමතරව ටියුෂන්වල යෙදීම ඉතාම පහත්, බොළඳ එම ධුරයට අතිශයින්ම නොගැලපෙන දෙයක්‌ ලෙසය, ඔවුන් විසින් සලකන ලද්දේ. එහෙත් අද මේ තත්ත්වය කණපිට පෙරැළී ඇත. මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් අද විශ්වවිද්‍යාලවල ඇතැම් ඇදුරන් ටියුෂන් පන්ති පවත්වා තමන්ගේ තත්ත්වයත්, විශ්වවිද්‍යාල තත්ත්වයත් බාල්දු කොට ඇත. හෑල්ලුවට ලක්‌ කොට ඇත.

ටියුෂන් ක්‍රමය නිසා විශ්වවිද්‍යාල පද්ධතිය අද මුළුමනින්ම කඩා වැටී ඇත. විශ්වවිද්‍යාලය යනු රටක ඉහළම ආයතනයයි. බුද්ධිමතුන්, ප්‍රාඥයන්, ගවේෂකයන්, පර්යේෂකයන් තනන තැන්නයි. එහෙත් අද එබඳු තත්ත්වයක්‌ එතැනින් සිදු නොවේ. කෙසේ හෝ උපාධිය ලබා ගෙන එයින් පිටවීමයි අද සිදුවන්නේ. තමන් ලත් ඥනය තවදුරටත් ප්‍රගුණ කර ගැනීමට උනන්දු වන්නේ ද නැත. එසේ සිදුවන්නේ එහෙමත් කලාතුරකිනි. ඒ එක්‌කෙනෙක්‌, දෙන්නෙක්‌ පමණි.

විශ්වවිද්‍යාලවල බාහිර උපාධිලාභීන්ට එම විශ්වවිද්‍යාලවල උගන්වන ඇදුරන්, මහඇදුරන් ටියුෂන් පන්ති පවත්වා, පාඨමාලාව උගන්වා අවසානයේ ප්‍රශ්න ද කියවා ඊට පිළිතුර ද සපයති. මේ තත්ත්වය අනුව මේ උපාධියෙන් රටට ඇතිවන සෙත කවරේද? පුද්ගලයාටවත් එයින් සෙතක්‌ නැත.

බාහිර උපාධි ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ට බාහිර පොත් කියවා ඉගෙන ගැනීමට අවශ්‍ය දෙයක්‌ නැත. මන්ද ටියුෂන් දෙන සරසවි ඇදුරන් හා මහ ඇදුරන් විභාගයට එන සියලුම දේ උගන්වා විෂය නිර්දේශයට අදාළව උත්තරද කියාදී උපාධියෙන් සමත්වීමට කිසිදු බාධාවක්‌ නොමැතිව ඉඩකඩ සලසාදී ඇත.

මෙය ඉතා අනර්ථකාරී, අනිටු විපාක ගෙන දෙන්නකි.

මෙයට දසක දෙක තුනකට පෙරාතුව නම් බාහිර උපාධි ලබාගත් අයගේ දැනුම අභ්‍යන්තර (විශ්වවිද්‍යාලවල) ශිෂ්‍ය මානවක, මානවිකාවන්ගේ දැනුමට වඩා ඉහළය. මන්ද විශ්වවිද්‍යාල ඇදුරන්ගෙන් හා මහ ඇදුරන්ගෙන් ඉගෙන නොගෙන, වෙනත් බාහිර පන්තිවලට ගොස්‌ විෂය නිර්දේශයට අනුගතව ඉගෙන ගෙන බාහිර පොත් විශාල සංඛ්‍යාවක්‌ කියවා දැනුම් සම්භාරයක්‌ ලබා ගෙන ඕනෑම ප්‍රශ්නයකට අභීතව පිළිතුරු දීමේ ශක්‌තියක්‌, හැකියාවක්‌ තිබිණි. එහෙත් අද තත්ත්වය මෙයට ඉඳුරාම වෙනස්‌වීම අතිශය ඛේදයකි. එමෙන්ම රටට මහා විපතකි.

