Tuesday, September 1, 2009

බෙදුම්වාදයේ විෂබීජ හා ඊළාම් මළකඩ

දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගෙන යන වැඩපිළිවෙළට සිය පක්‍ෂයේ පූර්ණ සහාය ලබා දෙන බව දෙමළ සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා බී. බී. සී. ය සමග ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. අපි ඒ පිළිබඳව ඔහුටත් ඔහුගේ සංවිධානයටත් ප්‍රශංසා කරමු.

දෙමළ ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තුළ සිටින නියෝජිතයන් ලෙස ඔවුන් මෙම ප්‍රශ්නයේ ඉතා වැදගත් පාර්ශ්වයක්‌ බව කිසිවෙකුට ප්‍රතික්‍ෂේප කළ නොහැකිය. සිංහල, දෙමළ මිත්‍රත්වය බිඳදමා එය ජාතිවාදී උමතුවක්‌ ලෙස සිය ජනතාව අතරට රැගෙන ගිය වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවත්ව සිටි දිනවල ඔහුගේ රූකඩයක්‌ බවට පත්ව සිටි එම සන්ධානය දෙමළ ජනතාවගේ විමුක්‌තිය ප්‍රභාකරන්ගෙන්ම ලබා ගත යුතුය යන මුලාවට වැටී සිටි පිරිසකි.

අද දෙමළ සන්ධානයට සිය හෘදය සාක්‍ෂියට එකඟව මෙම ප්‍රශ්නය දෙස බැලීමට බාධාවක්‌ නැති බව අපගේ විශ්වාසයයි. මන්ද යත් එදා ඔවුන්ගේ හිසට උඩින් ලඹ දුන් ෆැසිස්‌ට්‌වාදී භීෂණය අද අවසන්වී තිබේ. දැන් ඔවුන්ට මේ ප්‍රශ්නය පිළිබඳ අලුත් ඇසකින් බැලීමටද හැකිය.

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංස්‌කෘතික, දේශපාලන යනාදී සියලු ක්‍ෂේත්‍රයන් පමණක්‌ නොව සිංහල, දෙමළ, මුස්‌ලිම් ආදී සියලු ජනවර්ගයනුත් විනාශ මුඛයට රැගෙන ගිය තිස්‌ අවුරුදු ත්‍රස්‌තවාදය සමග අලඡ්ජි ලෙස බැඳී සිටි බටහිර රටවල් හා මාධ්‍ය ආයතන ද විය. විශේෂයෙන් බටහිර මාධ්‍යත්a ඔවුන් සමගම සිටි අල්ජසීරා වැනි ආයතනත් ප්‍රභාකරන්ට දැක්‌වූ පක්‍ෂපාතිත්වය අපට මතකය.

රජයේ ආරක්‍ෂක හමුදා පිළිබඳව වැරැදි හා ද්වේෂ සහගත චිත්‍ර ලොවට රැගෙන යැමට මේ ආයතන ක්‍රියාත්මක වූ බවට ඉතිහාසය සාක්‍ෂි දෙයි. ආසියාවේ නවෝදය නොඉවසන බටහිරයෝ අදත් එයට ගිනි තැබීම සඳහා විවිධ මං සොයති. නොබෝදා චැනල් ෆෝ මෙරට හමුදාව ගැන විකෘති මෙන්ම අසත්‍ය වැඩසටහනක්‌ ප්‍රචාරය කිරීමෙන් තහවුරු වන්නේ තවමත් ඔවුන්ගේ අරමුණ ත්‍රස්‌තවාදයට අනුබල දීම බවය.

කෙසේ හෝ දැන් ඔවුන් ප්‍රභාකරන්ගේ ඇටසැකිලිවලට පණ දීමටත් ත්‍රස්‌තවාදයේ බීජ තැන් තැන්වල වැපිරීමටත් නොඉවසිල්ලෙන් සිටින බවද පැහැදිලිය. දැන් මේ සියලු දෙනාම පාහේ බලා සිටින්නේ අවතැන් වූවන් රඳවා සිටින කඳවුරු දෙසය. කඳවුරුවල දෙමළ, ජනතාව පීඩාවට පත් කරන බවටද ඔව්හු මැසිවිලි ද නඟති.

ප්‍රභාකරන් ඝාතනය වීමෙන් පසු කේ. පී. හෙවත් කුමරන් පද්මනාදන් ඔසවා තබා යළිත් කොටි සංවිධානය අටවා ගැනීමට ගත් දීන ප්‍රයත්නය ද ව්‍යර්ථ විය. දැන් තවත් කොටි හිස්‌ සොයනු විය හැකිය. එය මේ රට විනාශ කළ හැකි මාර්ගය බව ඔව්හු දනිති. ඒ හා සමඟම සරණාගතයන් දඩමීමා කර ගැනීමටද ඔව්හු වෑයම් කරති.

