ආර්ථික අර්බුදය නිසා ඇති වූ ජනතා පීඩනයේ අනියම් දරුවා වන අරගලය රාජ්‍ය දුර්වල කරන අරාජිකත්වය මිස අනෙකක් නොවන අපි මුල සිටම කීවෙමු. ආර්ථික පීඩනය දඩමීමා කරගෙන ජනතාව නීතියට අතට ගන්නා තැනට යොමු කළ දේශපාලන පක්ෂ, නීතීඥ සංගම්, තානාපති කාර්යාල සහ ආගමික පූජකයින් බහුතරයකගේ අරමුණ වූයේ ද ආණ්ඩුව දුර්වල කර එමගින් රාජ්‍ය දුර්වල කිරීමය.
ජනාධිපතිවරයා සහ ආණ්ඩුව රඹුක්කන තෙල් බවුසර සිද්ධියේ සිට ජාතික ආරක්ෂාව සහ නීතිය සාමය තහවුරු කිරීමට ආරක්ෂක අංශ සඳහා අවශ්‍ය ශක්තිය නොදීමත් නීතීඥ සංගම් විසින් අවනීතියට එරෙහිව බලය පාවිච්චි කළ ආරක්ෂක අංශ දඩයමට පෙරමුණ ගැනීමත් අරාජිකත්වයට පාවඩ එළුවේය.
විමල් වීරවංශ මෙම අරගලය පසුපස සිටින්නේ අරාජිකකරුවන් බව මුල සිට එම බරින් අවබෝධ කර ගැනීමට නොහැකි මට්ටමේ බබෙක් යැයි මම නොසිතමි. එහෙත් ඔහු කළේ එම අරගලය ආණ්ඩුවට තුළ සිටින සිය ප්‍රතිවාදීන් දඩයම සඳහා යොමු කර, කල දුටු කල වළ ඉහගෙන කන්නට සැලසුම් කිරීමය. බැසිල් මහින්ද ආණ්ඩුවෙන් ඉවත් කර ආණ්ඩුවෙි සුක්කානම සියතට ගැනීම ඔවුන්ගේ අරමුණ විය.
සැබවින් ම සජිත් අනුර සුමන්දිරන් කුමාර් ආදීන්ට මෙන් ම විමල්ලාට ද උවමනා වූයේ ආර්ථික පීඩනයෙන් බිහිකරගත් අරගලය නැමති බළලා ලවා කොස් ඇට බාවා ගැනීමටය. සිය පටු අරමුණු සඵල කර ගැනීමය. සරත් ෆොන්සේකා තවමත් උත්සාහ කරන්නේ ඒ සඳහා ය.
පසුගිය අනුප්‍රාප්තික ජනාධිපති තරඟයේ දී අරාජිකත්ව කඳවුරේ ඍජු අපේක්ෂකයා වූ ඩලස්ට, හකීම් බදියුදීන් සුමන්දිරන් රාජිත මනෝ ආදීන් සමග කිසිදු හිරිකිතයක් නැතිව විමල් සහයෝගය දෙන්නේ ද රාජපක්ෂලාට කෙළවීමේ අරමුණ අරාජිකත්වයට වඩා ඒ මොහොතේ පවා ඔහුට වැදගත් වු හෙයිනි. නො එසේ නම් විමල් යනු ඩලස් වැනි රූකඩයක් ජනාධිපති කර මේ රට අරාජිකත්වයෙන් ගොඩගත නොහැකි බව අවබෝධ කරගන්නට නොහැකි තොත්ත බබෙකු බව අප පිළිගත යුතුය.
එසේ නැත්නම් අප කෙතරම් අකමැති පුද්ගලයෙකු වුව ද වැඩ බලන ජනාධිපති ලෙස රනිල් ඒ වන විටත් මේ රටේ අරාජිකත්වය පාලනය කරන්නට නීතිය නැවත ස්ථාපිත කරන්නට ගෙන තිබූ සාධනීය පියවර නොතකා ඩලස් නම් අරාජිකත්වයේ බෙදුම්වාදයේ රූකඩ අපේක්ෂයා කර තබා ගෙන එන්නට කිසිදු සාධාරණ හේතුවක් නැත. එදා ඩලස්ට ඡන්දය දී කැලණි වැන්දා සේ සියලු පව් කමා කරගන්නා ලෙස ඉල්ලමින් විමල් ගෙන ගිය ප්‍රචාරණ රැල්ලට පොහොට්ටුවේ බහුතරය රැවටිනි නම් ඊළඟ පැයේ සිට රටේ රජයන අරාජිකත්වයට විමල්ලා ද ගොදුරු වන්නට ඉඩ තිබිණි.
එසේ වී නම් "මට ඇමැතිකම් එපා මගේ රාජ්‍යය මට දෙන්නැයි" ද කෑ ගසන්නට ද "පෞද්ගලික කෝන්තර පිරිමහින්නට ගොස් මේ රට තවත් හයිටියක් සුඩානයක් ලිබියාවක් නොකරන්නැයි" තමාගෙන් ම ඉල්ලා සිටින්නට ද වන්නේ නැත. සැබවින් ම එය ඔහු වෙන කිසි මන්ද ඒ වන විටත් අශ්වයා පැනගොස් හමාර හෙයිනි. පාර්ලිමේන්තුව ද අරාජිකකරුවන් විසින් නිෂ්ප්‍රභ කර නැතහොත් ඔවුන්ගේ රූකඩයක් බවට පත් කර අවසන් හෙයිනි.
මේ අවස්ථාවෙි හෝ විමල්ලා සිය පෞද්ගලික කෝන්තර සහ බල ව්‍යාපෘති පැත්තකින් තබා සිය උද්දච්ච අධිතක්සේරුව පාලනය කරගෙන රට වෙනුවෙන් කටයුතු කරන්නේ නම් එය කැලණි වැන්දා වගේ ම පිංකමක් වන්නට ඉඩ ඇත. සිය නිවාස ගිනි බත් වෙද්දි ජීවිත තර්ජන සෙවනැලි මෙන් පිටුපස එද්දී නැවත අවස්ථාවට උචිත පුද්ගලයෙකු ජනාධිපති ධූරයට පත්කර රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කටයුතු කළ 225ට මම ස්තූති කරමි. පසුගියදා පාර්ලිමේන්තුව තුළට පැමිණ සිංහනාද කළ විමල් ද තමන්ගේ ව්‍යාපෘතිය පරාජය කළ පිරිසට ස්තූති කළ යුතුය.
මට විමල් සමග හෝ වෙනත් කිසිවෙකු සමග පෞද්ගලික කෝන්තරයක් නැත. අතීතයේ විමල්ලේ භාවිතය අගය කළ ආකාරයට ම ඔවුන් රට වෙනුවෙන් සිට ගන්නා විට එය අගය කරන්නට මම සූදානමින් සිටිමි. අපේ දේශපාලනය විය යුත්තේ සමාජය ඉවකර එහි මතු වන ඕනෑ ම රැල්ලක් මත නැග වීරයින් වීම නොව කෙතරම් දුෂ්කර වුව ද රටට අහිතකර රැල්ලට එරෙහිව උඩුගං බලා පිහිනමින් රට පැත්තේ සිට ගැනීමය.
No comments:
Post a Comment