Thursday, April 5, 2018

විශ්වාසභංගය සහ අනාගතය‍

සිරිසේනගේ ශ්‍රීලනිපයේ 45ක් විතර පිරිස අතරින් 22ක් විතර විශ්වාසභංගයට ඡන්දය ප්‍රකාශ කළේ නෑ. ඒ කියන්නේ විශ්වාසභංගයට පක්ෂ වුණේ නෑ. විරුද්ධ වුණා. ඊට පක්ෂ වුණේ 16 දෙනයි. ඒ අය කළේ සිරිසේනගේ මතයට එරෙහිව යාම.
රනිල් තමන්ට පක්ෂ වුණු අයට වගේම විරුද්ධ නොවී පක්ෂ වුණු අයටත් ස්තූති කළා. සිරිසේන අවසාන මොහොත දක්වා හොරගල් අහුලලා කීවේ ඡන්දයට මුහුණ නොදී රනිල් රකින්න කියලා. ඒ නිසා තමා වීරකුමාර, ශ්‍රීයාණි වගේ ඔහුගේ සමීපතයෝ විසි ගණනක් ඡන්දය මගහැර ගියේ.
සිරිසේන මුල දි ඊට පක්ෂව සිය පිරිස උසි ගන්වා සුපුරුදු ලෙස අවසාන මොහොතේ පාවා දුන්නා. සිරිසේන වගේම මේ අයත් පක්ෂ ගහන්න හේතුව මහ බැංකුව වංචාව නිසා චාටර් වුණු රනිල් වෙනුවට රාජිත, මංගල වගේ අයෙක් අගමැති කරලා ගැටුමක් නොමැතිව ඊළමට යන්න අවස්ථාව රනිල් ඉල්ලා අස්වීම නොවීම නිසා අහෝසී වීම තමයි. 2015 වගේ ම දෙමළ සහ මුස්ලිම් පක්ෂ අවසාන මොහොත දක්වා දකුණට සිග්නල් දාලා අන්තිම මොහොතේ තමන්ට උවමනා විදිහට වමට කැපුවා.
ඡන්දයකින් රනිල් පරාද වීම ආණ්ඩුව තුළ අනවශ්‍ය ගැටුම් ඇති වෙලා තමන්ගේ ගමනට බාධාවක් වෙයි කියලා ඔවුන් දන්නවා. රනිල්ගෙන් නැවත සහතික කරගත් කරුණු 10කින් සමන්විත ඊළාම් සැලැස්ම බැලුවාම වුණත් ඒක පැහැදිලියි. මහ බැංකු හොරකම පවා ඔවුන් ඊළම වෙනුවෙන් පාවිච්චි කරනවා.
ආචාර්ය නලින් ද සිල්වා අද ලියා ඇති පරිදි ඔහු තුළ වුණත් ආරම්භයේ දී මේ විශ්වාසභංගය පිළිබඳ විශ්වාසයක් තිබිලා නෑ. මහින්ද රාජපක්ෂගේ හැසිරීම බැලුවත් පේන්නේ ඔහුත් ඒ මතයේම සිටි බවයි. අපත් ඒ පිළිබඳ ප්‍රසාදය පළ නොකළේ එය තවත් එක් රවි කරුණානායක නාඩගමක් ලෙස කෙළවර වී මුහුණු මාරුවකින් එම ආණ්ඩුවම ඉදිරියට යාමේ අවදානම බැහැර කළ නොහැකි නිසයි.
කොහොම වුණත් මේ නිසා ආණ්ඩුව ඇතුළේ ඉදිරියේ දී තව ගැටුම් ඇති වෙනවා. එජාපයේ නායකත්ව ගැටලුව නිමා නොවුණු නිසා ඒ ගැටුමත් තව ඇදෙයි. විශ්වාසභංගයට පක්ෂ වූ අයට එරෙහිව සෑහෙන තර්ජනයක් එයි. දැන් නැවත රනිල්ගේ ඊළාම් සැලැස්ම රටට හෙළි වීම හොඳයි. ඒ රනිල් වෙනුවට වෙන රනිල් කෙනෙක් ඒ ගමන යනවාට වඩා රටම දන්න සුපුරුදු රනිල් යද්දි අඳුන ගන්න ජනතාවට පහසු වෙයි.
සිරිසේන අවසාන මොහොතේ විශ්වාසභංගය පරාජය වන තැනට වැඩ කරද්දි එජාපයේ කැරලිකාර කොටස් පසුබැසීම ගැන පුදුම විය යුතු නෑ. රංගෙබණ්ඩාරලා බොරුවට රඟපෑවත් විජේදාසලා බොරු කළා කියලා නම් මට හිතෙන්නේ නෑ. ඔහුගේ ඡන්දය තීරණාත්මක නොවන පසුබිමක ඇමතිකමටත් කෙළවිලා තවත් වළක විහින් නොවැටී සිටීම හොඳයි. සතුරා ප්‍රබල අවස්ථාවේ පසු නොබැස බූරුවෙක් වගේ වෙඩි කන්න ඕන නෑ.
සිරිසේන තම පිරිසට ඡන්දය වර්ජනය කරන ලෙස පැවසූ බව අද වීරකේසරි පත්තරේ සඳහන් වන බව රේඩියෝවක කිව්වා. සිරිසේන කියන්නේ දුර්වලයෙක් නෙමෙයි පාවාදෙන්නෙක් කියලා ආයේ ඔප්පු වුණා. ජුදාස් වුණත් එක පාරයි පාව දුන්නේ. සිරිසේන පාවා දීම් අතින් ජුදාස් පරාද කරලා ගොඩක් කල්.
විජේදාසලාට ආරක්ෂිත පියවරකට යන්න වුණේ සිරිසේන නිසායි. ඒ නිසා ඔවුන්ට බැණ වැදීම කුඹුර පාළු කළාට ගෙදර තියෙන මුව හමට තඩි බානවා වගේ වැඩක්. බොහෝ දෙනා පිළිගන්න අකමැති වුණත් අප වෙන මතයක හිටියත් විශ්වාසභංගය නමැති කුඹුර කෑවේ සිරිසේන.
දැන් ජාතික බලවේග කළ යුත්තේ උදා වී ඇති නව දේශපාලන තත්ත්වය රටට හිතකර වන ආකාරයට කළමනාකරණය කරගත හැකි ආකාරය සොයා බැලීමයි. ඒ පිළිබඳ උපක්‍රම තේරීමයි.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !