පසුගිය ජුනි 09 වෙනිදා ගාලු මුවදොර දී සජිත්ට පහර දෙද්දි සතුටු වුණා. ඒක මරු වැඩේ සජියට දුවන්න දුන්නා කියලා.ඒ වීඩියෝ එක ශෙයාර් කරමින් වින්දනයක් ලැබුවා.
අරගලකාරයෝ එදා රෑ වෙද්දි මිනී මරල ගෙවල් ගිනි තියද්දි පිරිසක් සතුටු වුණා.
සමහරු ඒවා සාධාරණීකරණය කළේ මැති ඇමතිලා අනුකම්පාව ගන්න තමන්ගේ ම ගෙවල්වලට ගිනි තියාගෙන කියලා.
පිරිසක් කීවේ ඉන්ෂූවරන්ස් එකෙන් ක්ලේම් කරගන්න කියලා. සමහරු කීවේ හොරා කෑ සල්ලි නිසා ගිනි තිබ්බට කමක් නෑ කියලා.
අපේ රටේ සිය ගණනකට රැකියා දුන් රටට ඩොලර් උපයා දුන් දැවැන්ත හෝටලයක් ගිනි තියල කොල්ලකද්දි ඒවා ලංසගේ කුඩු සල්ලි කියල සතුටු වුණා.
ඒ අතර එදා අර සිදුවීම් ගැන දුක් වුණ පිරිසක් ඊට මාසෙකට පස්සේ ජුලි 09 සතුටු වෙනවා, රාජිතට මහ පාරේ ගැහුවා කියලා.
ඒක මරු වැඩේ, ඕකට ඔහොම වෙලා මදි කියලා. සමහරු ඒ වීඩියෝ එක 1500 වාරයක් බලලා නිරාමිස සතුටක් ලබලා.
ඊට පස්සේ රෑ අරගලකාරයෝ රනිල්ගේ ගෙට ගිනි තියනවා. රනිල්ම ගෙට ගිනි තියා ගත්තා කියල පිරිසක් කියනවා.
යාපනේ පුස්තකාලේ ගිනි තිබ්බ නිසා රනිල්ගේ නිවස ගිනි තැබීම සාධාරණයිලු. අනික ඒක කුරුඳුවත්තේ රෝයල් එකට මිසක් වන්නියේ දුප්පත් ඉස්කෝලේකට පවරල නෑලු.
මේ ගිනි තැබීම් පහර දීම් කිසිවක් ගැන මට සතුටු වෙන්න බෑ. අපේට විරුද්ධ සජිත්ට වගේ ම රාජිතට පහර දීම ගැනත් මම කනගාටු වෙනවා. ඒ වගේ ම අපේ රටේ අනාගතය ගැන රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පැවැත්ම ගැන මට තියෙන්නේ දැඩි බයක්.
රාජිත හෝ සජිත් සමග හෝ වෙන අයකු සමග අපට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ ගනුදෙනු කරන්න බැරි නම් කැලෑ නීතිය අනුව ඔහු පරාජය කළ යුතුය සිතනවා නම් එහෙම කළා ම අපි සතුටු වෙනවා නම් අපි ඉන්නේ ආපසු හැරිලා ගල් යුගයට යන ගමන්.
මේ කිසිවක් ශිෂ්ට රටක විය යුතු හෝ ශිෂ්ට මිනිස්සු සතුටු විය යුතු දේවල් නෙමෙයි. මේ සිදුවීම් මාලාවට අප දැක්වූ ප්‍රතිචාර අපට අපවම මැනගන්න කැටපතක් හදනවා.මේවා මහා ජයග්‍රහණ විප්ලව කියල හිතන අයට ළිප ගිනි ඇවිළෙන තුරු දිය හැලියේ නටන්න බාධාවක් නෑ. නමුත් මේක මහා ඛේදවාචකයක්.
1 comment:
I Agree
Post a Comment