Tuesday, July 5, 2022

අනුරට අගමැති වෙන්න ජන වරමක් නැද්ද?

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ඇතැයි තමන් සිතන මන්ත්‍රීවරයාට අගමැතිකම දෙන්න ජනාධිපතිවරයාට පුළුවන්. ඒ අනුව රනිල්ට වගේ ම අනුරටත් අගමැතිකම දෙන්න ජනාධිපතිට පුළුවන්.

දැන් පාර්ලිමේන්තුවේ විතරක් නෙමෙයි මුළු රටේමත් ජාත්‍යන්තරයෙත් බහුතර විශ්වාසය තියෙන්නේ අනුරට. ඒ නිසා අනුර තමන්ට අගමැති පුටුවේ වාඩිවෙන්න ජනවරමක් නෑ කියන එක පදනම් විරහිත කතාවක්. ඔහුට ඒ සඳහා ඕනවටත් වඩා සුදුසුකම් තියෙනවා.

අනෙක් අතට රනිල් ජාතික ලැයිස්තු මන්ත්‍රී නිසා අගමැතිකම දරන්න බැරි බව කීම වගේ ම ඔහු ඡන්දෙන් පැරදුණු නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බව කීම විහිළුවක්. 2015 මහා මැතිවරණයට මාතරින් තරඟ කරල පරාද වුණ සුනිල් හඳුන්නෙත්ති එදා පාර්ලිමේන්තු ආවේ ජවිපෙ ජාතික ලැයිස්තුවෙන්. 

එදා හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවට ආවේ ජනතාව ප්‍රතික්ෂේප කළ කිසිවෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නොගන්නා බවට ජවිපෙ ජනතාව ඉදිරියේ සපථ කළ පසුබිමක. හැබැයි 2019 එජාපය නම් පරාජිතයෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එවන්නේ නෑ කියල රටට පොරොන්දු වුණේ නෑ කියලයි මතක. 

ජනතාව ප්‍රතික්ෂේප කළ හඳුන්නෙත්ති ජනතාවට ලබා දුන් පොරොන්දුවත් කඩලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගත් ජවිපෙ නායකත්වය තමා සමිමතයෙහි පිහිටා නොසිට රනිල්ට වැදි බණ දේශනා කිරීම උත්ප්‍රාසජනකයි. 

ඒ නිසා කෝඳුරු තෙල් හත් පට්ටෙකුයි තවත් ටිකක් නොඉල්ල, අන්දරේ වගේ ගල උස්සල මගේ කරෙන් තිබ්බොත් අරන් යන්නම් නොකිය අගමැතිකම භාර අරගෙන රට අර්බුදයෙන් ගලවා ගැනීමට නායකත්වය දෙන එක අනුරගේ වගකීම. අපට රට මිස පක්ෂ වැදගත් නොවන නිසා අනුරට රට ගොඩගන්න සහය දෙන්න අපි ලෑස්තියි.


No comments:

 
සිය රට දේ සිරි සැප දේ !