Wednesday, May 20, 2009

ප්‍රභාකරන්ගේ මරණය හා ත්‍රස්තවාදයේ මරණය

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරකෂක මණ්ඩලයට ගතු කියා වේළුපිල්ලේ ප්‍රභාකරන් හා ඔහුගේ කැලෑ බෑන්ඩ් එක ගලවා දීමට වෑයම් කළ මිලිබෑන්ඩ් සුදු මහත්තයා ප්‍රභාකරන් මියගිය බව පිළිගෙන ඇතැයි ඔහුගේ නිහඬතාවයෙන් අප තේරුම් ගත යුතුය. එහෙත් එදා ප්‍රභාකරන් කර තබාගෙන සිටි අයගෙන් සමහරක් අද ඔහුගේ මළ සිරුර ද කරට ගෙන සිටින බව නම් අපට පැහැදිලිවම පෙනේ.

හමුදා ප්‍රහාරයකින් වේළුපිල්ලේ ප්‍රභාකරන් මියගිය බව හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කර තිබේ. එසේම නන්දිකඩාල් කලපුවෙන් සොයාගත් බව සඳහන් සිරුර නියත වශයෙන්ම වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේම බව කලකට පෙර ඔහුගේ සමීප සගයන්ව සිටි මෙම රජයේ ඇමැතිවරයකු වන කරුණා අම්මාන් මෙන්ම එල්. ටී. ටී. ඊ. සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකයකුව සිටි දයා මාස්ටර් ද තහවුරු කර තිබේ.

ප්‍රභාකරන් ඇතුළු ඔහුගේ ජන ඝාතක නඩයම හමුදා ප්‍රහාරවලින් මිය ගොස් ඇති බව මේ රටේ බහුතර ජනතාවගේ විශ්වාසය හා පිළිගැනීමයි. අපට ද ඒ පිළිබඳ කිසිදු සැකයක් නැත. එහෙත් ප්‍රභාකරන් මියගොස් ඇති බව තහවුරු වුවද හදවතින් එය පිළිගැනීමට අකැමැති සුළු පිරිසක් හෝ සිටින බව ද පෙනේ.

තිස් වසරක් මුළුල්ලේ මේ රට අඳුරු අගාධයකට තල්ලු කළ ෆැසිස්ටිවාදී නායකයාත් ඔහුගේ ප්‍රචණ්ඩත්වයත් මුලිනුපුටා දැමීමට තරම් අධිෂ්ඨානශීලී හා ක්‍රියාශීලී වීරෝදාර හමුදාවක් අපට සිටි බව දැන් ලොවම පිළිගන්නා සත්‍යයකි. ජනාධිපති මහින්ද රාජපකෂ මහතා ඒ ඓතිහාසික විජයග්‍රහණය මේ රටේ ජනතාවගේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුවේ සිට රටට පමණක් නොව ලොවටම දැනුම් දුන්නේ මොනතරම් අභිමානයකින්ද?

අපේ සංස්කෘතික උරුමය මෙන්ම ප්‍රෞඪ සංස්කෘතියේ ද එක් කේන්ද්‍රස්ථානයක් වු ශ්‍රී ජයවර්ධන පුරයෙන් අහසට නැඟුණු ජනාධිපතිවරයාගේ ඒ වදන් දෙවන නිදහස් සටනේ කාහල නාදය ලෙස අපි දකිමු. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී සියලු ජන හදවත්වල ප්‍රාර්ථනාවන්හි යශෝරාවය එයම නොවේද?

ජනාධිපති මහින්ද රාජපකෂයෝ සිහ නද කළහයි තුටු වු ගම් දනව්වල ජනතාව ද ප්‍රීතියෙන් ඔකඳව ඔල්වරසන් දුන් අයුරු ද අපි දිටිමු. ඒ සියල්ල දැක එහෙත් වාවා ගත නොහැකි සුළු පිරිසක් ද සිටිතියි අපිද හඟිමු. ප්‍රභාකරන්ගේ මළ සිරුර ඒ අයට ප්‍රණීත ආහාරයක් වීම ගැන ද අපි පුදුම නොවන්නෙමු.

ප්‍රභාකරන්ගේ මරණය මෙන්ම ත්‍රස්තවාදයේ මරණය ද අපේකෂා නොකළ අය ඉච්ඡාභංගත්වයට පත්ව සිටිති. එය කිසිසේත්ම මේ රටේ ජනතාවට වැදගත් හෝ බලපාන කරුණක් ද නොවේ. අපට ඊට වඩා ප්‍රමුඛ හා වැදගත් කටයුතු තිබේ.

