Wednesday, September 30, 2009

ළමයා අදටත් වහලෙකි!

ලෝක ළමා දිනය අදයි

ළමයින් දස ලක්‍ෂ ගණනක්‌ හිඟාකන, පාසල් නො යන, ලිංගික අපහරණයට ලක්‌ කෙරෙන , ළමා කම්කරුවන් ලෙස සේවය කරන, ළමා සොල්දාදුවන් ලෙස ජීවිත කැප කරන ලෝක ළමා දිනය අදයි.

ගිය අවුරුද්දේත් අද වැනි දවසෙක ලෝක ළමා දිනය යෙදී තිබිණි. එදත් තත්ත්වය මෙයම විය. ඊට පෙර අවුරුද්දේත් තත්ත්වය මෙයම විය. ලෝක ජනගහනය ක්‍රමයෙන් වැඩී ළමා ජනගහනය වර්ධනය වී උද්ධමනය ඉහළ ගොස්‌ දුප්පත්කම දසත පැතිර යන්නට පටන් ගත් කල පාසල් යැමට නියමිතව සිටි දුප්පත් රටවල ළමයින්ගෙන් කොටසක්‌ පාරට බැස හිඟා කන්නට පටන් ගත්හ. තව ළමයි පිරිසක්‌ වහල් මෙහෙයටත්, ගණිකා වෘත්තියටත් යොමු කරන ලදහ. ඒ අතර ප්‍රභාකරන් වැනි ත්‍රස්‌ත නායකයෝ කිහිපදෙනෙක්‌ තම රටවල සිටින කුඩා දරුවන් පැහැරගෙන ගොස්‌ ඔවුනට වෙඩි තබන හැටි පුහුණු කර ළමා හමුදා සංවිධානය කළහ.

ගණිකා වෘත්තියට යොමු කිරීම හැරුණු විට ළමයකු යොමු කළ හැකි පහත්ම තත්ත්වය ඔහු හෝ ඇය ළමා සොල්දාදුවකු බවට පත් කිරීම ය. කුඩා දරුවා තුවක්‌කුවට බිය ය. ඔහුට තුවක්‌කුවක්‌ උස්‌සා ගැනීමට පවා නොහැක. එහෙත් වධයට පත් කර, මෙල්ල කරන ලද කල්හී ළමයා කෙසේ හෝ තුවක්‌කුව ඔසවාගෙන ඉදිරියට යයි. ළමා හමුදාවක්‌ ඇති කිරීමෙන් ත්‍රස්‌ත සංවිධානයක අරමුණූ කිහිපයක්‌ ඉටු වේ. පළමුවැන්න මෙල්ල කරන ලද ළමයා යුද පෙරමුණේ ඉදිරියෙන් ම යවන්නට හැකි වීම ය. ළමයාට මරණය ගැන එතරම් තේරුමක්‌ නැති හෙයින් ඔහු ලෙහෙසියෙන්ම මරාගෙන මැරෙන මිනිස්‌ බෝම්බයක්‌ බවට පත් කළ හැකි ය. එමතු ද නොව ඔහු වෙඩි කා මියගිය විට "ආණ්‌ඩුව ළමයින් ඝාතනය කරන්නේ ය" යනුවෙන් ප්‍රචාරයක්‌ ගෙන යැමට ද ත්‍රස්‌තවාදීන්ට හැකි ය. ත්‍රස්‌ත සංවිධාන බොහොමයක්‌ කුඩා දරු දැරියන් ලිංගික වහලුන් ලෙස තබා ගෙන සිටින බව ඔබ දන්නෙහි ද? මෙය ශ්‍රී ලංකාවේදීත් සිදු විය. උගන්ඩාවේදීත් සිදුවිය. නේපාලයේදීත්, දකුණු අප්‍රිකාවේ යුද ගැටුම් පවත්නා රටවල් වැඩි හරියකත් සිදු විය. ශ්‍රී ලංකාවේ හා නේපාලයේ හැරුණු විට යුද ගැටුම් ඇති, ත්‍රස්‌ත කල්ලි විසින් විවිධ රටවල විවිධ කොටස්‌ පාලනය කරනු ලබන, හැම තැනකම මෙය අදටත් සිදු වන්නේය. හෙටත් සිදු වනු ඇත. යුද්ධය නො නැවතුණොත් හැමදාමත් සිදුවනවා ඇත.

දියුණු ලෝකය ලෝක ළමා දිනය යනුවෙන් දවසක්‌ වෙන් කරවාගෙන හැම අවුරුද්දකම සමරනු ලබන්නේ මෙවන් තත්ත්වයක්‌ තිබියදී ය. තුන්වැනි ලෝකයේ ළමයා යනු අදටත් නිදහස නො ලද ළමයෙකි. මේ ළමයා අප පෙර කියූ පරිදිම වහලෙකි. සෙබළෙකි. කම්කරුවෙකි. ගණිකාවකි. ශ්‍රී ලංකාවේ ළමයින් අතුරෙන් සෙබළුන්ව සිටි පිරිස නිදහස ලැබූවත් වහලුන්ව සිටින පිරිස අදටත් නිදහස ලබා නැත. මේ රටේ නාගරික ධනවත් මන්දිර සියයක්‌ ගතහොත් එයින් පනහකම වැඩකාරකම් කරන්නේ කුඩා දරුවන් බව ඉතා කනගාටුවෙන් කියමු. මෙවැනි ළමයි ඉතා දරුණු අතවරවලට ලක්‌වෙති. උතුරන වතුරෙන් පුළුස්‌සා, දම්වැල්වලින් බැඳ තබන ලද මෙහෙකාර ළමයින් ගැන අප කාලයෙන් කාලයට පුවත්පත් මගින් විස්‌තර කියවමු. ළමයකුගේ මානසිකත්වය වරක්‌ බිඳ දමන ලද කල්හී සදාකාලයටම ප්‍රතිසංස්‌කරණය කළ නොහැක. ලෝක ළමා දිනය සමරන හැම රටක්‌ම, හැම ආණ්‌ඩුවක්‌ම කළ යුත්තේ ළමා හදවත බිඳ වැටෙන තැන් සොයා පිළියම් යෙදීම හා ළමා හදවත බිඳ දමන උන් අල්ලා සමාජයෙන් ඉවත් කර දැමීම ය.

(දිවයින - 09/10/01)

ටිප්පණිය - දැන් වසර ගණනාවක සිට ලෝකය විවිධ දින සමරති. ලෝක ළමා දිනය ඉන් එකකි. එහෙත් ඉන් කිසිදු සෙතක් ළමයාට සිදු වී නැති බව ළමයා අද ද විඳින අතරවලින් පැහැදිළි වේ. එහෙයින් කළ යුත්තේ වසරේ එක එක දවසට විවිධ නම් යොදා ලෝක බලු දිනය, ලෝක කබර දිනය උත්සවාකාරයෙන් සැමරීම නොව වර්තමාන සමාජයේ අගතියට පත් ව ඇති ළමයා මහල්ලා ගහකොළ සතුන් ආදී පාර්ශව සුවපත් කිරීම ය.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !