Monday, September 21, 2009

මෙහෙම ගියොත් මුතුහෙට්‌ටිගමගේ නාඩි නවතිනු ඇත

දකුණු පළාත් සභා ඡන්දයට ඉදිරිපත්ව සිටින නිශාන්ත මුතුහෙට්‌ටිගම නමැත්තා විසින් ප්‍රසිද්ධියේ කරන ලද ප්‍රකාශ කිහිපයක්‌ කෙරෙහි අපගේ අවධානය යොමු කරමු. ඒ මෙසේය.

* දකුණු පළාත් ඡන්දයෙන් පසු පොලිසියට නිවාඩු දෙන බව සහ පොලිස්‌පති වුවද තමාට ලොකු මිනිසකු නොවන බව.

* අනර්කලී ආකර්ෂා සිප ගැනීමට තමාට සිතෙන බව.

* තමා ස්‌ථිර වශයෙන්ම මහ ඇමැති වන බව.

* ජනාධිපතිතුමාගේ නාඩි වැඩ කරන හැටි තමා දන්නා බව.

* පිල්ලෙයාන් හැරුණු විට අත් දෙකෙන්ම වෙඩි තැබිය හැකි එකම මහ ඇමැති තමා බව.

* පළාත් සභාවට කෙසේ හෝ පොලිස්‌ බලතල ලබාගන්නා බව.

තමා දකුණු පළාත් සභා ඡන්දයෙන් මහ ඇමැති වනු ඇති බවට නිශාන්ත මුතුහෙට්‌ටිගම දිරවා ගැනීමට නොහැකි විශාල ලණුවක්‌ ගිල දමා ඇත. දකුණු පළාත් සභාවේ මීළඟ මහ ඇමැති මෙවැනි මිනිසකු නම්, ඡන්දය දෙන දවසේදී දකුණේ ජනයා මොළය පාවිච්චි කළොත් ස්‌ථිර වශයෙන්ම එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය පරදින බව තරයේ කියමින් අද අපගේ කතුවැකිය අරඹමු. දකුණේ ඡන්දයෙන් පසු පොලිසියට නිවාඩු දෙන්නේ කුමටද? විරුද්ධවාදීන්ගේ ගෙවල් ගිනි තැබීම පිණිස ය. විරුද්ධවාදීන්ගේ අතපය කුඩු කිරීම පිණිස ය. එසේ නැතුව පොලිසියට වන්දනා ගමන් හෝ විනෝද ගමන්වල යෙදීම සඳහා නොවේ. 1977 මහ මැතිවරණයෙන් පසු බලයට පත් වූ එ.ජා.ප.ය ද අනියම් ලෙස මේ කටයුත්තම කළේය. පොලිසියට නිවාඩු දීම යනු මහජන පැමිණිලි භාරගැනීමෙන් පොලිසිය වැළකී සිටීම ය. එවිට රිසි පරිදි අපරාධ කළ හැකිය. පොලිස්‌පති වුවද තමාට ලොකු නැති බව පැවැසීමෙන් තමා උපන්ගෙයි පුරසාරම්කාරයකු බව මුතුහෙට්‌ටිගම සනාථ කරයි. අනර්කලී ආකර්ෂා සිප ගැනීමට සිතෙන බව පැවැසීමෙන් තමා අවංක කාම රෝගියකු බවට ඔහු ඉඟි කරයි. ජනාධිපතිතුමාගේ නාඩි වැඩ කරන හැටි දන්නේ එතුමාගේ පෞද්ගලික වෛද්‍යවරයා ය. ජනාධිපතිතුමාගේ නාඩි වැටිල්ලේ හඬ කෙසේ වෙතත් මෙබඳු මිනිසුන් අරලියගහ මන්දිරයට හෝ ජනාධිපති මන්දිරයට ගැනීමෙන් පවා ජනාධිපතිතුමා වරදක්‌ සිදු කරයි. පිල්ලෙයාන් හැරුණු විට අත් දෙකෙන්ම වෙඩි තැබීමට හැකි බව කීම ගමේ ගොඩේ සිටින මෝඩ චණ්‌ඩින් කසිප්පු භාගයක්‌ කට ගාගත් පසු කටගැස්‌ම පිණිස බැදපු කරවල කැබැල්ලක්‌ සොයා යන අතරමඟ සරම ඔසවා දොඩන පුරසාරමක්‌ හා සමාන ය. පළාත් සභාවට පොලිස්‌ බලතල ලබාගැනීමට නිශාන්ත මුතුහෙට්‌ටිගම කටයුතු කරන්නේ නම් එහි කිසිදු වරදක්‌ නැති බව පමණක්‌ කියමු. මන්ද, පොලිසිය යනු සිවිල් ආයතනයකි. හදිසි නීතිය නැතිනම් පොලිසියට ගිනි අවියක්‌ පවා පාරේ ගෙන යැමට අවසර නැත. සාමාන්‍යයෙන් පළාත් සභාවකට පොලිස්‌ බලතල ලැබුණු විට සිදුවන දේ ගැන මුතුහෙට්‌ටිගමට දැනුමක්‌ නැත. එසේ බලතල දුන් විට පළාත් සභාවට පොලිස්‌ කොමසාරිස්‌ කෙනකු පත් කරනු ලැබේ. ඔහුද මධ්‍යම ආණ්‌ඩුවේ පොලිස්‌පතිට හෝ පොලිස්‌ කොමසාරිස්‌ ජනරාල්ට වගකිව යුතුය. මෙතැනදී පොලිසියට අණ දීමේ මුතුහෙට්‌ටිගමගේ සිහිනය බිඳවැටී පොලිසිය මධ්‍යම ආණ්‌ඩුවේ අණ දීම මත ක්‍රියා කිරීමට පටන් ගනී.

