Wednesday, May 13, 2009

මස් කර්මාන්තය

ශ්‍රී ලංකාව තුළ එතෙක් මෙතෙක් වාර්තා වු නීචතම, කැතම, පහත්ම සිදුවීම්වලින් එකක් පිළිබඳව අද අපට ලියන්නට සිදු වී තිබේ. එනම්, ලාබාල තරුණියන් 85 දෙනකු දුෂණය කර හෝටල්වලට විකුණු කල්ලියක 12 දෙනකු අත්අඩංගුවට ගැනීම පිළිබඳ ඊයේ (13 දා) "දිවයිනේ" 04 වැනි පිටුවේ පළ වු පුවත ය. අප සාමාන්‍යයෙන් එතෙක් මෙතෙක් මේ රටේ වාර්තා වු අවාසනාවන්ත ම සිද්ධිය ලෙස සලකන්නේ ප්‍රභාකරන් මුලික කොටගත් කොටි සංවිධානයට සම්බන්ධ දේ ය. ඔහුගේ මුලිකත්වයෙන් පුරා වසර 30 ක් තිස්සේ මේ භුමිය රුධිරයෙන් සෝදා හරින ලදී. මේ පොදු අවාසනාව තුළ තවත් අවාසනාවන්ත සිදුවීම් ඇති විය. සුනාමිය හට ගත්තේ ය. එහිදී මනුෂ්‍යයන් විසින් සිදු කෙරුණු අමානුෂික ක්‍රියා කිසි කලෙකත් අමතක කළ හැකි නොවේ. මුහුදට ගසාගෙන යන තරුණියන්ගේ රන් මාල කඩාගෙන ආපසු මුහුදු රළටම දැමු ආකාරය පුවත්පත්වල පළ විය. සුනාමි අනාථයන්ට එවු බත් පාර්සලයෙන් පවා ගසා කන ලදී. කප්පම් ගැනීම සඳහා ළමයින් පැහැරගෙන එම ළමයින් මරා දැමීම ගැන ද විටින් විට වාර්තා වේ. තරුණියන් රවටා අපහරණය කර ඔවුන් ගණිකා නිවාසවලට අලෙවි කිරීම ද පෙර කී වර්ගයේ ම නීච ක්‍රියා අතරෙහිලා සැලකිය හැකි පහත් වැඩකි.

මේ රටේ තේ වතු කර්මාන්තය ද තරුණියන් විශාල ප්‍රමාණයකගේ ආත්ම ගෞරවය බිලිගත් කර්මාන්තයකි. ඒ පළමුවන වටයයි. දෙවන වටය පටන් ගන්නේ විශ්ව ගම්මාන සංකල්පය යටතේ ලෝකය ග්‍රාමසේවක වසමක් වී ගමේ තරුණියන් සමුපකාරයක් බවට පත්වීමත් සමඟ ය. වැඩෙන වියේ දරුවන් ද මේ කතුවැකි කියවන නිසා කාරණය විස්තරාත්මකව කීමෙන් වැළකී සිටිමු. 1977 න් පසු පහළ වු ඇඟලුම් කර්මාන්තය මගින් ඇඟලුම් මෙන්ම ගණිකාවන් ද නිෂ්පාදනය කරන ලද බව ඉතා කනගාටුවෙන් කියමු. මෙය 1977 දී විවෘත ආර්ථිකය හඳුන්වා දුන් රාජ්‍ය නායකයන් විසින් සිහිනයෙන්වත් සිතන ලද තත්ත්වයක් නොවේ. එය සිදු වුයේ මෙසේය: ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබාගැනීම සඳහා කෂණික මාර්ගයක් වු ඇඟලුම් කර්මාන්තය වෙනුවෙන් රට පුරා කම්හල් විවෘත කරන ලදී. මුලින්ම මේ කම්හල් පටන් ගත්තේ කොළඹ ආශ්‍රිත කටුනායක ය. ඊළඟට කොළඹට ම කිටිටු බියගම ය. මේ කම්හල්වලට දුර බැහැර පළාත්වලින් තරුණියෝ පැමිණියහ. ඔවුනට නැවැතීම සඳහා කුකුල් කොටු වැනි නේවාසිකාගාර පිහිටුවන ලදී. ඇතැම් තරුණියෝ බෝඩිං ගාස්තු ගෙවා ගත නොහැකි වු විට බෝඩිමේ අයිතිකාරයාට වන්දි ගෙව්වේ සිය සිරුරෙනි.

කොළඹ ස්වරුපය හරි හැටි නොදත් තරුණියෝ තාවකාලික සුවය ප්‍රාර්ථනා කළ තරුණයන්ට රුවටී තම ආත්මය කෙළෙසා ගත්හ. පසුව අමතර ආදායමක් වශයෙන් ඔවුහු ගණිකා වෘත්තියට යොමුවුහ. වර්ධනය වෙමින් පවත්නා ගණිකා කර්මාන්තයටත් ගනුදෙනුකරුවන්ටත් ඉඩ පහසුව සැපයීම සඳහා කාමර කුලියට දෙන හෝටල් සිය ගණනින් (සමහර විට දහස් ගණනින්) ඉදිකරන ලදී. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය හා සමගාමීව ගණිකා ව්‍යාපාරය දියුණු විය. අන්තිමේදී දැන් ඇඟලුම් කර්මාන්තය බංකොලොත් වී ඇති අතර ගණිකා ව්‍යාපාරය ඉතිරිව තිබේ. පැහැරගත් තරුණියන්, රවටාගත් තරුණියන්, ස්වාමිපුරුෂයන් විසින් වංචාවට ලක්කරන ලද තරුණියන් යනාදී වු වශයෙන් මහත් පිරිසක් අද මේ කර්මාන්තයට දායක වී ස්වකීය මාංශය ද ආත්ම ගෞරවය ද අනාගතය ද රාගය හා මුදල නමැති දංගෙඩිය ඉදිරිපිට පුජා කරති. මේ ක්‍රමයේ යාන්ත්‍රණයට වගකිවයුතු සියලු දෙනා බලවත් දණ්ඩනයට යටත් කළ යුතු ය. මෙබඳු කාරණයකදී ප්‍රයෝජනයට ගත හැකි වධ 32 ක් ගැන පුරාණ පොත්වල සඳහන් ය.

පසුවදන-අද අපි නෙළන්නේ පෙර කල වැපිරූ දෑහි අස්වැන්න ය. ඒ ගැන දිවයින කතුතුමා සමග අපි එකඟ වන්නෙමු. එහෙත් එහි නීරස ඵල විඳින අද ද අපි වපුරන්නේ හලාහල විෂ සහිත ඇට නොවෙ ද? රටේ මාධ්‍ය ජනතාව වෙත ගෙන යන්නේ මොනවා ද? රටේ ජනතාවට පෙන්වන්නේ සිරස යර්ස් බොස් සහ ස්වර්ණවාහිනී ලවින් ස්ටාර් ගණයේ කාම විකෘති නම් ඒවා පවුල් පිටින් නරඹන සමාජයකින් අප බලාපොරොත්තු විය යුත්තේ ස්ත්‍රි දූෂකයින් කාමාතුරයින් මිස ශාන්තුවරයින් නම් නොවේ.

5 comments:

Free Thinker said...
This comment has been removed by the author.
Free Thinker said...

ඔබ මේ සමාජයෙන් බලාපොරොත්තු වන්නේ ශාන්තුවරයින්. තවද ඔබ වැපිරූ දෙයෙහි අස්වැන්න නෙලීම ගැන කියයි. ඔබ මේ සිංහල බෞද්ධ සංස්කෘතිය කියා සිතා ඔලුවේ තබාගෙන සිටින්නේ බටහිර ක්‍රිස්තියානි වික්ටෝරියානු සංස්කෘතියයි.

ගැහැනියෙක් හෝ වේවා පිරිමියෙක් හෝ වේවා ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව බලහත්කාරයෙන් සිදු කරන ලිංගික හෝ වෙනයම් ඕනෑම ක්‍රියාවක් අපරාධයකි, වැරදි ක්‍රියාවකි. ඒත් ලෝකයේ පැරනිම වෘත්තිය වන ගනිකා වෘත්තියෙහි යෙදෙන බොහෝ දෙනා (ගැහැනු සහ පිරිමි) එය කරන්නේ සව කැමැත්තෙනි.

ඔබේ බුදු දහමට අනුව වැරදි කාම සේවනය යැයි හඳුන්වන්නේ වෙනත් කෙනෙකු විසින් විවාහ කරගන්නා ලද පුද්ගලයෙක් සමඟ හෝ තමා විවාහ වී සිටියදී වෙනත් කෙනෙකු සමඟ ලිංගිකව හැසිරීමයි. නමුත් (අවිවාහක පුද්ගලයෙක්) මුදලක් දී වෙනත් (අවිවාහක) කෙනෙකු සමඟ ලිංගිකව හැසිරීම ගනු දෙනුවකි. එය වැරදි යැයි කියන්නේ බයිබලය හා කුරානය පමනයි. බයිබලයේ හෝ කුරානයේ හෝ හැර මෙසේ ලියා තිබෙන්නේ කොහේදැයි පුලුවන්නම් පෙන්නන්න!

Free Thinker said...

ශ්‍රී ලංකාවේ නීතියට අනුව දඩුවම් කල හැක්කේ ගනිකාවකට නොව පුද්ගලයෙක් ගනිකා වෘත්තියේ යොදවන පුද්ගලයා (පිංපියා/Pimp) හට පමනයි...

නාමල් උඩලමත්ත said...

මේ වූ කලී ආගම හෝ සංස්කෘතිය ගැන ලියවුනක් නොව ස්ත්‍රී දූෂණය ගැන ලියවුණකි. එහෙයින් ඔබ මතු කරන දෑහි ප්‍රස්තුතය හා ඍජු සම්බන්ධයක් නැත.

කෙසේ වුව ද ස්ත්‍රී දූෂණය අනුමත කරන ආගමක් ලොව ඇතැයි නොසිතමි.
බුදු දහමේ ගිහියන්ට පිළිපැදීමට නියම ඇත්තේ පංච ශීලයයි. එහි කාමයෙහි වරදවා හැසිරීම වැරදිය කියා මිස එය මුදල්මය ගනුදෙනුවක් මත වේ නම් හෝ අවිවාහක දෙදෙනෙකු අතර වේ නම් නිවැරදි යයි පවසා නැත. තත්කාලීන සමාජයේ පවතින සම්ප්‍රදාය සිරිත් විරිත් අනුව කාම සේවනයට ඉඩ හසර එහි ඇත. ඒ අනුව සමාජය වැරදි යයි පිළිගන්නා දේ වැරදිය. අද ද ලංකාවේ ගණිකා වෘත්තිය නීතියෙන් තහනම් ය. එහෙයින් එය වැරදි ය.

නීතියෙන් දඬුවම් දෙන්නේ නීති කඩකළ විට පමණි. එහෙත් සමාජයේ නීති පමණක් නොව රීතිත් ඇත. රීති කඩ කළ විට දඬුවම් දෙන්නේ අධිකරණය නොව සමාජයයි. නීති කඩා ඇතැම් විට මුදල් ගෙවා නිදහස් වුව ද රීති කඩා එසේ නිදහස් විය නොහැකි ය. ඔවුන් සමාජ අපවාදයට ලක්වේ.

ඔබ පවසන පරිදි ම බුදු දහම විවාහක අය අනියම් සබඳතා පැවැත්වීම බැහැර කරයි. එහි අරුත කාම සේවනය විවාහ ජීවිතයට සීමා කළ යුතු බව මිස අවිවාහක අය කාම සේවනය කළාට කම් නෑ යන්න නොවේ. (එසේ නම් විවාහ සංස්ථාවක් කුමට ද?) නිසි වයස පැමිණි දරුවන්ට සිය වස්තුවෙන් කොටසක් පවරා සුදුසු කල්හි ආවාහ විවාහ කරදීම දේමාපියන්ගේ යුතුකමක් යයි බුදු දහමේ ඉගැන්වෙන්නේ එහෙයිනි.

ඔබ කියන පරිදි මුදල් ගනුදෙනුවක් හෝ අවිවාහක දෙනෛකු අතර සම්බන්ධයක් බුදු දහම අනුමත කර ඇත්තේ කොහි ද? එසේ නම් කාම සේවනය සඳහා විවාහ ජීවිතය නිර්දේශ කිරීම නිශ්ඵල ය. (එමගින් විවාහ ජීවිතය කාම සේවනයට පමණක් පිහිට වී යයි නොගන්න)කෙසේ වුව ද තමන් කරන වරද නිවැරදි වන සේ ආගම් අර්ථකථනය කිරීමට ඇතැමුන් කැමති ය. ඇතැම් විට අපට ආගම නිවැරදිව පිළිපැදීමට නොහැකි විය හැකි ය. ඒ අප පෘථග්ජන හෙයිනි. එහිදී අප කළ යුත්තේ වරද නිවැරදි කර ගැනීම මිස ආගම විකෘති කිරීම නොවේ. සපත්තුවට හරියන්න කකුලේ ඇඟිලි කැපීම විහිළුවකි. එහෙයින් චර්යාවෙන් නිවැරදි වීමට උත්සහ කරමු.

sanzilla said...

you are correct man !
You should come as a leader if you like.

 
සිය රට දේ සිරි සැප දේ !