Wednesday, November 11, 2009

තරහ අවසර. රාමචන්ද්‍රතුමනි,

ඊයේ ඇරඹි අකුරට වැඩ කිරීම අතිශයින් ම සාර්ථක බව වෘත්තීය සමිති නායකයෝ කීහ. එය එසේ නොවන බව ආණ්ඩුව කීවේ ය. අකුරට වැඩ කිරීම ඉතා ම ආදර්ශවත් ක්‍රියාවක් බව මම ඊයේ මේ තීරුවෙන් පෙන්වා දුනිමි. ඊට ප්‍රතිචාර දැක්වූ රාමචන්ද්‍ර සහෝදරයා මට බැණ වැදිණි. ඔහු පවසන්නේ ඒකාධිපතියාට කඩේ යන දිවයිනට වඩා ඉතා අවදානම් රාජකාරි කරන මේ සේවක පිරිස් රටට වැඩක් කරන බව ය. මම එසේ නොවේ යැයි කීවේ නැත. ඒ සේවක මහත්වරුන්ගේ රාජකාරීය අප කිසි තැනක අවතක්සේරු කර නැත.

මම කිසි තැනක එකී අකුරට වැඩ කිරීම හෙළා දැක නැති බවත් එහි හොඳ ම දැක ඇති බවත් විද්වත් පාඨකයාට අවබෝධ කරගැනීම අපහසු නැත. එහෙත් ආණ්ඩුවට කඩේ ගියා යැයි කියන්නේ ඇයිදැයි මට තේරුම් ගත නොහැකි ය.

මේ දූෂිත ඒකාධිපති රාජපක්ෂ පාලනයට මම විරුද්ධ වෙමි. ඔවුන් රාජ්‍ය මාධ්‍ය හරහා පට්ටපල් බොරු දෙසා බාමින් අකුරට වැඩ කිරීමේ ආදර්ශය රටට අනාවරණය කිරීමෙන් වළකති. මහින්ද අබේසුන්දර සහ හඩ්සන් සමරසිංහ ඒ කොන්ත්‍රාක්තුව කදිමට කරති.

ආණ්ඩුව පට්ටපල් බොරු කියන බව අද ආණ්ඩුවේ ප්‍රකාශයෙන් ද සනාථ වෙයි. ආණ්ඩුව කියන්නේ අකුරට වැඩ කිරීම අසාර්ථක බවත් ඒ ඒ ආයතනවල එදිනෙදා කටයුතු මැනවින් සිදු වු බවත් ය. වෙනදා විදිලිය බිල් ගෙවීමට විශාල පාරිභෝගික පෝලිම් තිබුණ ද ඊයේ එසේ නොවීම ඊට නිදසුනක් ලෙස ද දක්වති. මේ කතාවෙන් හෙළි වන්නේ ආණ්ඩුවේ මෝඩ තකතීරුකම ය. අනවබෝධයයි. අනෙක් පැත්තට අප ඊයේ පැවසු දේවල සත්‍යතාව ය.

සේවකියන් අකුරට වැඩ කරන කල්හි ආයතනවල පෝළිම් ඇති වන්නේ නැත. ජනතාව රස්තියානු වන්නේ ද නැත. එහි අලුත් පුවතක් නැත. අප පුදුම වන්නේ එසේ නොවුණා නම් ය. එහෙත් අර කතාවේ යම් සත්‍යයක් ඇත. එනම් වෙනදා පෝලිම් තිබුණු බවය. එනම් ඒ දිනවල මේ ආයතනවල අප ඊයේ පෙන්වා දුන් පරිදිම වැඩක් සිදු වී නැත. ඒ අකුරට වැඩ නොකළ නිසා ය. එහෙයින් මේ අකුරට වැඩ කිරීම හැකි නම් තව සතියක් ඉදිරියට කරගෙන යන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ අහිංසක ඉල්ලීම රටේ ජනතාව වෙනුවෙනි. එමෙන්ම මේ ආදර්ශය සිය නිවෙසට ගෙන යන මෙන් මම රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිමි. එසේ කළහොත් අපට සිංගප්පුරුවක් නොව සෝවියට් දේශයක් මේ රටේ ගොඩ නැගිය හැකි බවට මට වඩා හොඳට රාමචන්ද්‍රතුමා සාක්ෂි දරනු ඇත.



(ලක්බිම -09/11/12)

එමෙන් ම දිවයින පමණක් නොව ලක්බිම ආදී පුවත්පත් ආණ්ඩුවට කඩේ යන බව ද කිව යුතු ය. ඔවුන් මේ කිසිදු දේශපාලන සම්බන්ධයක් නැති වෘත්තීය සමිති පරම පිවිතුරු කම්කරු අයිතීන් දිනීමේ චේතනාවෙන් ම ගෙන යන අකුරට වැඩ කිරීමේ පුණ්‍ය කර්මයට එරෙහිව සිටිති. බුදුන්ට ද දෙව්දත්ලා සිටි හෙයින් යේසුට ජුදාස්ලා සිටි හෙයින් ඒ ගැන මේ වෘත්තීය සමිතිවල බෝසත්වරු කලබල විය යුත නැත. රාමචන්ද්‍ර සහෝදරතුමා ද මා වැනි කම්කරු සටනට සහය දෙන බ්ලොග්කාරයින් හා උරණ නොවිය යුතු ය.

2 comments:

නිලන්‍ත said...

අකුරට වැඩ යනු දිනයට නියමිත කාර්යය පමණක් කිරීම නොහොත් අතිකාල නොකිරීම නම් අකුරට වැඩ කිරීම එළය. මොකද එවිට ආන්ඩුවට අතිකාල සේවයට කරන ගෙවීම ඉතිරිවන නිසාය. ඒකෙන් යම් සහනයක් හුදී මහජනයා වන අපටද ලැබීමට ඉඩ ඇති නිසා සේවකයෝ අකුරට වැඩකිරීම හොඳය.
මොකද ඊයේ සහ අද ඛණිජ තෙල් ඇතුලු තවත් යම් රජයේ සේවක කංඩායමක් අකුරට වැඩකිරීමක් කරන බව පලවිය. මේ ආරංචියට බයවීම නිසා ඊයේ උදේ කාලයේ ඉතාම සුලු තදබදයක් ඉන්ධන පිරවුම්හල් අසල තිබුනද සවස වනවිට කිසිම ගැටලුවක් නොවූ බව කිවයුතුය. අද නම් අකුරට වැඩ බවක් මතකවත් නැතිය.
ඉතිං ඔය කරන "අකුරට වැඩ" නම් ක්‍රියාමාර්ගය මරුය.

නාමල් උඩලමත්ත said...

ඒත් නිලන්ත අපි කීවම අකුරට වැඩ කරන ඒක හොඳයි කියලා රාමචන්ද්‍ර මට බැණ අඬගැසුවේය. ඒ ආණ්ඩුවට කඩේ යනවා යැයි කියලා ය. වැරදිලාවත් මේක වැරදයි කීවත් ඔහු මට බනිනු ඇත. ඒත් ආණ්ඩුවට කඩේ යනවා යැයි කියනු ඇත.
අපේ සහෝදරවරු අකුරට වැඩ කරති. පාරේ වාහන කිසි අඩුවක් නැතිව දුවයි. සෙසු මිනිස්සු සිය කටයුතුවල සුපුරුදු පරිදි යෙදෙති. මම නම් හිතන්නේ රට ම අකුරට වැඩ කළ යුතු බව ය.

 
සිය රට දේ සිරි සැප දේ !