මේ සියල්ල සිදුවන්නේ නිශාන්ත මුතුහෙට්‌ටිගම මහ ඇමැති වුවහොත් පමණි. එහෙත් ඔහු මහ ඇමැති වන බවක්‌ ඔහු හැසිරෙන ආකාරයෙන් පෙනෙන මානයකවත් නොවේ. යම් හෙයකින් ඔහු මහ ඇමැති වුවහොත් දකුණේ ජනතාවට වස පානය කිරීමට සිදුවනවා ඇත.

කොයි පක්‍ෂවලත් මැරයෝ සිටිති. ප්‍රචණ්‌ඩ දේශපාලනඥයෝ වෙති. ඒ සියලු දෙනාටම පාලනයක්‌ තිබේ. මේ වූ කලී මර්වින් සිල්වා පවා දැඩි පාලනයක්‌ යටතේ හැසිරෙන කාලයකි. මේ රටේ දේශපාලනය හෙළුවෙන් මහමඟ දිගේ ගමන් කරනු වළක්‌වා ඊට ඇඳුම් ඇන්දවීමේ ව්‍යාපෘතියක්‌ දියත් කළ යුතුව ඇත. මෙය දියත් කළ හැක්‌කේ ද යුද්ධය දිනා මේ රට එක්‌සේසත් කරදුන්, දැනට පාතාලය අතුගා දමමින් සිටින, ඉදිරියේදී දූෂණය තුරන් කිරීමට සැලසුම් හදමින් සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂටම බව අපි සිතමු.

මේ වැකිය නිමවන්නේ පහත සඳහන් කුඩා කතාවෙනිá මෙයට කලකට පෙර ඔලිම්පික්‌ උළෙලක්‌ සඳහා ඇමරිකන් ක්‍රීඩා ශූරයෝ පිරිසක්‌ යුරෝපයට ගියහ. එහිදී පැවැති සමාරම්භක උළෙලේදී ඇමරිකන් ජාතික ගී තනුව වැයෙන අවස්‌ථාවේදී ගීතය තොල්මතුරමින් සීරුවෙන් සිටිය යුතු බව ඇමරිකන් ක්‍රීඩකයන් තිදෙනකුට අමතක විය. ඔවුහු ඒ අවස්‌ථාවේදී කතා කරමින් හා සිනාසෙමින් සිටියහ. ඒ දර්ශනය සජීවී රූපවාහිනි සේවාවන් නිසා ලෝකයෙන් අඩකට පමණ දැකගත හැකි විය. ඇමරිකාව කළේ ඒ ක්‍රීඩකයන් තිදෙනා වහාම සිය රටට ගෙන්වීම ය. එවැනි අය ක්‍රීඩාවට සුදුසු නැති බව ඇමරිකාවේ මතය විය. නිශාන්ත මුතුහෙට්‌ටිගම වැනි අය දේශපාලනයට සුදුසු නැති බව අපගේ මතයයි.

(දිවයින - 09/09/22)

ටිප්පණිය - හිටපු පලාත් සභා මන්ත්‍රීවරයෙකු මෙන් ම ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු වූ නිශාන්ත මහතා සිය ඡන්ද පදනම ඉතා වේගයෙන් විනාශ කර ගන්නා ආකාරය අපට දැක ගත හැකි ය. මීට ටික කලකට පෙර දිගු දේශපාලන ගමනක් යෑමේ පෙරමග සලකුණු ප්‍රකට කළ ඔහු ඒ සියල්ල සිදු නොවන දෑ බව දැන් පෙන්වා දෙයි. මේ ඔහුගේ වරදක් නොවේ. එහෙයින් මම ඔහු වෙනුවෙන් පෙනී සිටිමි.
වරද පක්ෂවල ය. කිසිදු සුදුසුකමක් නොබලා අපෙක්ෂකත්වය ලබා දීමේ වරද ය. ඒ නූගතුන් ජනතාව සිය නායකයින් ලෙස තෝරා පත් කර ගැනීමේ වරද ය. කටුස්සාගේ කරේ රන් බැඳීම බඳින උන්ගේ වරද මිස කටුස්සාගේ වරදක් ද? දැන් මුතුහෙට්ටිගම කටුස්සෙකු බව ද තමන් මහෞෂධ පඬිතුමාන්ලා යැයි ද සිතා සෙසු කටුස්සන් උදම් අනනු දැක ඔබට සිනාසිය හැකි ය. කාට කියන්න ද මේ දුක?

1 comment:

ම.ම.ගි said...

බලාගෙන ගියාම මුතුහෙට්ටිගම මරු පොරක්නෙ ඕයි! ඔහොම යං පුතා!

 
සිය රට දේ සිරි සැප දේ !