Wednesday, February 28, 2018

ආන්තික කල්ලි අතට ගිය පළාත් පාලනය

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ලැයිස්තු මන්ත්‍රීවරු පත් කිරීමේ දී සිදුව ඇති බරපතළ වැරදි නිසා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 200ක් පමණ අහිමි වී ඇතැයි එම පක්ෂයේ නායකයන් මැතිවරණ කොමිසම මුණ ගැසුණු බව ද එම කොමිසමේ සාමාජිකයකු එම වරද පිළිගත් බව ද පසුගිය දා ප්‍රකාශයට පත්විය.

එහෙත් මෙම මැතිවරණ ක්‍රමය විකෘති කිරීම ඔස්සේ ජයග්‍රාහී පක්ෂයට සිදු කර ඇති හානිය ඉන් ඔබ්බට යන බව අපේ හැඟීමයි. ඒ 2004 වසරේ සාකච්ඡා කරමින් සැකසූ පළාත් පාලන සංශෝධන පනත ඒ ආකාරයෙන් ක්‍රියාත්මක නොකර එය විකෘති කිරීම ඔස්සේය. රට පිළිගත් විද්වතුන් පිරිසක් විශාල කාලයක් ශ්‍රමයක් වැය කොට නිර්මාණය කළ පනත වර්තමාන ආණ්ඩුව වෙනස් කළේය.

ඒ එම ආණ්ඩුවේ ශක්තිය බවට පත්ව ඇති සුළු වාර්ගික සහ සුළු ආගමික පක්ෂ, බෙදුම්වාදී න්‍යායාචාරවරුන් ඇතුළු අයගේ මනදොළ සපුරනු පිණිසය. ඔවුන්ගේ එකම අවශ්‍යතාව මේ රටේ පාලන බලය උසුලන ප්‍රධාන පක්ෂ දුර්වල කිරීමය. එමගින් සිංහලයා දුර්වල කිරීමය. ඒ අතර දුර්වල පාලන ක්‍රම නිර්මාණය කිරීමය. සුළු වාර්ගික ආගමික පක්ෂ ශක්තිමත් කරමින් ආන්තික කණ්ඩායම් බලවත් කිරීමය. ප්‍රධාන පක්ෂ වටා ගොනුවන ප්‍රධාන ජාතිය එම සුළු පක්ෂවල ප්‍රාණ ඇපයට ගැනීමය.

පනතේ යෝජනා වී තිබූ ඕනෑම පළාත් පාලන ආයතනයක් ජයග්‍රහණය කරන පක්ෂයට හෝ කණ්ඩායමට හිමි විය යුතු ආසන දෙක ඉවත් කිරීම මෙන්ම කිසියම් කොට්ටාශයක ඡන්ද 5%කට වඩා ගත නොහැකි අයට ආසන ලබා නොදීම ද වෙනස් වන්නේ මේ අයගේ පටු අරමුණු සන්තර්පණය කිරීම පිණිසය. 

මේ විකෘර්තිය කෙතරම් විහිළුවක් බවට පත්ව තිබේ ද යත් නුවරඑළිය තලවකැලේ ලිඳුල ප්‍රාදේශීය සභාව ඡන්ද 40න් ජයගත් කම්කරු කොංග්‍රමයට ආසන 3ක් ද දෙවන ස්ථානයට පත් පොදුජන පෙරමුණට ආසන 4ක් ද ලැබිණි. වලපනේ ප්‍රාදේශීය සභාවේ 3%ක් ඡන්ද ලබා ගත නොහැකි වූ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සුළු පක්ෂ සහ කණ්ඩායම්වලට ආසන 4ක් හිමි වී තිබිණි. 

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සුළු පක්ෂවලට මේ ඔස්සේ විශාල අවස්ථාවක් ලැබෙන අතර ඒ අවස්ථාව ලැබෙන්නේ බහුතර ජනතාවකගේ ප්‍රජාතාන්ත්‍රිය අයිතිය පොකට් ගැසීමකි. එසේම පළාත් පාලන ආයතනවල ස්ථාවර පාලනයක් ඇති විමට ඇති අවස්ථාව එමගින් බෙහෙවින් අහිමි කර තිබේ.

කිසියම් පළාත් පාලන ආයතනයක් ජයග්‍රහණය කළ පක්ෂයට බෝනස් ආසන දෙකක් ලබා දීමට මූලික හේතුව ශක්තිමක් පාලනයක් බිහි කර ගැනීමට සහාය වීමය. ජනතා කැමැත්ත මැනවින් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දීමය. කෙසේ වුව ද කුමන්ත්‍රණකාරී ලෙස ජනතාවගෙන් එම අයිතිය උදුරා ගැනීමට ආණ්ඩුව කටයුතු කළේය.

එමගින් පළාත් පාලන ආයතන 231ත් ජයග්‍රහණය කළ පොදුජන පෙරමුණෙන් උදුරා ගත් මන්ත්‍රී ධුර ගණන පමණක් 462කි. මේ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට අහිමි කර ගැනිමට සිදුව ඇත්තේ ආසන 68කි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 14කි. උතුරු නැගෙනහිර ඒකාධිකාරය උසුලන දෙමළ සන්ධානයට ආසන 82කි. මේ අනුව ලැයිස්තු මන්ත්‍රීවරු පත් කිරීමේ සිදු වූ වරදට සහ මේ විකෘතිය නිසා පොදුජන පෙරමුණට මෙවර මැතිවරණයෙන් ලැබිය යුතු ආසන අවම වශයෙන් 662ක් අහිමි වී තිබේ.

මෙය එක් අතකින් බහුතර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රිය අයිතිය සුළු වාර්ගික ආගමික කණ්ඩායම්වල අභිලාෂයන්ට පාවා දීමක් වන අතර රටේ පළාත් පාලන ආයතන පද්ධතිය අස්ථාවර කිරීමකි. කිසිදු ප්‍රධාන පක්ෂයකට සුළු පක්ෂ හා කණ්ඩායම්වල සහාය නොමැතිව එම ආයතනවල පාලන කටයුතු කර ගෙන යා නොහැකි තත්ත්වයක් ඇති කිරීමේ මූලික අරමුණ අද මහ ආණ්ඩුව තැනීමේ දී සුළු ඡන්ද පදනමට ලැබෙන වටිනාකම පළාත් පාලන ආයතනවල ද ලබා දීමය.  මහ ආණ්ඩුව මෙන්ම පළාත් පාලන ආයතන ද සුළු වාර්ගික ආගමික කණ්ඩායම්වල රූකඩයක් කිරීමය. මෙය ඉතාම භයානක තත්ත්වයක් වන අතර එම විකෘතිය වහා නිවැරදි කිරීමට පියවර ගැනීම අද දවසේ රට හමුවේ පවතින විශාලත අභියෝගයකි.  




No comments:

 
සිය රට දේ සිරි සැප දේ !