Monday, March 19, 2018

සිංහලයාගේ කරුමක්කාර චක්කරේ

අප ජාතියක් ලෙස සිද්ධියෙන් සිද්ධියට ප්‍රතිචාර දැක්වීමට ආසන්නතම සිද්ධියට අනුව ප්‍රතිචාර දැක්වීමට නැඹුරු වූයේ කවදා ද සිට ද යන්න කිව නොහැකිය. කෙසේ වුව ද කිසියම් සිද්ධියක් හෝ ආසන්න සිද්ධිය අළලා දුරදිග නොබලා ප්‍රතිචාර  දැක්වීමට තරම් සිංහලයා වහා කලබල වන ළග පිකප් වන ජාතියක් නිසා ම අපට ඉතිහාසය පුරා සිදුව ඇත්තේ අවාසිමය.

අපට 1813-14 වන විට සිතෙන්නේ අපේ රජු (එකල අප සිතුවේ ඒ අපේ නොව වඩිග රජ ලෙසය) සුද්දාට අල්ලා දී ඔහුට හොඳ පාඩමක් ඉගැන්වීමටය. උඩරට ප්‍රභූන් බලලෝභීත්වය නිසා රජුට එරෙහි වීම, ඒ නිසා ම සිංහල නීතිය අනුව ඇහැලේපොළ පවුලට මරණ දඬුවම දීම,  ඒ පදනම් කරගෙන රජු ද්‍රෝහියෙක් කිරීමට ඩොයිලිලා ගෙතු කතා ජනතාව පිළිගැනීම ඊට හේතු සාධක වන්නට ඇත. 

එලෙස රජු පවා දී ලබන ක්ෂණික තෘප්තියට පසු මුහුණ දීමට සිදුවන තත්ත්වය පිළිබඳ අප කලින් සිතන්නේ නැත. ඒ පිළිබඳ සිතා වෙහෙසී රජුට රිදවා ලබාගත හැකි සතුට අහිමි කරගැනීමට අප සුදානම් නැත. එසේ සිතිය යුතු යැයි කිසිවකු කියන්නේ නම් ඌ පිස්සකු නැතහොත් රජුගේ වහලකු ලෙස සලකා අවඥාවට ලක් කිරීම අපේ සිරිතය. 

එහෙත් ඊට පසු එළඹෙන අතිශය භයංකර කාලය තුළ අපට රජුට රිදවා ලද සතුට මෙන් කිහිප ගුණයක වන්දියක් ගෙවීමට සිදුවෙයි. එහෙත් එදා රජු පාවා දීමට මුල් වූ ඇතැම්හු එහි වරදක් කිසිදා නොදකින අතර ඔවුන් සුද්දා සමග එක්ව රට වනසනන්ට සහ රජුට වඩා භයානක ලෙස ජනතාව පෙළන්නට වූහ. සංස්කෘතිය ශිෂ්ටාචාරය සංහාරය කරන්නට වූහ. පිරිසක් පසුකලක සත්‍ය අවබෝධ කරගත්ත ද එවිට අශ්වයා ගොසිනි.

එයින් වසර 200ට පමණ පසු 2015 වූයේ ද එයයි. රාජපක්ෂ ආණ්ඩුව් සුළු සුළු වැරදිවලට ජනතාව ප්‍රතිචාර දක්වන්නට වූහ. රටට හතුරු බලවේග ඒ සඳහා කල්යල් බලා පිදුරු දැමූහ. සමහරුන්ට හොරකම ද සමහරුන්ට වංචාව සමහරුන්ට ඒකාධිපතිත්වය ද සමහරුන්ට නාස්තිය ද සමහරුන්ට මාධ්‍ය නිදහස ද සමහරුන්ට වන විනාශය ද සමහරුන්ට රසායනික පොහොර ද මාතෘකා විය. 

එහෙත් මේ පිටුපස සිටින අය බෙදුම්වාදීහු, ඊළාම්වාදීහු, සිංහල බෞද්ධ විරෝදීහු වූහ. එහි අවසාන ප්‍රතිඵලය වූයේ ආචාර්ය නලින් ද සිල්වා පෙන්වා දී ඇති ආකාරයට ම 2009 ලද නන්දිකඩාල් ජයග්‍රහණය සිහිනෙන් ගෑ සුවඳක් බවට පත්වීමය. දැන් ඒ ජයග්‍රහණය බොහෝ දුරට නැවත පාවා දී අවසන්ය.  රට නැවත 1983ට පමණ ආපසු ගමන් ගොසිනි. 

වසර දහස් ගණනක් තිස්සේ අපට හතුරුකම් කරන ඉන්දියාව අපගේ වීරයා වීමට ද ඔවුන්ගේ ජය පතා සටන් පාඨ කීමට ද අපට ගත වූයේ විනාඩි කිහිපයකි. ඉතිහාසය පුරා අප වෙනුවෙන් ජය ඝෝෂා නැඟූ බංගලාදේශය ද්‍රෝහීන් වීමට ගත වූයේ ද එම කාලය පමණි. මේ රට අද පවතින කාලකන්නි තත්ත්වයට ඇද දැමූවේ ඉන්දියානුවන් බව අපට අදාළ නැත. කොටින් ම අපට සමස්තය අදාළ නැත. අදාළ ආසන්නතම සිද්ධිය පමණි. 

සිංහලයාගේ මේ උපන්ගෙයි ලෙඩේ ගැන රටේ සතුරෝ  මැනවින් දනිති. ඉතින් කල් යල් බලා උන් නැවත නැවත එකම වළට අප ඇද දමති. අප අමාරුවෙන් පියවර 10ක් තබා කරන ගොං වැඩක් නිසා නැවත පියවර 100ක් පමණ පසුපසට විසිවෙයි. ඉක්මන් හැඟීම්බර තීන්දු ගෙන පසුව නිවී හැනහිල්ලේ පසුතැබීම අපේ අමන ජාතික පුරුද්දක් බවට පත්ව තිබේ. 

අප මේ කරුමක්කාර චක්‍රයෙන් ගොඩ ඒමට නම් එක එක සිද්ධියට නොව සමස්තයට ප්‍රතිචාර දක්වන දැක්මක් ජාතියට ලබා දිය යුතුය. සුළු සුළු සිද්ධි දෙස නොව සමස්ත චිත්‍රය දෙස බැලීමට දෑසක් ජාතියට ලැබිය යුතුය. ආසන්නතම සිද්ධියට බුද්ධියෙන් නොව හදවතින් ප්‍රතිචාර දක්වා අමාරුවේ නොවැටීමට තරම් ප්‍රඥාවකින් අප සන්නද්ධ විය යුතුය. එසේ නොවන්නේ නම් අප මේ නරා වළෙන් වෙර යොදා ගොඩ ආව ද නොබෝ කලකින් නැවත ඊට වඩා ගැඹුරු අගාධයකට වැටී හතර හන්දි කඩා ගනු නියතය. 

1 comment:

සෙන්නා said...

ක්‍රීඩාවකදී ජය ගෝෂා නැගිය යුත්තේ, ක්‍රිඩාවක්, ක්‍රීඩාවක් ලෙසින් කරණ මහත්වරුන්ට පමණි. බංගලියන්ගේ අමන හැසිරීම ඉවසමින් දේශපාලනික කාරණා මත අප උන්ට ජය ගෝෂා නැගුවේ නම්, එය බලවත් වරදක් විය හැකිව තිබුණි.

බංගලියන් යනු දුර්වලව සිටිනා විට ඉතා සාමකාමී, බලවත් වු පසු ඉතා දුෂ්ඨ ජාතියක් බව උන්ම පෙන්වා දුන්නේය. ඒ නොදු‍ටුවේනම් උන්ගේම එකෙක් ලියූ "ලජ්ජා" කියවීමෙන් එය වටහා ගත හැක. අද උන් ක්‍රීඩාවේදී පෙන්වන මේ අමන හැසිරීම, උන් දේශපාලනයේදීත් ඉදිරියේදී නොකරයි කියා කාටනම් සහතික විය හැකිද?

අනෙක් අතින් ඉන්දියානුන් ක්‍රිකට් කණ්ඩායම අතීතයේදී කෙසේ වෙතත්, දැන් දැන් මහත්මා ගති ලක්ෂණ පෙන්වමින් පවතී. විශේෂයෙන්ම කෝලිගේ නායකත්වය යටතේ.. ඉතින් අපේ කණ්ඩාම නොමැති විටෙක, එවන් කණඩායමකට ජය ගෝෂා ණැගීමේ වරදක් මා නම් නොදකිමි. විශේෂයෙන්ම හැසිරෙන්න නොදත් වනචාරී කණ්ඩායමකට එරෙහිව.

 
සිය රට දේ සිරි සැප දේ !