විශ්වවිද්‍යාල ඇදුරන්ගෙන්, මහ ඇදුරන්ගෙන් විය යුත්තේ රටට අලුත් දෙයක්‌ ලබාදීමට පර්යේෂණයේ, ගවේෂණයේ යෙදීමය. මෙයට දසක කිහිපයකට පෙරාතුව එබන්දක්‌ විශ්වවිද්‍යාල ඇදුරන්ගෙන්, මහ ඇදුරන්ගෙන් සිදු විය. එහෙත් අද සරසවි ඇදුරන්ගෙන්, මහ ඇදුරන්ගෙන් එබන්දක්‌ සිදු නොවේ.

අත්‍යන්තයෙන්ම මුදල් පසු පස හඹා යැම විනා ඥනය පාදකකොට ගෙන විශ්වවිද්‍යාලයේත්, තමන්ගේත්, ශිෂ්‍ය මානවක මානවිකාවන්ගේත් ගෞරවය, අභිමානය රැකෙන අන්දමට සරසවි ඇදුරන්, මහ ඇදුරන් කටයුතු කරන්නේද?

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිටි මහාචාර්ය එස්‌. විඡේරත්න "නාම පදය" සම්බන්ධව හොඳ පර්යේෂණයක්‌ කෙළේය. "නාම පදය" යනු අපට නම් සරල වදන් දෙකකි. එහෙත් පර්යේෂණයේදී ඉතාම පුළුල් වදනක්‌ බවට එම මහඇදුරා පත් කළේය. ප්‍රකට කළේය.

සරසවි ඇදුරන්ට ටියුෂන් දීම කැපද? ඒ කාරිය තමන්ගේ තත්ත්වයට ගැලපෙන්නේද? මේ කරුණු සම්බන්ධයෙන් සැලකිල්ලට ගත යුතු කාලය උදා වී ඇත.

ශිෂ්‍ය මානවක, මානවිකාවන් සරසවියට පිවිසෙන්නේ පැසුණු අය ලෙස නොවේ. එහෙත් එයින් පිට විය යුත්තේ පැසුණු අය ලෙසය. එහෙත් මේ කාර්යය එලෙසම අද සිදු නොවේ. මන්ද පටු පරමාර්ථවල පිහිටා සටහනට පමණක්‌ සිය උපාධිය සීමා වී ඇත. මෙයට සරසවි ඇදුරන් ද බොහෝදුරට වගකිව යුතුය.

නිදහස්‌ අධ්‍යාපනයෙන් ආණ්‌ඩුවේ මුදල් සම්භාරයක්‌ මොවුන් වෙනුවෙන් යොදවන්නට තිබීම මත එම තත්ත්වයෙන් උපරිම ඵල නෙළාගෙන රටට තමන්ගෙන් සෙතක්‌ සලසන්නට වග බලා ගත යුතුය. සරසවිවලින් පිටවන උපාධිධාරීන්, උපාධිධාරිනියන්ට නිර්මාණ ශක්‌තියක්‌, භාෂා ඥනයත් නොමැතිකම නිසා ආණ්‌ඩුවේ පමණක්‌ නොව පෞද්ගලික අංශවල ද රැකියාවක්‌ ලබා ගැනීමට අසීරු තත්ත්වයක්‌ උදාවී ඇත. මහ මග පිකටින්, සත්‍යක්‍රියා උපවාස කරන්නට සිදුවී ඇත්තේ මේ නිසාය.

උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා ලෙස සරසවි ඇදුරන්ට ටියුෂන් පන්ති තහනම් කිරීමට ගත් පියවර ඉතාම යහපත් වූවකි. එය රටට මෙන්ම උපාධිධාරීන්ට ද සෙතකි. ටියුෂන් දෙන්නට යාම මත විශ්වවිද්‍යාල පද්ධතියේ වැඩ සියල්ලම අඩපණවීම ද කිසිසේත්ම නොවැළැක්‌විය හැකි කරුණකි.

