Sunday, May 31, 2009

දෙමළ නායකත්වයේ ප්‍රශ්නය!

අද ලංකාවේ හටගෙන ඇති ප්‍රධානතම දේශපාලන සංසිද්ධිය වන්නේ කොටි සංවිධානයේ පරාජයත් සමගම ලංකාව සහමුලින්ම ප්‍රතිනිර්මාණය කිරීමට සිදුවී තිබීමය. කොටි සංවිධානයේ පරාජයත් සමගම ඇති වී තිබෙන නව යථාර්ථයන් පිළිබඳ අවබෝධය මෙරටේ දෙමළ සමාජය තුළට කිඳා බැසීමට තව අවුරුද්දක් වත් ගත වනු ඇත. කොටි සංවිධානය මෙරටේ දශක කීපයක් තිස්සේ ක්‍රියාත්මකවීම නිසා එය නැතුව ජීවිතය කෙබඳුවේ දැයි දෙමළ මිනිසුන්ට පමණක් නොව සිංහල මිනිසුන්ටත් සිතා ගැනීමට අසීරුය. ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන්ගේ මරණය සමරමින් ලංකාවේ තැන් තැන්වල සිංහල මිනිසුන් සතියක් පමණ කිරිබත් කෑමත් රතිඤ්ඤා පත්තු කිරීමත්, සිංහ කොඩි ඔසවාගෙන පෙළපාලි යෑමත් නිසා අමුතුම ආකාරයේ ජාතිවාදයක් රට තුළ ඉස්මතු වී තිබෙන බවක් ඇතැම් කොටස් කීවද ඒ ජාතිවාදයක පිළිබිඹුවක් යැයි මම සිතන්නේ නැත. ඒ මන්ද යත් මීට කලින් සිංහල ත්‍රස්තවාදියකු වු රෝහණ විජේවීර මියගිය විටත්, ජනතාවගේ ඇතැම් කොටස් අතර දැඩි අප්‍රසාදයකට පාත්‍ර වී සිටි ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා මියගිය විටත් මිනිසුන් කිරිබත් කෑමත්, රතිඤ්ඤා පත්තු කිරීමත් සිදු කළේය. වෙනසකට තිබුණේ ඒවා එක් දවසකට පමණක් සීමා වීමත් ප්‍රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් කිරිබත් කෑම සතියක්ම පැවතීමත්ය.

මෙහිදී අප වඩාත්ම පුදුම විය යුත්තේ මේ රටට අතිවිශාල සේවයක් කළ ප්‍රේමදාස මහතා කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු අතින් මියගිය විට මේ රටේ සාමාන්‍ය පන්තියේ ඇතැම් මිනිසුන් කිරිබත් කෑම ගැනය. ප්‍රේමදාස මහතා අතින් සිදු වුයේ දේශපාලන වැරුදි කීපයක් පමණි. ඔහු බුරුතු පිටින් මිනිසුන් මැරුවේවත් දේපළ විනාශ කළේවත් නැත. ඔහු කළ දේශපාලන වැරුදිත් එ.ජා.ප. යේ අභ්‍යන්තරයට පමණක් සීමා වු ඒවා විය. විපකෂයට ඔහු කිසිදු කෙනහිලිකමක් නොකළේය. චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවේ සිටි ප්‍රබලම ඇමැතිවරයෙක් වු අනුරුද්ධ රත්වත්තේ මහතා සිය චරිතාපදානයේ මේ බව පිළිගෙන ඇත. ඔහු ප්‍රේමදාස මහතා හඳුන්වා ඇත්තේ විපකෂයට නම් සුහද මිනිසෙක් හැටියටය. ඉතින් මෙවන් මිනිසකුගේ මරණය ඇතැම් සිංහල මිනිසුන් විසින්ම රතිඤ්ඤා හා කිරිබත්වලින් සැමරුවේ නම් ප්‍රභාකරන්ගේ මරණය සතියක් පුරා සැමරීම ජාතිවාදයක පිළිබිඹුවක් නොවන බව පැහැදිලිවම කිව හැක.

යුද හමුදාව ද කොටි සංවිධානයට පන්න පන්නා පහර දී මුළු නායකත්වයම සමුල ඝාතනය කිරීම ද ජාතිවාදයක් නොවේ. මේ ත්‍රිවිධ හමුදාව 1987:89 කාලයේදී සිංහල ත්‍රස්තවාදීන්ට කළේ ද ඔය ටිකමය. ජ.වි.පෙ. දෙවැනි කැරුල්ල අවසන් වී නල්ලතම්බි ශ්‍රී කාන්ත නමැති දැන් දෙමළ සංධානයේ සිටින මන්ත්‍රීවරයා හමුවීමට ගිය අවස්ථාවේදී මම "ද අයිලන්ඩ්" පුවත්පතට ජනතා විමුක්ති පෙරමුණේ කැරුල්ල සම්බන්ධයෙන් ලියා තිබුණු ලිපි පෙළේ සඳහන් කොට තිබුණු මරණ සංඛ්‍යාව පිළිබඳ ඔහු මවිතය පළ කර සිටියේය. මා දී තිබු සංඛ්‍යාව වුයේ අවුරුදු 2 1.2 ක ජ.වි. පෙරමුණේ දෙවැනි කැරුල්ල සමයේ දෙපැත්තෙන්ම 40,000 ක් මියගිය බවයි. ශ්‍රී කාන්ත මන්ත්‍රීවරයා කියා සිටියේ උතුර සහ නැගෙනහිර දෙමළ කැරුල්ල අවුරුදු 10 කටත් වඩා පරණ වුවත් එතරම් සංඛ්‍යාවක් මියගොස් නැති බවයි. ඉතින් මේ ආකාරයට බලන කල ත්‍රිවිධ හමුදාව විසින් සිංහල ත්‍රස්තවාදීන්ටත් දෙමළ ත්‍රස්තවාදීන්ටත් බෙදා ඇත්තේ එකම හැන්දෙනි.

අද පැමිණ තිබෙන මේ සංධිස්ථානය ඉතා කලාතුරකින් ලැබෙන අවස්ථාවකි. හමුදාව කොටි සංවිධානය විනාශ කළ ආකාරය තුළ ජාතිවාදයක් තිබෙනවා යැයි කීම කරුණු හරිහැටි සලකා බලා කිවු දෙයක් නොව කොටි සංවිධානයේ විනාශය නිසා ඇති වු කම්පනයෙන් කියන දෙයක් යැයි මම විශ්වාස කරමි. මේ ඇති වී තිබෙන මහඟු අවස්ථාව සම්බන්ධයෙන් අවිනිශ්චිත සාධකය වන්නේ දෙමළ ජනතාවයි. දෙමළ මිනිසුන් සුළු ජනකොටසක් වශයෙන් වාසය කරන්නේ ලංකාවේ පමණක් නොවේ. ඉන්දියාව, මැලේසියාව, සිංගප්පුරුව, දකුණු අප්‍රිකාව වැනි රටවල ද දෙමළ ජන කොටස් ජීවත් වෙයි. ලෝකය පුරා මේ ආකාරයට විසිරී සිටින දෙමළ ජාතිකයන් අතුරෙන් අවාසනාවන්තම දෙමළ ජන කොටස වාසය කරන්නේ ලංකාවේ උතුර නැගෙනහිර ප්‍රදේශවලය. ඔවුන්ට ඉතිහාසයේ කොයිම අවස්ථාවකදීවත් බුද්ධිමත් නායකත්වයක් සිටියේ නැත.

ඒ අතින් බලද්දී ලංකාවේ කඳුකරයේ වාසය කරන ඉන්දීය දෙමළ සම්භවයක් ඇති දෙමළ ජනතාව ඊට වඩා බෙහෙවින්ම වාසනාවන්තය. ඔවුන්ගේ නායකයා වු සෞම්‍ය මුර්ති තොණ්ඩමන් මහතා මියගිය අවස්ථාවේ මා ඔහු හැඳින් වුයේ "දෙමළ මිනිසුන්ගේ ඩී. එස්. සේනානායක" යනුවෙනි. සෞම්‍යමුර්ති තොණ්ඩමන් ද හදිසි තීරණ නොගන්නා හොඳින් සිතා බලා කටයුතු කරන ඩී. එස්. සේනානායක කාලයේ කොන්සවේටිව්වාදී (ඡඔනසඑරවඅටඉවඑ) නායකයකු විය. සෞම්‍යමුර්ති තොණ්ඩමන්ට උතුරේ දෙමළ නායකයන්ට තිබුණු ආකාරයේ මනා උගත්කමක් තිබුණේ නැත. නමුත් ඔහුට කළ හැකිදේ මොකක්ද, කළ නොහැකි දේ කුමක්ද, කළ යුතුදේ කුමක්ද, නොකළ යුතු දේ කුමක්ද යන්න පිළිබඳ හොඳ ඉවක් තිබිණි. තමාට ලබාගැනීමට අවශ්‍ය දේ ලබාගත හැක්කේ කුමන ආකාරයට ද යන්න ගැනත් ඔහුට ඉතා හොඳ අවබෝධයක් තිබිණි. ලංකාව තුළ සිටින සියලුම දෙමළ මිනිසුන්ගේ නායකයා ඔහු වුයේ නම් මේ රටේ උතුර නැගෙනහිර දෙමළ මිනිසුන්ට අද අත්වී තිබෙන ඉරණම අත්වන්නේ නැත.

1970 ගණන්වලදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ගොඩනඟන විට සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතා ද එහි සාමාජිකයෙක් විය. නමුත් ඔවුන් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටි විට තොණ්ඩමන් මහතා වහාම එයින් ඉවත් විය. එසේ ඉවත් වී ඔහු තම ජනතාවගේ උන්නතිය සඳහා කටයුතු කළේය. අද වන විට ඔහු නියෝජනය කළ වතු දෙමළ ප්‍රජාවගෙන් ඇත්තටම වතුවල සේවය කරන්නේ 50% කටත් අඩු ප්‍රතිශතයකි. සෙසු උදවිය වෙනත් වෘත්තීන්වලට යොමුවී වතු සේවයෙන් ඉවත් වී ඇත. ඒ තොණ්ඩමන්ගේ ජයග්‍රහණයයි. ඔහු හා සසඳන විට උතුරේ දෙමළ ජනතාවට නායකයන් හැටියට සිටියේ අමු ගොන් රුලකි. ඔවුන් කිසිදාක පුළුවන් දේකට අතගසන්නේ නැතුව අත ගැසුවේ බැරි දේවල්වලටමය. සියලු දේ කරේ නොකෙරෙන තැනටය.

මෙරට නිදහස ලැබු කාලයේ සිටි දෙමළ නායකයා වුයේ ජී. ජී. පොන්නම්බලම්ය. එකල ලංකාවට නිදහස දීම සඳහා බ්‍රිතාන්‍යයේ සෝල්බරි සාමිවරයා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරමින් සිටි අවස්ථාවේ ඔහු එම කොමිසමට සාධාරණ සහ යුක්ති සහගත ආකාරයක ඉල්ලීමක් ඉදිරිපත් කළේ නම් ලංකාවේ දෙමළ මිනිසුන්ට උතුර නැගෙනහිර ප්‍රදේශ තුළ යම් ස්වයං පාලනයක් වුවත් ලබාගැනීමට හැකියාව තිබිණි. එකල හැන්ද තිබුණේ බ්‍රිතාන්‍ය අතේය. ඒ නිසා ඔවුන් කරන දෙයකට දකුණේ සිංහල ජාතිවාදීන්ටවත් විරුද්ධවීමට නොහැකි වනු ඇත. නමුත් ජී. ජී. පොන්නම්බලම් මහතා උගත් නීතිඥයෙක් වුවත් ඔහු සෝල්බරි කොමිසම ඉදිරියට ගොස් ඉල්ලා සිටියේ කිසිවකුටත් දිය නොහැකි ලෝක ධර්මතාවටත් පටහැනි දේවල්ය. ඔහුගේ ඉල්ලීම වුයේ ලංකාවේ පාර්ලිමේන්තුව තුළ සිංහල ජනතාවට ආසන 50% කුත් දෙමළ හා මුස්ලිම් සුළු ජාතීන්ට ඉතිරි ආසන 50% ත් ලැබෙන ආකාරයෙන් පාලන ක්‍රමයකි.

සෝල්බරි කොමිසම මෙම ඉල්ලීම අවඥා සහගතව එකහෙළාම ප්‍රතිකෙෂ්ප කළේය. පොන්නම්බලම් නොදිය හැකි දේවල් ඉල්ලා කිසිවක් නොලබා සිටියේය. අවුරුදු 60 කට පසු ප්‍රභාකරන් ද අතරමැද විසඳුම් ඕන තරම් තිබියදී නොදිය හැකි දේම ඉල්ලා කිසිවක් නොලබා මැරුම් කෑවේය. පොන්නම්බලම් හා ප්‍රභාකරන් අතර සිටි දෙමළ නායකයන් දෙදෙනා වුයේ එස්. ජේ. වී. චෙල්වනායගම් හා ඒ. අමිර්තලිංගම්ය. චෙල්වනායගම් තමන් විසින් බිහි කළ රකුසාගෙන් මැරුම් කෑමට කලින් ස්වාභාවික මරණයකට ලක් වුයේය. නමුත් ඒ සියලු ආනිශංස ඔහුගෙන් පසු දෙමළ ජනතාවගේ අසහාය නායකයා බවට පත් වු අමිර්තලිංගම්ට අත්විඳීමට සිදුවිය. 1976 දී දෙමළ ජාතිය වෙනුවෙන් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටියේ අමිර්තලිංගම්ය. එම තීරණයෙන් අවුරුදු 4 ක් යෑමටත් කලින් අමිර්තලිංගම්ගේ තිබුණු සියලු බලතල නැතිවී ඔහු වෙනම රාජ්‍යයක් දිනා ගැනීම සඳහා බිහිවු නොයෙක් ත්‍රස්තවාදී කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවෙක් බවත් පත්වී සිටියේය.

අනුරුද්ධ රත්වත්ත මහතාගේ චරිතාපදානයේ සඳහන් වන ආකාරයට අමිර්තලිංගම් මහතාගේ ආරාධනය පරිදි සිරිමා බණ්ඩාරනායක මැතිනිය යාපනයට ගිය විට ඔවුන්ගේ එම සංචාරය කිරීමට සිදුවී තිබුණේද එවන් ත්‍රස්තවාදී කණ්ඩායමක පාලනය යටතේය. අවසානයේදී මේ ත්‍රස්තවාදීන්ගේම අතින් එල්ල වුණු වෙඩි වරුසාවක් මැද අමිර්තලිංගම් මහතාට මිය පරලොව යෑමට සිදුවිය.

මේ ආකාරයට අවුරුදු 60 කටත් වඩා වැඩි කාලයක් තිස්සේ මේ රටේ උතුරේ දෙමළ නායකත්වය කර ඇත්තේ නොලැබෙන දෙයක් පසුපස හඹා යමින් කිසිදු හේතුවක් නැතුව දුක් විඳීම පමණි. ප්‍රභාකරන් ද අවුරුදු 30 කට අධික කාලයක් තිස්සේ නටපු නැටුමකුත් නැත. බෙරේ පලුවකුත් නැත. ප්‍රභාකරන්ගේ තැන ගැනීමට අනාගතයේදී උතුර නැගෙනහිර ප්‍රදේශවලින් බිහිවන නායකත්වය, කුමන මාවතක් ගනීවි දැයි අපට තවම කිව නොහැකිය. අතීතයේදී නම් උතුරේ නායකත්වය නොලැබෙන දෙයම ඉල්ලා අරගල කළේ තමන් පිළිබඳ එක්තරා අධි තක්සේරුවක් තිබුණු නිසාය. අද දෙමළ ජනතාවට තිබෙන ආකාරයේ අත්දැකීමක් එදා චෙල්වනායගම්ලාට, අමිර්තලිංගම්ලාට නොතිබිණි. දෙමළ ජනතාව අතරෙන් බිහිවු කොටි සංවිධානය වැනි ලෝකයේ ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය වශයෙන් ඇමරිකාවේ තඊෂ ආයතනය විසින් නිල වශයෙන්ම පිළිගත් සංවිධානයක් ලෝකයේ සිටින බලගතුම බටහිර රටවල් සියල්ලගේම සහයෝගය ලැබෙද්දී මේ ආකාරයට නින්දිත ලෙස සමුල ඝාතනය වනු ඇතැයි චෙල්වනායගම් හා අමිත්තලිංගම් දැන සිටියේ නම් ඔවුන්ගේ ක්‍රියාකලාපය යම් තාක් දුරකට වෙනස් වන්නට ඉඩ තිබුණේ යැයි අනුමාන කළ හැක.

අනාගතයේ උතුරෙන් බිහිවන දෙමළ නායකත්වයට මේ ලබා තිබෙන අත්දැකීමෙන් කළ හැක්කේ කුමක්ද කළ නොහැක්කේ කුමක්ද? කළ යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද? යනාදිය පිළිබඳ අවබෝධයක් ලැබී තිබීම මේ රටේ සිටින දෙමළ ජනතාවගේත් සිංහල ජනතාවගේත් අනාගත උන්නතියට බෙහෙවින් බලපානු ඇත. අනාගත ලංකාවේ ස්ථාවර භාවය සම්බන්ධයෙන් ඇති ප්‍රශ්නාර්ථය වන්නේ සිංහල ජනතාව අතර තිබෙන ජාතිවාදය නොව උතුරේ දෙමළ නායකයන්ගේ ගොන්කම් දැන්වත් සුව වුවාද යන්නයි.

සී. ඒ. චනද්‍රප්‍රේම
(දිවයින_09/06/01)

පසුවදන_ද්‍රවිඩ ජනතාවට ආදරය කරන එමෙන් ම රටට ද ආදරය කරන දුරදිග පෙනෙන ද්‍රවිඩ නායකත්වයක් අද අපට අවශ්‍ය ය. ඒ අපේ සහෝදර ජනතාව නැවතත් විවිධ මිරිඟුවන් පසුපස ඇදගෙන නොයා ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කරගැනීමට ය. ඒ සඳහා අතීතයෙන් පාඩම් උගත් පෞද්ගලික න්‍යාය පත්‍රවලින් සසල නොවන නායකයින් පහළ වේව! අපට මෙසේ පතන්ට සිදුව ඇත්තේ එවැනි නායකයින් කොටි ත්‍රස්තවාදයට යටව උපන්ගෙයිම මියගිය හෙයිනි.

2 comments:

sanzilla said...

now the person who represent the tamil ppl in sri lanka is a WAR criminal.
see http://en.wikipedia.org/wiki/War_crime

or murder ,see
http://en.wikipedia.org/wiki/Murder

But he represent the parliament. He is a parliament member. But this is a free country , I continuously telling him criminal. No one have the right the speak about it.

I hope there should be a better leadership for tamil ppl. And tamil. and I really hates a war criminal inside the parliament .He is may be now good man but he is a murder , so I can't stop him telling a murder and I also telling him a minister ( I really don't like to tell him a minister but had to ).

නාමල් උඩලමත්ත said...

මම හිතන්නේ ඔයා කියන්නේ හිටපු නැගෙනහිර කොටි නායක කරුණා හෙවත් විනයාගමූර්තී මුරලිදරන් ගැන. මම හරි ද? එසේ නම් මම ඒකට මීට පෙර දීපූ උත්තය ම නැවත උපුටා දක්වනවා. එතනදී කෙනෙක් මගෙන් ඇහුවා කේ.පී.ට සමාව නොදෙනවා නම් විනයාගමූර්තිට සමාව දුන්නේ කොහොම ද? කියලා. මෙන්න ඒකට මගේ උත්තරේ.

"කරුණා සිය සංවිධානය ඉතා ම ප්‍රබල තත්ත්වයක තිබිය දී එය අතහැර, බෙදුම්වාදය අතහැර ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසියෙකි. කොටි ත්‍රස්තවාදය පරාජය කරන්නට උදව්වූවෙකි. එහෙයින් ඔහු පිළිබඳ ගැටළුවක් අපට නැත.

එහෙත් කේ.පී. එවැන්නකු නොව ජාත්‍යන්තර පොලිසියේ ද වරෙන්තුකරුවෙකි. අවි, කුඩු ජාවාරම්කරුවෙකි. රජිව් ගාන්ධි ඝාතනය ගැන ඉන්දියාව අත් අඩංගුවට ගැනීමට බලා සිටින්නෙකි. එහෙයින් ඔහු සහ කරුණා සැසඳීම අසාධාරණ ය. ඔහුට ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසීමට ඉඩ දේ නම් බින් ලාඩන්ට ද ඒ අවස්ථාව ලබාදිය යුතු ය"

 
සිය රට දේ සිරි සැප දේ !