මේ දිනවල නැවත වතාවක් පොදු අපේක්‍ෂක කතාව ඉදිරියට පැමිණ ඇත. මීළඟ ජනාධිපතිවරණයේදී විපක්‍ෂයෙන් පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට ඇතැමුන්ට අවශ්‍ය වී ඇති බව පෙනෙයි. මේ සම්බන්ධයෙන් කරුණු දෙකක් පැහැදිලිය. පළමුවෙන්ම පොදු අපේක්‍ෂක කතාව ඉදිරිපත් කෙරෙන්නේ බංකොළොත් දේශපාලන පක්‍ෂවලින් බවය. දෙවැන්න පොදු අපේක්‍ෂක ඉදිරිපත් කෙරෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව ඔහු පරාජය කිරීමේ එකම ෙච්තනාවෙන් බවය. තමන්ගේම අපේක්‍ෂකයකු ඉදිරිපත් කර මීළඟ ජනාධිපතිවරණයේදී ජය ගැනීමට නොහැකි බව දන්නා යන එන මං නැති දේශපාලන පක්‍ෂ පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට සැරසෙන්නේ තම පක්‍ෂ පරාජය වීම වළක්‌වා ගැනීමටය. පොදු අපේක්‍ෂකයා පරාජය වුවද තම පක්‍ෂය නිල වශයෙන් පරාජය නොවන බව දන්නා මේ නන්නත්තාර වී ඇති දේශපාලන පක්‍ෂවලට ජනාධිපතිවරණයෙන් පසු තම පක්‍ෂය පරාජය නොවිණි යෑයි හිත හදා ගැනීමට හැකිය. අද ජවිපෙ පමණක් නොව එජා පක්‍ෂයද දේශපාලන ලෝකයේ අතරමංවී ඇති පක්‍ෂ වෙයි. ආරම්භයේ සිටම ජාතිකත්වය හා කසිකබල් මාක්‌ස්‌වාදය අතර දෝලනය වන ජවි පෙරමුණට අද ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී සියයට දෙකක්‌වත් ඡන්ද ගැනීමට නොහැකිය. පළාත් සභා ඡන්දවලදී ඒ පක්‍ෂයට ලැබුණු ඡන්ද ප්‍රමාණයවත් ජනාධිපතිවරණයකදී නොලැබෙනු ඇත. ජාතිකත්වයෙන් කසිකබල් මාක්‌ස්‌වාදයට දෝලනය වන කාල පරිච්ඡේදයෙහිදී ජවි පෙරමුණට ඇත්තේ සිය දිවි නසා ගැනීමේ විකල්පය පමණකි.
එජා පක්‍ෂයට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ඒ මහතා ජනාධිපතිවරණයේදී තම අපේක්‍ෂකයා බවට පත්කරගෙන ජයග්‍රහණය කළ නොහැකි බව ඒ පක්‍ෂයේ බොහෝ දෙනෙකුට තේරෙන කරුණකි. ඒ බව නොතේරෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට හා පක්‍ෂයේ තවත් කිහිප දෙනකුට පමණක් විය හැකිය. අනෙක් පිරිසගෙන් යම් ප්‍රමාණයක් ඇතැම් විට පක්‍ෂයේ වෙනත් අපේක්‍ෂකයකු ඉදිරිපත් කර ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වනවා විය හැකිය. එහෙත් එජා පක්‍ෂයේ කිසිවකුට පක්‍ෂයෙන් තරග කර මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීමට නොහැකි බව දන්නා අයද පක්‍ෂයේ වෙති. ඊනියා පොදු අපේක්‍ෂකයා එවැන්නන්ගේ දෙසවනට දිව මතුරකි. ඒ අතර පොදු අපේක්‍ෂකයාට තල්ලුව දෙන තවත් අයද වෙති. ඔවුන් අතර විදේශීය බලවේග හා දෙමළ ජාතිවාදී සංවිධාන හා සිංහල බෞද්ධ විරෝධී රාජ්‍ය නොවන සංවිධාන පමණක් නොව ඇතැම් ආගමික නායකයෝද වෙති. අද එක් සභාවක නායකත්වය දරන්නේ රෝමයේදී කොටි සංවිධානය වෙනුවෙන් යාඥ පැවැත්වූ පූජකවරයෙකි. අද ඔහු මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් බොරුවට යාඥ කරනු දැකිය හැකිය. දෙවියන් වහන්සේට යාඥ කරනු වෙනුවට ඔහු යුරෝපීය රාජ්‍ය නායකයන්ට යාඥ කරන්නේ අනෙක් අතින් ඒ නායකයන්ට වෙනත් පණිවුඩ යවමින් බවට සැකයක් නැත.
