Monday, June 11, 2018

කර්නල් රත්නප්‍රිය උතුරෙන් උදුරා නොගනු!

උතුරේ ජනතාව කාකි ඇඳුමට දක්වන්නේ පුදුම බියක් බවත් ඒ ජනතාවට ශ්‍රී ලංකා හමුදාව පෙනෙන්නේ ආක්‍රමණික ස්ත්‍රී දූෂක මිනිමරුවන් පිරිසක් බවත් දෙස් විදෙස් මාධ්‍ය ඔස්සේ සමාජගත කර තිබූ මතයයි. ඒ අනුව හමුදාව උතුරින් ඉවත් කිරීම, ඉතිරි හමුදාව බැරැක්කවලට සීමා කිරීම, මහජන සබඳතා කටයුතුවලින් ඉවත් කිරීම ආදිය යහපාලන ආණ්ඩුව මහා ප්‍රජා සත්කාර ලෙස සිදු කළේය. ඔවුන් සංහිඳියාව ලෙස දුටුවේ එයයි. 

සුනන්ද දේශප්‍රිය වැනි අයකු කිලිනොච්චියේ දැල්වුණු වෙසක් කූඩුවක් පවා සිංහල බෞද්ධ ආක්‍රමණයක් ලෙස දුටු අතර ඒවා හමුදා කඳවුරුවලට සීමා කළ යුතු බව ප්‍රකාශ කෙරිණි. මේ මතය වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධානවලින් එදා වේල සපයා ගන්නා පිරිස දිවා රෑ නොබලා පෙනී සිටියේය. උතුරේ ජනතාව සමග එතරම් සබඳතා නැති සිංහල ජනතාවට ද මේ අදහස් විශ්වාස කිරීම හැර වෙන විකල්පයක් නොතිබිණි.  

ඔවුන් මාධ්‍ය ඔස්සේ දුටුවේ බුදු පිළිම ඉවත් කිරීමට දෙමළ ජාතික සන්ධානය සංවිධානය කරන උද්ඝෝෂණය. උතුරු පළාත් සභාව නාගදීපයේ බුදු පිළිමය තැනීම තහනම් කිරීමය. උතුරේ බෞද්ධ සිද්ධස්ථාන වසා දැමිය යුතු බවට නඟන හඬය. සිංහල ජනතාව නැවත උතුරේ පදිංචි කිරීමට එරෙහි සටන්ය. උතුරට සිංහල රාජ්‍ය නිලධාරීන් පත්කිරීම පවා ඔවුන්ගේ විරෝධයට හේතු විය. 

එහෙත් ඒ සියල්ල දෙමළ සන්ධානය නිර්මාණය කළ නාඩගම් මිස දෙමළ ජනතාව මුහුණ දෙන සැබෑ ප්‍රශ්න නොවන බව කොටි ත්‍රස්තවාදය පරාජය කර දශකයක් ගත වීමට මත්තෙන් ශ්‍රී ලංකා හමුදාව සනාථ කර තිබේ. පසුගිය දා කිලිනොච්චියේ සේවා කාලය නිමවා පැමිණීමට සුදානම් වූ යාපනය කිලිනොච්චි මුලතිව් අණ දෙන නිලධාරී කර්නල් රත්නප්‍රිය බන්දු මහතා මුහුණ දුන් අත්දැකීම් ලෝකයට නිහඬව එහෙත් ගැඹුරු හඬින් කියා පෑවේ ඒ කතාන්දරයයි. 

දෙමළ ජනතාව තමන්ගෙන් සමුගෙන යන හමුදා නිලධාරියා වෙනුවෙන් මෙසේ හඬා වැළපෙනු දැකීමට බෙදුම්වාදී බලවේග හෝ ඊනියා සංහිඳියා මස් වැද්දන් කිසිසේත් කැමති නොවනු ඇත. එහෙත් ඒ ජනතාව තමාගෙන් සමුගන්නා හමුදා නිලධාරියාගේ වෙන්වීම දරා ගත නොහැකිව හඬ වැළපුණේය. වැඳ වැටුණේය. මල් මාලා පැළඳ වූයේය. මල් වරුසා ඉස්සේය. තම කර මතින් වීදි දිගේ ඔසවා ගෙන ගියේය. 

එදා තමන්ගේ නායකයා ප්‍රභාකරන් බවත් දැන් කර්නල්වරයා බවත් කියමින් තමා අතැර නොයන ලෙස ආයාචනා කළේය. තමන්ගේ සතුට අදින් අවසන් බව කියමින් එක කාන්තාවක් මහ හඬින් හඬා වැළපුණාය. කර්නල්වරයාගේ දෑසින් ගලන කඳුලු සඟවාලීමට ඔහු පැළඳ සිටි අව් කණ්ණාඩියට හැකි වුව ද ඔහුගේ හැඟුම්බර ඉරියව් කෙසේ සඟවාලන්නද? මේ සියල්ල දෙස බලා සිටින විට අපට අවබෝධ වන්නේ ඒ අහිංසක දෙමළ ජනතාවගේ ආරක්ෂකයා ද මිත්‍රයා ද අම්මා ද තාත්තා ද ලෙස කටයුතු කර ඇත්තේ මේ කාකි සූට්කාරයා බවය. 

ඒ ජනතාව ත්‍රස්තවාදය නිමා වූ පසු මෙතෙක් කල් ආරක්ෂා කළේ කාගෙන්ද? දකුණේ සිංහල ජනතාවගෙන්ද? නැතහොත් උතුරේ බෙදුම්වාදී කල්ලි කණ්ඩායම්වලින් ද? කර්නල්වරයා සමුගත් විට ඔවුන් අසරණ වනවා යැයි ඔවුන්ට හිතෙන්නේ ඇයි? දෙමළ සන්ධානය මේ ජනතාවගේ එකම ගැලවුම්කරුවා ලෙස කරන රඟපෑම කෙතරම් විහිළුවක්ද? 

දෙමළ ජනතාව නියෝජනය කරන්නේ යැයි පරසක්වළ ගහන කණ්ඩායම් සහ සාමාන්‍ය ජනතාව අතර ඇත්තේ කෙතරම් පරතරයක්ද? මේ රටේ පාලකයන් ඊනියා සංහිඳියාවේ නාමයෙන් උතුරේ ජනතාවගේ එකම විශ්වාසනීය ආරක්ෂකයා වන හමුදාව ඉවත් කර ඔවුන් බෙදුම්වාදයට බිලි දෙන්නේ ඇයි? මේ ගැටලුවලට අපට පිළිතුරක් තිබේද? නැත්නම් වහාම පිළිතුරු සොයා ගත යුතුය. 

අප සැබවින්ම සවන් දුන්නේ එදා නන්දිකඩාල් වෙරළේ දී අපේ රජුට ගිහින් කියන්න අපි බේරගන්න කියලා යැයි හඬා වැළපුණු කාන්තාවගේ හඬට නොව ඒ ජනතාව වෙනුවෙන් කිඹුල් කදුළු හෙළන ක්‍රිස්තියානි බළල් අතක් වන දෙමළ සන්ධානයේ බෙදුම්වාදී හඬටය. ඉතිහාසයේ අප කරගත් බරපතළම වරද ලෙස එය නූතන ඉතිහාසය ලියන දිනයක ලොකු අකුරින් සටහන් විය යුතුය.

සිය සිංහල ආරක්ෂක නිලධාරියාගේ මරණය හමුවේ හඬා වැටුණු යාපනේ විනිසුරු ඉලන්චේලියන්, උසාවියේ භික්ෂූන් වහන්සේලාට අසුන් පැනවූ චන්ද්‍රසේකරන් විනිසුරුතුමිය සහ මෙදා කර්නල් රත්නප්‍රිය දෙවියකු ලෙස සලකා බුහුමන් කරන කිලිනොච්චි ජනතාවගේ හෘද සාක්ෂිය සමග අප සිටගත යුතුය. ලෙයින් තෙත් වූ භූමියෙන් මතුව එන සැබෑ ළෙංගතුකමේ පුෂ්පය අප දෝතින්ම වැළඳගත යුතුය.  

දැන්වත් මේ රටේ පාලකයන් උතුරේ දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්න හඳනා ගත යුතුය. ඒ ප්‍රශ්නවලට ඒ ජනතාවට විසඳුම් ලබා දිය යුතුය. ඒ ජනතාව නැවත බෙදුම්වාදයට තල්ලු කර දැමීමට කටයුතු කරන කල්ලි කණ්ඩායම් පරාජය කළ යුතුය. ඒ සඳහා ගත යුතු මූලික පියවරක් තිබේ. ඒ සාමාන්‍ය හමුදා නීතිය මේ ජනතා ඉල්ලීම හමුවේ වෙනස් කරමින් කර්නල් රත්නප්‍රිය නැවත ඒ ජනතාවට ලබා දීම මගිනි. 

සාධාරණ ජනතා අපේක්ෂාවලට ඉහළින් ක්‍රියාත්මක වන නීතියක් තිබිය යුතු නැත. එමගින් අපට උතුරේ ජනතාවට ලබා දිය හැකි ලොකුම පණිවුඩය අප ඔබේ හදවතට අපි ඔබේ හඬට සවන් දීමට සූදානම් බවය. අප සහ ඔබ දෙදෙනකු නොව එක් අයකු බවය. කර්නල්වරයා වසර පහක් තුළ උතුරේ ජනතාව අතර දිනාගත් ආදරය ජීවිත කාලය පුරා ඊළම වෙනුවෙන් පෙනී සිටි වික්‍රමබාහු කරුණාරත්නට හෝ වෙනත් එන්ජීඕකාරයකුට දිනාගත හැකි යැයි අප විශ්වාස කරන්නේ නැත. 



එහෙයින් මෙය විශේෂ අවස්ථාවක් ලෙස සලකා ජනාධිපතිවරයා මැදිහත් වී කර්නල්වරයාට උසස් වීමක් ද ලබා දී නැවත උතුරේ ජනතාවට සේවය කිරීමට ඔහුට විශේෂ වරමක් ලබා දිය යුතුය. ඔහු යටතේ තවත් එවැනි නිලධාරි පිරිසක් පුහුණු කළ යුතුය. එය රටේ දිගුකාලීන සාමය ද සැබෑ සංහිඳියාව ද සොයා යන ගමනේ මං සලකුණක් වනු නො අනුමානය.    

1 comment:

Maathalan - Priyantha Hewage said...

https://gadyanohothkavi.blogspot.com/2018/06/blog-post_63.html

 
සිය රට දේ සිරි සැප දේ !