මුදල් අවශ්‍යය. එහෙත් එම මුදල් හරි හම්බ කළ යුත්තේ රටට ඵලදායී ඵලයක පිහිටාය. සරසවි ඇදුරකුගේ අද වැටුප එදා සරසවි ඇදුරකුගේ වැටුපට වඩා ඉහළය. බොහෝ අඩු වැටුපක්‌ ලත් සමයකදීවත් සරසවි ඇදුරන් ටියුෂන් පන්ති පවත්වා මුදල් හම්බ කරන්නට ගියේ නැත. ටියුෂන් දීම ඔවුන් එදා සැලකුවේ මදිකමක්‌ ලෙසය. තමන්ගේ තත්ත්වයේ අභිමානය රැකගෙන කටයුතු කළ හෙයින් ඒ ඒ විෂයයේ විවිධ පර්යේෂණ හා නව අත්හදා බැලීම් සිදුවූ අතර පැසුණු පිරිසක්‌ ද සරසවියෙන් පිටමං විය.

අද පුරාවිද්‍යා විෂයට අත්ව ඇති ඉරණම දෙස බලන්න. එදා පුරාවිද්‍යාව කෙළේ වනගත පෙදෙසට ගොස්‌ය. එහෙත් අද පුරාවිද්‍යාව විශ්වවිද්‍යාලයේ වීදුරු කාමරවලට හිරවී ඇත. පුරාවිද්‍යා විෂයයේ අලුත් දෙයක්‌ දැන ගන්නට අපි කැමැත්තෙන් සිටිමු. එහෙත් මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය සිරිමල් රණවැල්ල, ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුර ආදීන් කළ පර්යේෂණවල හිරවී සිටීම හැර අලුත් දෙයක්‌ ලොවට දී නැත.

ටියුෂන් කඩ නිසා සරසවි අධ්‍යාපනය තවත් පිරිහෙන්නට ඉඩ නොතබා සරසවි ඇදුරන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද, එසේ නොවන්නේ නම් ටියුෂන් කඩ ද යන දෙකෙන් එකක්‌ තෝරා බේරා ගෙන කටයුතු කිරීමට කිසියම් තීරණයක්‌ ගැනීමට ඉඩකඩ සලසාදීම ඉතාමත්ම කාලානුරූප පියවරකි. සරසවිවලින් ප්‍රාඥයන් බිහිවීමට මං පෙත් විවර වෙනවා මෙන්ම බාහිර උපාධියේ වටිනාකම ද ඉහළ තලයකට පත්වීම ද නිරන්තරයෙන්ම සිදුවන්නකි. එමෙන්ම සරසවි ඇදුරන්ගෙන් හා මහඇදුරන්ගෙන් අලුත් දෙයක්‌ දැන ගැනීමට ද අවකාශ සැලසෙන්නේය.

ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම
(දිවයින - 09/09/15)

ටිප්පණිය - මේ ඉතා ම කාලෝචිත යෝජනාවකි. සරසවි ඇදුරා යන නාමය සමග මෙරට ජනතාව ගොඩ නගා ගත් ප්‍රතිරූපයක් තිබේ. එම තත්ත්වය විනාශ වී යාම අවාසනාවකි. මුදල් පසුපස හඹා නොයන ශාස්ත්‍රිය කටයුතුවලට නැඹුරු වූ පිරිසක් සරසවිවලින් පිටත සිටිය දී, මුදලාලිලා එම ආයතන අරක් ගෙන සිටීම කෙතරම් අවාසනාවක් ද? එහෙයින් ඔවුන් වහාම තීන්දුවක් ගත යුතුය. ඇතැම් කථිකාචාර්යවරු සිය ධූර අතැර ටියුෂන් ව්‍යාපාරයට නැඹුරු වූ අවස්ථා තිබේ. එය ඉතා ම හොඳ ය. නරක මේ දෙක ම අනාගෙන නා ගැනීම ය.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !