Wednesday, May 27, 2009

නව යටත්විජිතවාදයට එරෙහිව....

එක්සත් ජාතික පකෂයේ මන්ත්‍රීවරයකු වන ලකෂ්මන් කිරිඇල්ල මහතා ජාතියකට ඉතා කලාතුරකින් පහළ වන ආකාරයේ පුද්ගලයෙකි. එතුමා විටින් විට කරන ප්‍රකාශ ආප්ත වචන සේ සලකා පොතක ලියා පළ කිරීමට පියවර ගත යුතුය. එතුමා අලුතින්ම කියු ආප්ත වචන මාලාව මෙසේය: "ත්‍රස්තවාදය අවසන් කර ශ්‍රී ලංකාව අද ජයග්‍රහණය ලබා තිබේ. මෙහි ගෞරවය 80 දශකයේ සිට මේ දක්වා බලයට පත්වු දේශපාලන නායකයන්, ආණ්ඩු සහ ත්‍රිවිධ හමුදාව අතර බෙදී යා යුතුය."

ජයග්‍රහණයට පියවරු දහසකි. මේ යුද්ධය පැරදුනා නම් පරාජයට පියවරුන් එකම එක් කෙනෙකි. ඒ පියා ජනාධිපති මහින්ද රාජපකෂය. අප කිරිඇල්ල මහතාගෙන් ඉතා කුඩා ඉතා සරළ ප්‍රශ්න දෙකක් අසමු. ඕනෑම ගොනකුට යුද කළ හැකිය යනුවෙන් එතුමා කිවු කතාවේ ගෞරවය එතුමා පමණක් තනිව භුක්ති විඳිනවා ද නැතහොත් 1980 න් පසු රට පාලනය කළ සියලු දෙනා අතරත් බෙදී යනවාද? එසේම සටන් විරාම ගිවිසුම කාලයේ කොටි සංවිධානය විසින් හමුදා බුද්ධි අංශය ඝාතනය කරනු ලැබීමේ වගකීම, ශ්‍රී ලංකාවට යුද අවි ගෙන්වීමේ වගකීම යනාදිය පිළිබඳ වගකීම එතුමා ඇතුළු එ. ජා. ප ය තනියෙන්ම බෙදා ගන්නවාද නැතහොත් එයත් 80 න් පසු බලයට පත්වු සියලු ආණ්ඩු හා ත්‍රිවිධ හමුදාව අතර බෙදී යන්නට සලස්වනවාද? මේ ප්‍රශ්න දෙකට එතුමා දෙන උත්තර අනුව එතුමාගේ ආප්ත වචන යොදා පොතක් අච්චු ගසනවාද නැද්ද යන්න තීරණය කළ හැකිය.

* * * * * *

ශ්‍රී ලංකාව තුළ තවදුරටත් සුළු ජාතීන් නැති බව ජනාධිපතිතුමා විසින් ප්‍රකාශ කරනු ලැබීමත් සමඟම මේ රටේ ජාතිකත්වයට නව මානයක් ලැබිණි. ඒ අනුව සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යනාදී වශයෙන් භේදයක් නැතිව ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ජීවත්වීමට මේ රටේ ජනයා තුළ තිබු සිහිනය තවත් පුළුල් විය. එහෙත් ඒ සිහිනය සාර්ථක කර ගැනීමට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් වැනි කුහක දේශපාලනඥයන්ද, කොටින්ගෙන් මුදල් ගෙන ජීවත් වු විදේශික බලවේගද ඉඩ නොදෙන බව පෙනේ. මුලින්ම මේ කුහකයෝ අපට ජී. එස්. පී. සහනය ලැබෙනවාට විරුද්ධ වුහ. ඊළඟට යුද්ධයේදී සිවිල් වැසියන්ට හානි වු බව කියමින් ශ්‍රී ලංකාවට විරුද්ධව මානව හිමිකම් කඩවීමේ චෝදනාවක් එක්සත් ජාතීන් වෙත ඉදිරිපත් කිරීමට ඔවුහු කටයුතු කළහ. මේ රුදාවේ සැබෑ හේතුව සිවිල් වැසියන්ට හානි සිදුවීම නොව කොටි නඩය අතුගෑවී යෑම ය. ප්‍රභාකරන් මැරීමට නොහැකි බව ස්ථාපිතයක් බවට පත්ව තිබුණි. එහෙත් ප්‍රභාකරන් පමණක් නොව සුසෙයි ද, පොටිටු අම්මාන්ද, කරිකාලන්ද සියලු කොටි ප්‍රධානීන් ද මරණ ලදී. මෙතැනදී කේ. පී. අත්හරිමු. ඔහු වරෙන්තුකාරයෙකි. ඔහුට මේ ආත්මයේදී එල්. ටී. ටී. ඊ. ය නඟා සිටුවිය නොහැකි ය. ඔහුට යුද භුමියේ අත්දැකීම් ද නැත. ප්‍රභාකරන් කොල්ලකෑ සල්ලි ඔහු වෙනුවෙන් ආයෝජනය කළ කේ. පී. "කොමිස් එකට" ගනුදෙනු කතා කරන තැරුව්කරුවෙකි. කේ. පී. කෙළින් කිරීමේ ජාත්‍යන්තර වෑයමක් අද තිබේ. ශ්‍රී ලංකාවට විරුද්ධව මානව හිමිකම් ප්‍රශ්නයක් ගෙන ඒම සහ කේ. පී. කෙළින් කිරීම අතර සම්බන්ධයක් තිබීමට ද පුළුවන. දැනටමත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට අවතීර්ණ වීමට කේ. පී. කැමැත්ත පළකර තිබේ. ත්‍රස්තවාදියාට මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද? කේ. පී. ට හිමි විය යුත්තේ ප්‍රභාකරන්ට හිමි වු ඉරණමම ය.

ජෝර්: බුෂ් ජනාධිපතිව සිටි කාලයේ දී ඇෆ්ගනිස්තානයට සහ ඉරාකයට කඩාවැදුණු ඇමරිකානු හා බ්‍රිතාන්‍ය සෙබළුන් ඒ රටේ ජනයා සංහාරය කළේ ඉතාම භයානක ලෙස ය. මේ සංහාරවලදී ළමයි ද මිය ගිය හ. මෙයට දශක තුන හතරකට පමණ පෙර වියටිනාමයට කඩාවැදුණු ඇමරිකන් හමුදාව වියටිනාම් වැසියන්ගේ දෑත් බැඳ පිහිවලින් බඩ කපා, එසේ කපන අයුරු ඡායාරුපගත කර වියටිනාමය පුරා බෙදා හැරිය හ. ඒ ස්වදේශික ජනයා මානසික වශයෙන් බිම ඇද දැමීම සඳහාය ය. මෙසේ කළ ඇමරිකාව සහ ඇමරිකාව කළ සෑම තුප්පහි වැඩකටම උපකාර කර ආත්මය පාවාදුන් බ්‍රිතාන්‍යය අද ශ්‍රී ලංකාවට විරුද්ධව පෙරමුණ ගෙන කටයුතු කරති. කවරකුගෙ වුවමනාවටද? කොටින්ට දුන් පොරොන්දු රුකීම පිණිස ය. මේ තුප්පහි රටවල්වලට විරුද්ධව ඒ රටවල පයට පෑගී සිටින රටවල් එක්ව පෙරමුණක් බිහි කළ යුතු ය. ඒ පෙරමුණට උපකාර කිරීමට චීනය, රුසියාව, කියුබාව, ඉන්දියාව වැනි රටවල් ඉදිරිපත් වනු ඇති. ඒ පෙරමුණ ඇරඹීමට හොඳම අවස්ථාව මෙය යි.
(දිවයින_09/05/28)

පසුවදන_යුද්ධ කරන්න ඕන ගොනෙකුට පිළිවනැයි කී මනුස්සයා ඒ ගොන් වැඩේ ගෞරවය බෙදා ගැනීමට එක්වීම පෙන්වන්නේ අද එජාපයේ ඉතිරි වී සිටින ඇට්ටකුණා වූ ඇතැම් දේසපාලුවන්ගේ බංකොලොත්භාවයයි. විලිලැජ්ජා නැතිකමයි. ඒ ගැන අප පුදුම නොවන්නේ මෑත කාලීනව එජාපය හැසිරුණේ විලිපැජ්ජාවක් ඇතිවුන් ලෙස නොවන නිසා ය.

අද උදෑසන අප ලද අලුත් ම පුවත වූයේ යුරෝපා සංගමයේ කොටි හිතවතුන්ගේ මානව හිමිකම් යුද්ධයෙන් ද අපේ රට ජයගත් බව ය. මේ වූ කලී නව යටත්විජිතවාදයට විරුද්ධ සියලු රටවල් ලද ජයෙකි. යුරෝපය විසින් සූරාකෑ යුරෝපය නිසා දුක් විඳි රටවල් එඩිතරව ගත් පියවරෙකි. බලය පරදා යුක්තිය ජය ලැබූ අවස්ථාවෙකි. කොටන්ගේ ජාත්‍යන්තර පිල්ලිය ලද පරාජයෙකි. මේ අවස්ථාවේ අපේ රටේ මිතුරන් සහ සතුරන් හදුනා ගැනීමට කදිම අවස්ථාවක් උදාවී ඇත. දුක සැප දෙකෙහි ම අප අතනෑර හුන් මිතුරු තුමන්ලාට අපි අපේ ප්‍රණාමය පුදමු. සතුරන් දිනාගන්නට පිලියම් යොදමු.

2 comments:

Chrishi said...

කේ. පී. ට හිමි විය යුත්තේ ප්‍රභාකරන්ට හිමි වු ඉරණමම ය.


එතකොට කරුනා ??????

නාමල් උඩලමත්ත said...

කරුණා සිය සංවිධානය ඉතා ම ප්‍රබල තත්ත්වයක තිබිය දී එය අතහැර, බෙදුම්වාදය අතහැර ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසියෙකි. කොටි ත්‍රස්තවාදය පරාජය කරන්නට උදව්වූවෙකි. එහෙයින් ඔහු පිළිබඳ ගැටළුවක් අපට නැත.

එහෙත් කේ.පී. එවැන්නකු නොව ජාත්‍යන්තර පොලිසියේ ද වරෙන්තුකරුවෙකි. අවි, කුඩු ජාවාරම්කරුවෙකි. රජිව් ගාන්ධි ඝාතනය ගැන ඉන්දියාව අත් අඩංගුවට ගැනීමට බලා සිටින්නෙකි. එහෙයින් ඔහු සහ කරුණා සැසඳීම අසාධාරණ ය. ඔහුට ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසීමට ඉඩ දේ නම් බින් ලාඩන්ට ද ඒ අවස්ථාව ලබාදිය යුතු ය

 
සිය රට දේ සිරි සැප දේ !