ත්‍රස්තවාදයේ ශාපයට ගොදුරු වු රටක් ගොඩනැංවීම යනු කෂණිකව කළ හැක්කක් නොවේ. උන්හිටි තැන් අහිමිව ඇඳිවත පිටින් වන්නියේ දෙමළ ජනතාව ජීවිතය සොයා ගිය වග අපි දනිමු. එහෙත් කොටි දේශපාලන නායකයකු බව කියන පුලිතේවන්ගේ ගමන් මල්ලේ රුපියල් එක්කෝටි විසිතුන් ලකෂයක් තිබී ඇත. තවත් කොටි නායකයන්ගේ මළ සිරුරු සමග එබඳුම මුදල් කඳු හමුවී ඇත. මුහුදු කොටි නායකයාගේ බිරිඳ අත රත්තරන් කිලෝ දෙකක් පමණ වු බවද කියති. ප්‍රභාකරන්ගේ ඊනියා විමුක්තියේ රඟ හෙට අනිද්දා වන විට තවත් හෙළි විය හැකි බව අපගේ විශ්වාසයයි. අපට ඒ ගැන පසුවට කතා කිරීමට ද හැකිය.

කෙසේ හෝ දැන් ප්‍රථම අවධානය යොමු විය යුත්තේ වන්නියේ අවතැන් වු ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමටය. කඳවුරුවල ජීවත් වන ඒ සියලු දෙනාටම තම ගම්බිම්වලට යෑමට වැඩපිළිවෙළක්ද සැකසිය යුතුය. මෙය එක රුයකින් නොකළ හැකි බව නිසැකය. එහෙත් ඒ ජනතාවගේ ජීවිතය ඇත්තේ ඒ උපන් බිම්වල හා ගම්වල බව අමුතුවෙන් කිව යුතු නැත.

ජනාධිපතිවරයා ඉතා පැහැදිලිවම සඳහන් කළේ සුළු ජාතීන් යන වචනය අපේ ශබ්ද කෝෂයේ නැති බවය. ප්‍රභාකරන් ජාත්‍යන්තරව විසිරී සිටින දෙමළ ජනතාව සහමුලින්ම ඊළමයට පොළඹවා ගත්තේද මේ "සුළු ජාතිය" නමැති "ඇම" ඔවුන්ට ගිල්වීමෙනි. ප්‍රභාකරන්ගේ ඊළාම් ඇම ගිලගත් අහිංසක දෙමළ තරුණ තරුණියන් ද පුනරුත්ථාපනය සඳහා වැඩපිළිවෙළක් අවශ්‍යය.

අපි ඒ සමගම දෙමළ සන්ධානය නියෝජනය කරන ගරු මන්ත්‍රීවරුන්ගෙන් ද එක් ඉල්ලීමක් කරමු. එනම් දැන්වත් ඔබලාගේ හිස්වල රුඳී තිබෙන ඊළාම් මළකඩ ඉවත්කර ඒ දෙමළ ජන ජීවිත ගොඩනැංවීම සඳහා රජයට සහාය දක්වන ලෙසය. මේ මවුබිම ඔබේත් මවුබිම බව ඔබට පිළිගැනීමට බාධාවක් ඇතැයි අපි නොසිතමු.

සත්තකින්ම ජනාධිපතිවරයාගේ ඓතිහාසික ජන ඇමතුමේදී ප්‍රකාශ කළ පරිදිම අපි සියලු දෙනාට ද පළමුවත් දෙවනුවත් තෙවනුවත් මව්බිමට වඩා උතුම් වස්තුවක් නැත. ඒ මවුබිමේ එකම දැයක් ලෙස සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යනාදී සියලු දෙනාටම සතුටින් ජීවත් විය හැකිය. එයට අවහිර කළ ප්‍රභාකරන් මෙන්ම ඔහුගේ ත්‍රස්තවාදය ද දැන් වළ දමා තිබේ. අඳුරු වලා පටලය ඉවත් වී ගොසින්ය. නිදහස් සුවය මඳනළ හා මුසුව දැනෙයි. ගඟ ඇළ දොළ නිසලව බැස යයි. සාමයේ සුදු පරෙවියනි ! දැන් නිදහසේ ඉගිල යා හැකිය. අපි එකම බිමක එකම කොඩියක සෙවණ යට අලුතින් නැඟී හිනැහෙමු.
(දිවයින_09/05/21)

2 comments:

Kokila said...

ඔබේ ලිපිය ඉතාමත් සාර්ථක දේශාභිමානය හඟවන සුන්දර එකක්. දැන් අපි සැවොම එක්වි එක් ජාතියක් වි රට හදා පෙරදිග ධාන්‍යාගාරය කර ලෝකෙන් උතුම් රට කරමු!

නාමල් උඩලමත්ත said...

කෝකිල හරියට හරි. දැන් අපි හැමෝම එකතුවෙලා අපේ රට නඟා සිටුවන්න ඕන. මේ සිංහල ශ්‍රී ලාංකික දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ අපි හැමෝගෙ ම රට. අපි අභිමාණවත් ජාතියක් මුළු ලෝකයට ම බැරි වුණු ලෝකය ම බෑ කියපු දෙයක් අපි කළේ. අපේ මුතුන් මිත්තෝ අපට පවරපු ඉතිහාසය අපි අලුත් කළා. අපට බැරි දෙයක් නැහැ. අපි එකතු වුණොත් රට හදන එක මහ කජ්ජක් නෙමේ කෝකිල.

 
සිය රට දේ සිරි සැප දේ !