පොදු අපේක්‍ෂකයා ගැන දොඩවන සියලු දෙනාටම පොදු අපේක්‍ෂාවක් ඇත. ඒ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයේදී පරාජය කිරීමය. එමගින් සිංහලත්වය දියකර දැමීමය. සිංහල බෞද්ධ සංස්‌කෘතියට මෙරට හිමිවිය යුතු එහෙත් තවමත් හිමි නොවුණු තැන කිසි දිනෙක ලබා නොදීමට කටයුතු කිරීමය. පොදු අපේක්‍ෂකයා කවුරුන් වුවත් ඔහු ඉදිරිපත් කෙරෙන්නේ ඉහත සඳහන් අවශ්‍යතා ඉටුකර ගැනීමේ පරම පවිටු ෙච්තනාවෙනි. පොදු අපේක්‍ෂකයා බවට ඉදිරිපත් වීමට තීරණය කරන්නා දැන හෝ නොදැන හෝ ඒ කරුණු සඳහා පෙනී සිටියි. මේ උදාවී ඇත්තේ දෙවැනි පනස්‌හයකි. තවත් අවුරුදු පනහකින් පමණ තවත් පනස්‌හයක් උදාවනු ඇත. ඒ අතර කාලයෙහිදී විවිධ දැ මෙරට හා ලෝකයේ සිදුවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. පනස්‌නවය වන විට පනස්‌හය ආපසු හැරවීමට විජාතික බලවේග ක්‍රියා කළ අන්දමට මේ දිනවල දෙවැනි පනස්‌හය ආපසු හැරවීමටද ඒ බලවේග ක්‍රියාත්මක වෙමින් පවතියි. මූඑ පෙරමුණ ආණ්‌ඩුවෙන් පිලිප් ගුණවර්ධන මහතාට ඉවත් වීමට සැලැස්‌වීම පනස්‌හයට විරුද්ධව ගත් ප්‍රධාන පියවරක් විය. වැඩිකල් නොගොස් බණ්‌ඩාරනායක මහතා ඝාතනය කෙරිණි. විජාතික බලවේගවල අද සැලැස්‌ම මේ ආණ්‌ඩුව අප කීර්තියට පත්කර අස්‌ථාවර කර මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීමය.
මේ ආණ්‌ඩුව කරන කියන ඇතැම් දෙයක් ගැන අපට එකඟ විය නොහැකිය. අද ආණ්‌ඩුවට අවශ්‍ය වන්නේ රාජ්‍ය මාධ්‍ය ඔස්‌සේ ජනාධිපතිතුමාට ස්‌ත්‍රොaත්‍ර ගයන වන්දිභට්‌ටයන් නොවේ. මේ වන්දිභට්‌ටයෝ බොහෝ දෙනෙක් විජාතික බලවේගවල නියෝජිතවරියක වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ද ස්‌තෝත්‍ර ගැයූහ. ඇතැම්හු ප්‍රේමදාස මහතාට ද ස්‌තෝත්‍ර ගැයුවෝ වෙති. ආණ්‌ඩුවට අද අවශ්‍ය වන්නේ වෙනත් කාහටත් වඩා ජාතිකත්ව මතවාදයක සිට නිර්මාණාත්මක විවේචනයෙහි යෙදෙන්න වුන්ය. ජනාධිපති උපදේශකයන්ගේ වගකීම් අතර ජනාධිපති විවේචනයද විය යුතුය. අද නොයෙකුත් සංවර්ධන කටයුතු කෙරෙන බව සැබෑය. එහෙත් මේ සංවර්ධනයේ කතා නොකෙරෙන දෙපැත්තක් වෙයි. එකක් ඒ හා සම්බන්ධ නාස්‌තිය හා දූෂණයය. දෙවැන්න මේ සංවර්ධනය ජාතික සංවර්ධනයක්‌ද නැත්නම් විජාතික සංවර්ධනයක්‌ද යන්නය. කාලයක් තිස්‌සේ බොහෝ දෙනාට පුරුදු කෙරී ඇත්තේ ඇමරිකාව මෙන් බැරිනම් අඩු තරමින් සිංගප්පූරුව මෙන් දියුණු විය යුතු බවය. සිංගප්පූරුවේ අහස උසට ගොඩනැඟුණු කුකුල් කූඩු මහල් නිවෙස්‌වල සිරවුණු ජීවිත දියුණුවේ ලක්‍ෂණයක් නම් දියුණු නොවී සිටීම එයට වඩා අගනේය. ආණ්‌ඩුවේ ඇතැම් ක්‍රියාකාරකම් ගැන එකඟ නොවන අතර ආණ්‌ඩුව පැරැදවීමට ද අපට එකඟ විය නොහැකිය. ආණ්‌ඩුව පවතින්නේ මහින්ද රාජපක්‍ෂ මහතා වටාය. ආණ්‌ඩුව මැතිවරණ දිනන්නේ අර ඇමැතිවරයා මේ ඇමැතිවරයා රටට කළ සේවයක් නිසා නොව රාජපක්‍ෂ මහතාගේ නායකත්වය නිසාය. මීළඟ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට කළ හැකි කාර්යයක් වෙයි. මන්ත්‍රීධුරාපේක්‍ෂකයන් තෝරන විට දූෂිතයන්, හොරුන්, තක්‌කඩින් ආදීන් ප්‍රතික්‍ෂේප කිරීමට ඒ මහතා ක්‍රියා කරන්නේ නම් එය මේ රටේ යහපතට හේතුවනු ඇත. හොරුන් දූෂිතයන් නැතිව ජාතික සංවර්ධන මාවතක් දිගේ අවුරුදු පහක් රට ගෙන යැමට හැකි නම් අපට ජයග්‍රහණ රාශියක් අත්කර ගැනුමට හැකිවනු ඇත. කෙසේ වෙතත් ආණ්‌ඩුව තවදුරටත් ජාතියේ නාඩි වැටෙන ආකාරය තේරුම්ගෙන ක්‍රියා කළ යුතුය.
ආණ්‌ඩුව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට දෙන ලද උසස්‌වීම් මත භේදයට තුඩු දෙන්නකි. උසස්‌වීම ඔස්‌සේ ඒ මහතා හමුදාපති ධුරයෙන් ඉවත් කෙරුණු බව පෙනෙන්නට ඇත. සරත් ෆොන්සේකා මහතා ඉවත් කිරීම, දයාන් ජයතිලක, එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනිවා නුවර ලංකා නියෝජිත තනතුරින් ඉවත් කිරීමට වඩා වෙනස්‌ය. දයාන් ජයතිලක ඒ තනතුරට සුදුස්‌සෙක් නොවීය. මෙරට ඉංගිරිසි කතා කරන ඇතැම් බක පණ්‌ඩිතයන්ට ඔහු ප්‍රාඥයකු විය හැකි වුවද ඔහු මෙරට සංස්‌කෘතික මත පා ගහගත් පුද්ගලයෙක් නොවේ. බටහිර මතිමතාන්තර හැරෙන්නට ඔහු දන්න දෙයක් නැත. එහෙත් සරත් ෆොන්සේකා මහතා එසේ නොවේ. මෙරට ඉතිහාසය දත් අපේ සංස්‌කෘතිය ගැන වැටහීමක් ඇති ඒ මහතා හමුදාපති ධුරයට පත්වී තිබුණේ සුදුසුම අවස්‌ථාවේය. මහින්ද රාජපක්‍ෂ මහතා ද ඔහුගේ අගය දැනගෙන සිටි බවට සැකයක් නැත. ඔහුගේ සේවය දීර්ඝ කිරීම පිළිබඳ කිසිදු ගැටලුවක් මතු නොවූයේද එබැවිනි. කවුරු කෙසේ කීවත් කොටි පරාජය කිරීමේ ප්‍රධාන ගෞරවය ජනාධිපතිතුමාට හිමිවිය යුතුය. විජාතික බලවේගවලට දණ නොනමා දෙන ලද දේශපාලන නායකත්වය නොවන්නට ජයග්‍රහණය අත්කර ගැනීමට නොහැකිය. එමෙන්ම ගෝඨාභය රාජපක්‍ෂ මහතාද එහිදී ඉතා විශිෂ්ට සේවයක් කළේය. ඔහු පැරැණි ලංකාවේ නම් අසිග්ගාහක වෙයි. ගැමුණු රජ සමයෙහි එවැනි පදවියක් තිබී නැතැයි සිතමි. ඒ ගෞරවය ඒ මහත්වරුන්ට එසේ පිරිනමද්දී සරත් ෆොන්සේකා මහතාට හිමිවිය යුතු ගෞරවය අබමල් රේණුවකින්වත් අඩු නොකිරීමට අප වග බලාගත යුතුය. ගැමුණු රජු එළාර පරාජය කළ වීරයා වන අතර අප කිසිවකුට අවුරුදු දහස් ගණනකට පසුවද නන්දිමිත්‍ර නාමය අමතක නොවේ. සරත් ෆොන්සේකා මහතා අමාත්‍යාංශයක ලේකම්වරයකු ලෙස පත් කිරීම ඒ මහතාට කරන ගෞරවයක් නොවේ. සරත් ෆොන්සේකා මහතාගේ නාමය ද අවුරුදු දහස් ගණනකට පසුවද ජාතියේ මතකයෙන් ඉවත්විය යුතු නොවේ. හමුදාවෙන් විශ්‍රාම යැමෙන් පසු ඒ මහතාට සුදුසු එකම නිලය ජනාධිපති තනතුරය. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතා ඒ තනතුරට වඩා සුදුසුය.
අද පොදු අපේක්‍ෂකයා ලෙස සරත්ලා දෙදෙනකු ගැන කියෑවෙයි. හිටපු අගනිවිනිසුරු සරත් සිල්වා මහතා එක් අයකු වන අතර අනෙක් තැනැත්තා සරත් ෆොන්සේකා මහතාය. පොදු අපේක්‍ෂකයා කවුරුවන් වුවද ඔහුට අත්වන්නේ පරාජයක් පමණකි. සරත් සිල්වා මහතා පරාජය වීම අපට ප්‍රශ්නයක් නොවේ. උතුර හා නැගෙනහිර වෙන් කිරීමේ තීන්දුව ඓතිහාසික වුවත් නොදී බැරි තීන්දුවකි. එහෙත් ඒ අතර ඒ මහතා අධිකරණ බලතල බෙදීමටද කටයුතු කළේ දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ද ඉක්‌මවා යමින් බව ඇතැම් නීතිඥයන්ගේ අදහස වෙයි. සරත් සිල්වා මහතා කෙසේ වෙතත් සරත් ෆොන්සේකා මහතා පරාජය වනු දැකීමට අපි නොකැමැත්තෙමු. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධව ඒ මහතාට ඡන්දය දීමටද අපට නොහැකිය. එදා සරත් ෆොන්සේකා මහතා ගැලවීමේ හමුදාවටවත් නුසුදුසු යෑයි කීවෝ අද ඒ මහතාට දිරච්ච ලණු දෙති. ඔවුහු ෆොන්සේකා මහතාට පරාජය අත්කර අනෙක් පැත්තෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ලබන විශිෂ්ට ජය අඩු කිරීමට කටයුතු කරමින් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මරා දැමීමට උත්සාහ කරති. අප ඒ උත්සාහය පරාජය කළ යුතුය.
මහාචාර්ය නලින් ද සිල්වා
(ඉරිදා දිවයින 09/10/25)
ටිප්පණිය - මේ දිනවල මාධ්‍යවල වඩාත් උණුසුම් පුවත් මවන්නා පොදු අපේක්ෂකයා ය. එහදී ආණ්ඩුවේ මාධ්‍ය දිගින් දිගට ම රජතුමා උත්කර්ෂයට නංවමින් සරත්ලාට ටොකු අනින අතර විපක්ෂයට බර මාධ්‍ය පොදු අපේක්ෂකයාගේ ගුණ වයනු පෙනේ. මේ වන්දිභට්ටකම් ජනතාව යම් යම් මිත්‍යාවන්හි ගිල්වා තබන නිදි බෙහෙත් ය.
විශේෂයෙන්, සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා නොවේවා!යි මම සිය දහස් වරක් පතමි. එසේ වුවහොත් දෙකට කැඩෙන්නේ දේශප්‍රෙමී පෙරමුණ ය. එහෙත් එසේ නොවන්නට වග බලාගත යුත්තේ ආණ්ඩුව ය. එහෙත් ආණ්ඩුව කරන්නේ එහි අනිත් පැත්ත ය. රජ ගෙදර මුර බල්ලන් සහ රාජ්‍ය මාධ්‍යවල එහෙයියන් සරත්ට එරෙහිව උසි ගැන්වීම ය. මේ අවස්ථාවේ ආණ්ඩුවේ නැති ගුණ වැයීම සහ එහි වැරදි යටගැසීම තරම් මේ ආණ්ඩුවට කළ හැකි තවත් හානියක් නැත. කළ යුත්තේ වැරැද්ද විවේචනය කිරීම ය. හොඳ දේ ඇගයීම ය.
එසේ නොකරන උන්ගෙනි, ආණ්ඩුව පරිස්සම් විය යුත්තේ. තමාට හිතැති වඳුරා නිසා අකාලයේ මියෙන්නට සිදු වූ රජතුමා පිළිබඳ කතාව ජනාධිපතිතුමා යළි යළිත් සිහිපත් කළ යුතු ය. තමා වටකරගෙන ප්‍රශස්ති ගයන මාර සේනාවෙන් පරිස්සම් විය යුතු ය.
Tuesday, October 27, 2009
Subscribe to:
Post Comments (Atom)
1 comment:
Ane odokku kukkooo....
Post a Comment