මේ සරණාගත කඳවුරුවල සිටින්නාහු සියල්ලෝම අහිංසක දෙමළ වැසියෝ නොවෙති. ඔවුන් අතර කොටි කාඩරයෝ ද වෙනත් කොටි සහායකයෝද ඇතුළු විවිධ පිරිස්‌ සිටිති. සරණාගත කඳවුරුවල බලය මේ කොටි වලිගවලට ලබා ගැනීමේ අදිසි වෑයමක්‌ පිළිබඳව ද නොබෝදා වාර්තා විය.

මේ කඳවුරුවල සිටින ලක්‍ෂ තුනකට ආසන්න පිරිසකගේ දෛනික මූලික ඕනෑ එපාකම් ඉටු කිරීම පවා ඉතා දුෂ්කර කාර්යයකි. රජය දරන වෑයම විවේචනයට බොහෝ අය සිටිති. කඳුළු සලන අය ද සිsටිති. ඒවාට ගොස්‌ තතු විමසීමට නොදෙතැයි රණ්‌ඩු කරන අය ද සිටිති. එහෙත් මේ බොහෝ දෙනකුගේ අවංක අදහස ඒ ජනතාවට යහපත් ජීවන තත්ත්වයක්‌ ලබාදීමම නොවේ. ඒ හා බැඳුණු තවත් අරමුණු ද වේ.

ත්‍රස්‌තවාදය පරාජය කළ නොහැකි යෑයි කී අයද මෙහි වූහ. අද ඔව්හු සිය නන්නත්තාර වීම් අමතක කර හමුදා ජයග්‍රහණ ගැන අත්පුඩි ගසති. හමුදාව කුලී කාරයන් ලෙස හැඳින් වූ අයද වූහ. අද ඔව්හු හමුදාවට මල්දම් පළඳවති. මේ අනුව මෙම සරණාගත ප්‍රශ්නය ද රජය බුද්ධිමත්ව විසඳිය යුතුය. ඒ සඳහා අවංකව උදව් දෙන අයට අවස්‌ථාවක්‌ ලබාදීම වැරැදි නැත. එහෙත් කිඹුල් කඳුළු හෙළන අය ගැන ප්‍රවේශම් විය යුතුය.

දෙමළ සන්ධානයට මෙහිදී ප්‍රධාන භූමිකාවක්‌ ලබාගත හැකිය. ඒ ඔවුන් මෙම ප්‍රශ්නයට අවංකව විසඳුමක්‌ ලබාදීමට සූදානම් වන්නේ නම් පමණි. කුමක්‌ හෝ පොටක්‌ පාදා කොටි ඔසවා තැබීමට මාන බලන කිසිවකුට මෙහිදී ඉඩ දිය යුතු නැත.

සරණාගත කඳවුරු තුළ තිබෙන යම් යම් ප්‍රශ්න නිසා ඒවා තුළ රජය ගැන අප්‍රසාද හැඟීම් ද තිබීම සාධාරණය. ඒa වාසිය අතට ගෙන එම සරණාගත ජනතාව පාලනය කිරීම අතට ගැනීමට සමහරු යටිසූත්තර සාදතියිsද හෙළිවී තිබේ. රජය ඒ නිසා බුද්ධිමත්ව හා වගකීමකින් යුතුව මේ ජනතාව ඔවුන්ගේ ගම්බිම්වලට යෑවීමට පියවර ගත යුතුය.

ප්‍රභාකරන් විසින් දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ හිස්‌වල හා මනසෙහි ද තැන්පත් කරන ලද බෙදුම්වාදී විෂබීජ හා ඊළාම්වාදයේ මළකඩ මුලිනුපුටා දමා, සිය ජනතාවගේ ප්‍රශ්න රජය හා එක්‌ව විසඳා ගැනීමට දෙමළ සන්ධානය සූදානම් වන්නේ නම් කොතරම් යහපත්ද? අපගේ ප්‍රාර්ථනාව ද එය එසේ වනු දැක්‌මයි.
(දිවයින - 09/09/02)

ටිප්පණිය - උදා වී ඇති නව දේශපාලන පරිසරය පිළිබඳ අපි සතුටු වන්නෙමු. මේ සහයෝගය ලැබෙන්නේ අවංක චේතනාවෙන් බවත් ඊළාම් සිහින රාජ්‍ය පිළිබඳ අවසන් බලාපොරොත්තුව ද අතහැර බවත් අපි තවදුරටත් විශ්වාස කරමු. ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටීමේ වගකීමක් රජයට ඇතැයි අපි සිතමු. දුර සිටින සතුරාට වඩා ළඟ සිටින මිතුරාගෙන් පරිස්සම් වීම අපහසු ය. එමෙන් ම මිතුරු වෙසින් ළඟ සිටින සතුරාගෙන් පරිස්සම් වීම ඊටත් වඩා අපහසු ය.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !