පහුගිය ටිකේ ආණ්ඩුවේ ඇමැති මන්ත්රී නිවාස දේපළ ගිනි තියද්දි, මන්ත්රීවරයෙක් බල්ලෙක් මහ පාරේ වගේ මරද්දි, හිටපු අමාත්ය කුමාර වෙල්ගමට ගහද්දි, විපක්ෂ නායකට ගාලු මුවදොර දී ගහද්දි, හිටපු ඇමැති රාජිතට ගාලු මුවදොර දී ගහද්දි, හිටපු ඇමැතිවරු වන සරත් වීරසේකරට විමල් වීරවංශට බැනල පන්නද්දි ජනතාව බෙදිලා එක ජවනිකාවට හිනාවෙනවා. විසිල් ගහනවා. හුරේ දානවා. එදා ගාලු මුවදොරදී සජිත්ට ගහපු ජගත් මනුවර්ණලාගේ වසන්ත සමරසිංහට අද එතන දි ම ගහනවා.
තමන්ගේ එකාට ගහන කොට සද්ද නැතිව ඉන්නවා. තම දේශපාලන ප්රතිවාදියාට ගහන්න ජනතාව වියරුවට පත් කොට යොමු කළ අයටත් දැන් ගහනවා. අරගලකාරයෝ දෙකට බෙදිලා ගහගන්නවා. බෙලි කපා ගන්නවා. මේ සියල්ල අපට හිනාවෙන්න නෙමෙයි, අඬන්න දේවල්. අපි බුද්ධිමත් කියල විශ්වාස කළ අයත් ඉතා ම කනගාටුදායක විදිහට එහි ගොදුරු වෙලා.
මේ සියලු ජවනිකා රඟ දැක්වෙන්නේ අරාජිකත්ව වේදිකාවේ. නීතිය වල් වැදිලා කැලෑ නීතිය රජ වෙලා. මේ හැම ප්රහාරයකින් ම ප්රජාතන්ත්රවාදය මිය යනවා. ප්රචණ්ඩත්වය ත්රස්තවාදය පෝෂණය වෙනවා. රටේ ආරක්ෂක හමුදාව තීරණාත්මක විදිහට මේ භයංකාර අරාජිකත්වය පාලනයට යොමු විය යුතුයි.
නැත්නම් පොලිසි හමුදා කඳවුරු හමුදා වටලන්න සහ ඒවායේ ආයුධ පැහැර ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ අයුධවලින් එකිනෙකා ගහ මරා ගෙන මහා විනාශයක් වෙන්න පුළුවන්. හමුදා ප්රධානීන්ගේ සහ අධිකරණ විනිසුරුවන්ගේ නිවාස වටලලා ඒ පිරිස් ප්රාණ ඇපයට ගන්න පුළුවන්.
ඒ නිසා මේ අරාජිකත්වය පාලනය කර ගැනීමට පක්ෂ පාට භේද නොතකා ජනතාව එකතු විය යුතුයි. සිය දේශපාලන අනාගතය ගොඩනඟා ගන්න මේ අරාජිකත්වය යොදා ගන්න හදන අයට ම අනාතයේ එහි වන්දිය ගෙවන්න වෙන්න පුළුවන්.
ආගමික නායකයින් වෛරය වෙනුවට මෛත්රීයත් ඉච්ඡාභංගත්වය වෙනුවට බලාපොරොත්තුවත් අඳුර වෙනුවට ආලෝකයත් ජනතාවට දේශනා කළ යුතුයි.
අපි දැන් ඉන්නේ ලිබියාවට සිරියාවට ඉරාකයට වංගු දෙක තුනක් පිටිපස්සෙන්. ප්රජාතන්ත්රවාදය විශ්වාස කරන සියලු දේශපාලන පක්ෂ වගේ ම නායකයෝ මේ වෙලාවේ ඊළඟ ඡන්දේ ජයග්රහණය ගැන හිතල හරාකිරි කරගන්නේ නැතිව, ඊළඟ ඡන්දේ තියන්න රටක් ඉතිරි කරගන්න එකතු විය යුතුයි. ඒ සඳහා ප්රාඥාව ලැබේවා!
No comments:
Post a Comment