Thursday, May 31, 2018

ජවිපෙ විස්ස අවසාන ඊළාම් තුරුම්පුව ද?

කිසිවකු සීදේවි යැයි කියා මූදේවිට වරක් දෙරවක් රැවටීම ඒ හැටි අරුමයක් නොවේ. එහෙත් දවල් වැටුණු වළේ රෑ වටෙන්නා සේ නැවත නැවත රැවටෙන්නේ නම් එය මහ ඛේදවාචකයකි. මෙවැනි තත්ත්වයකට රටක ජනතාව වැටුණ කල ඒ රට දිනෙන් දින අගාධයට යනු මිස ගොඩ ඒමක් නම් නැත. අද අපෙ රට හමුවේ ඇත්තේ එවැනි ඛේදවාචකයකි. 

2015 යහපාලනය යන සර්ව පිත්තල වචනවලට මුවා වී විදෙස් බලවේග රටේ පාලනය ජනතාවගෙන් උදුරා ගත්තේය. කොටි ත්‍රස්තවාදය පරාජය කොට රටට සංවර්ධනයේ අරුණළු රැගෙන ආ ආණ්ඩුව බිඳ දැමූ සුද්දෝ we are part of this victory යැයි උදාන වාක්‍ය පැවසූහ. එය කෙතරම් ජුගුප්සාජනක කුමන්ත්‍රණයක් කිවහොත් සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලීවේ කවුද කියා එදා පත් වූ ජනාධිපතිවරයා පවා තවම දන්නේ නැත. 

එතෙක් පැවති නිවහල් රට දැන් බටහිර ඉන්දිය කොලනියකි. බටහිර ඉන්දිය ස්වාමීවරුන්ගේ උවමනා එපාකම් අනුව ඔවුන් විසින් පත් කළ ආණ්ඩුව සහ ආණ්ඩුකාරවරු අද රට පාලනය කරති. යහපාලන සුනාමියට පසු රට පාලනය කිරීම යනුවෙන් සිදුවූයේ ජනාධිපතිවරයාම පවසන පරිදි ඔහු පවා නොදන්නා බලවේගයක් විසින් ලියා දුන් කොලයක් අනුව වැඩ කිරීමය. (අදත් සිදුවන්නේ එයම බව කිව යුතුද?) එතෙක් පැවති ආසන 142ක් සහිත ආණ්ඩුව පෙරළා දමා ආසන 42කින් සමන්විත එජාප නායකයා අගමැති කෙරිණි. ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙවැනි විගඩමක් සිදු වූ පළමු සහ අවසාන අවස්ථාව එය විය යුතුය.

රට ප්‍රජාතන්ත්‍රවාදයෙන් සුඛිත මුදිත කිරීමට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන වඩම්මා ගෙන ආවේ ඊට පසුය. මේ සංශෝධනය සමග රටේ අධිකරණය, රාජ්‍ය සේවය, පොලිසිය ආදි ආයතන ස්වාධීන වී ජනතාගේ මානව අයිතිවාසිකම් සුරක්ෂිත ශිෂ්ට දේශයක් උදාවන බවට නියත විවරණ ලැබිණි. එහෙයින් 19 නමැති මල් වට්ටියට අත ගැසීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියලු බලවේගවල පරම යුතුකම සහ වගකීම බව පරසක්වළ ගැසුවේය. 

හොරු අල්ලන්න බලයට පැමිණි පාලකයන් මහ බැංකුව කොල්ලකෑවේ මේ අතරය. ඕනෑම රටක බැංකු කොල්ලයක් සිදු විය හැකි වුවද රටක ආණ්ඩුවක් විසින් සිය රටේ මහ බැංකුව කොල්ල කෑ ඉතිහාසයේ ප්‍රථම සහ අවසාන අවස්ථාව එයයි. 2015 උදා වු යහපාලනයට සහ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ බලගැන්වූ දේශපාලන ඇඟිලි ගැසීම් නොමැති නීතියේ ආධිපත්‍යයට පිං සිදුවන්නට සිංගප්පූරුකාරයකුට රටේ මහ බැංකුව රිසි සේ කොල්ලකා නිදහසේ නැවත සිය රට බලා ගොස් ජීවත් වීමේ භාග්‍ය උදාවිය. 2014 වන විට කොටි සංවිධානයේ ජාත්‍යන්තර සබඳතා ජාලයේ ප්‍රධානියා වූ කේපී මැලේසියාවට ගොස් රැගෙන ඒමට තරම් ප්‍රබල බුද්ධි අංශයක් සහ ජාත්‍යන්තර සබඳතා ජාලයක් පැවති රටක එවැන්නක් සිදුවීම කෙතරම් උත්ප්‍රාසජනකද?

මේ මහා සහගහන අපරාධයට එරෙහිව ඒ අපරාධයේ මහා මොළකරුට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංගය මහ බැංකුවෙන් කොල්ල කෑ මුදල් සහ කොටි ඩයස්පෝරාව පිට රටවලින් පොම්ප කළ මුදල්වලින් මිලට ගත් මැති ඇමතිවරු ලවා පරාජයට පත් කෙරිණි. ජනතා මුදල් මහ දවල් කොල්ලකෑ බැඳුම්කර හොර රැළ පාර්ලිමේන්තුවේ දී ආරක්ෂා කළ කල්ලියේ මන්ත්‍රීවරු සියයකට වැඩි පිරිසකට එලෙස ජනතාවගෙන් කොල්ලකෑ මුදල් අල්ලස් ලෙස ලබා දී ඇති බව දැන් රටට රහසක් නොවේ. මේ අතර 20 වෙනි සංශෝධනය ගෙන එන ජවිපෙ නායකයන් ද සිටින බව පැවසෙයි.

මහ බැංකු හොරුන්ගෙන් පගා ගෙන විශ්වාසභංගය පරාජය කිරීමට අත එසවූ සරත් ෆොන්සේකලා ගම්පෙරළියේ නන්දා පියල් දුන් ලියුම අල්මාරිය අස්සට විසි කළා වැනි විහිළු කතා කියමින් මේ රටේ ජනතාවගේ බුද්ධියට නිගා දෙනු බලා සිටීමට අද අපට සිදුව තිබේ. සැබවින්ම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ සිදුව ඇත්තේ මෙවැනි මහා අපරාධයක් සිදු වුව ද පියවරක් ගත නොහැකි තැනට විධායක ජනාධිපති ධුරයේ තටු කපා දැමීම පමණි. නො එසේ නම් 2015 ජනවාරි 9 වෙනිදා ආසන 142ක් සහිත සන්ධානයක් යටතේ දි.මු. ජයරත්න අගමැති ධුරයේ සිටියදීම ආසන 42ක් පමණක් තිබූ රනිල් අගමැති කළ මෛත්‍රීපාල සිරිසේනට දැන් රනිල් පහකර වෙනත් අගමැතිවරයකු පත් කිරීමට කිසිම නොහැකියාවක් නැත. 

අවසානයේ ආණ්ඩුව රටට කෙතරම් විනාශකාරී වුවත් වසර හතරහමාරක් ගෙවෙන තුරු එය විසුරුවා හැරීමේ බලය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය විසින් ජනාධිපතිවරයාගෙන් උදුරා ගෙන තිබේ. වෙනත් ලෙසකින් කිවහොත් 2003 චන්ද්‍රිකාට රනිල් පාලනය කර ගැනීමට තිබූ බලය අහිමි කර තිබේ. මේ වන විට ජනතාවගේ ජීවන බර, විරැකියාව ඉහළ ගොස් රටේ සියලු ආර්ථික දර්ශක පහළ වැටී දූෂණය ඉහවහා ගොස් රටම දෙකොණ විලක්කුවක් සේ ඇවිළි ගිය ද රටේ ජනාධිපතිවරයාට කළ හැක්කේ අනාරාධිතව උත්සව සභාවලට ගොස් කලින් කී බොරු වෙනුවට අලුත් බොරු කියා ඇදගෙන නෑමට පමණි. 

යහපාලන නියමුවකු වූ සෝභිත හිමිගේ සැමරුමට ඇමතිකමින් පහ කළ පිවිතුරු රවී කරුණානායක වැනි අයකුට පවා ආරාධනා කරන පසුබිමක එම බලවේගය විසින් බලයට ගෙන ආ වත්මන් ජනපතිට ආරාධනා නොකිරීමෙන් 19 ඔස්සේ ජනපති ධුරයට අත්ව ඇති ඉරණම, මේ ආණ්ඩුව තුළ ඇති ගිනි කන්ද පමණක් නොව යහපාලන විහිළුවේ සැබෑ හෙළු ද ප්‍රදර්ශනය වෙයි. 

මෙවැනි පසුබිමක 20 වෙනි සංශෝධනය ඔස්සේ රටේ ජනාධිපතිවරයා තෝරා ගැනීමට රටේ ජනතාවට ඇති බලය ඒ ජනතාවගෙන් උදුරා ගෙන පාර්ලිමේන්තුවට පැවරීමට යෝජනා කිරීම අප අවබෝධ කරගන්නේ කෙසේද? එහි අරමුණ කුමක්ද? බැඳුම්කර හොරුන්ගෙන් පාගා ගෙන ඒ හොරකමට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමට අත එස වූ හොර කල්ලියකට මේ රටේ ජනාධිපතිවරයා තේරීමේ බලය ලබා දෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට යැයි අප සිතිය යුතුද? 

සැබවින්ම 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ සිදු කිරීමට උත්සාහ කරන්නේ රටේ විධායක ජනාධිපති ධුරය වෙනුවට විධායක අගමැති ධුරයක් නිර්මාණය කිරීමටය. බෞද්ධ ලේබලය සහිත පොදු අපේක්ෂකයකු ලවා පවා ඉටුකරගත නොහැකි වූ ඊළාම් ගමනේ ඊළඟ පියවර තැබීමට නූතන ඩොයිලි වන රනිල් වික්‍රමසිංහ පන්නයේ නායකයකු රටේ විධායකය බවට පත් කළ යුතුය. ඒ රනිල් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න හෝ මංගල සමරවීර වැන්නකු විය හැකිය. එවැනි අයකුට රටේ සමස්ත ජනතාවගේ ඍජු ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් විය නොහැකිය. ඒ බහුතර සිංහල ජනතාව මෙවැනි පිල්ලිවලට එරෙහිව ඡන්දය භාවිත කරන නිසාය.

එහෙයින් කුමන නූල් සූත්තරය මගින් හෝ රටේ විධායකය තෝරන බලය ජනතාවගෙන් උදුරා ගෙන පාර්ලිමේන්තුවට ගතයුතුය. එවිට අර්ජුන් ඇලෝෂියස්ට පවා සල්ලිවලට ගත හැකි සරත් ෆොන්සේකලා වැනි සිංහල යැයි කියන මැති ඇමතිලා කොටි ඩයස්පෝරවේ මුදලින් මිලට ගෙන එජාප, ජවිපෙ, දෙමළ සන්ධානය ඇතුළු සුළු වාර්ගික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ද සහාය ඇතිව බෙදුම්වාදී පිල්ලියක් රටේ විධායකයට පත්කිරීම ඒ හැටි කජ්ජක් නොවේ. 

ඒ සඳහා කළ යුත්තේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් වැනි බැලූ බැල්මට අතිශය සාධාරණ සටන් පාඨ ඔස්සේ විධායකය මහා භයානක යකකු කර ජනතාව සතු විධායකය තෝරන බලය බෙදුම්වාදී බලවේගවලට මුදල් බලයෙන් පාලනය කළ හැකි පාර්ලිමේන්තුවට ගැනීමය. කෙසේ හෝ මේ බාධකය ජය ගත හොත් පළමුව 13 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ඔස්සේ උතුරේ ඊළාම් රාජ්‍යය බිහි කර ගැනීමට වසර කිහිපයකට වඩා ගත වෙතැයි සිතිය නොහැකිය. 

එහෙයින් මේ ගොනා හැරෙන්නේ පොල් පැලයට බව ජාතිය වහා අවබෝධ කර යුතුය. බෙදුම්වාදී බලවේග ජවිපෙ ලවා උත්සාහ කරන්නේ 20 නමැති අවසාන ඊළාම් තුරුම්පුව ගැසීමටය. එය පරාජය කරනු හැර විකල්ප නැත. එපමණක් නොව 19 වැනි සංශෝධනය ඔස්සේ සිදු වූ මහා නස්පැත්තිය වහාම නිවැරදි කිරීමට පෙරමුණ ගත යුතුය. මේ රටේ ජනතාව 2015 යහපාලන විප්ලවය ඔස්සේ ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදය රහ බලමින් නැවත ඒ බොරුවට රැවටෙන්නේ නම් මේ රටට අනාගතයක් තිබිය නොහැකිය.   

4 comments:

Deutscher said...

Very well explain the danger of our future.but mosst of the people are sleep.

Vipravasika said...

Dear Mr, your article is timely and it explains hidden plan of Anura Kumara alias Rathu Alipetiya! Why don’t you contribute more often in order to open eyes of our people who are usually blindfolded?
You writing ability is very much appreciated.
You are a good writer.
Budusaranai

Blog27999 said...

As stated by Stanford Medical, It's really the one and ONLY reason this country's women get to live 10 years longer and weigh on average 42 pounds lighter than we do.

(By the way, it has totally NOTHING to do with genetics or some secret-exercise and EVERYTHING to do with "how" they eat.)

BTW, I said "HOW", not "WHAT"...

Click this link to see if this quick questionnaire can help you unlock your real weight loss possibility

Blog27999 said...

According to Stanford Medical, It is really the ONLY reason this country's women get to live 10 years more and weigh on average 19 kilos less than us.

(And actually, it really has NOTHING to do with genetics or some hard exercise and absolutely EVERYTHING related to "HOW" they are eating.)

P.S, I said "HOW", not "WHAT"...

Tap this link to discover if this quick quiz can help you find out your true weight loss potential

 
සිය රට දේ සිරි සැප දේ !