Friday, October 9, 2015

රැවටුණේ රනිල් නොව ඔබාමාය!

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජපන් පාර්ලිමේන්තුව ඇමතු ලොව තෙවන රාජ්‍ය නායකයා බව පසු ගිය දා මාධ්‍ය අනාවණරය කර තිබිණි. එහෙත් එය පට්ටපල් බොරුවකි. එතුමා ජපන් පාර්ලිමේන්තුව ඇමතු ලොව ප්‍රථම රාජ්‍ය නායකයා ය. එතුමාට අපහාස කළ මෝඩයින් දැන් වහාම එතුමාගෙන් සමාව ඉල්ලා සිටිය යුතුය. 

මීට පෙර බැරක් ඔබාමා, නරේන්ද්‍ර මෝඩි මෙන් ම චීන සහ භූතාන නායකයින් ද දේශන පවත්වා තිබුණේ ජපන් පාර්ලිමේන්තුවේ නොව ජපානයේ  හිරෝහිතෝ අධිරාජ්‍යයා රාජ්‍ය විචාළ රාජ සභාවෙහි ය. ඔබාමා, ෂී පෙන් රාජ සභාව අමතන පින්තූරවල ඇති පැරණි ගෘහ නිර්මාණ ලක්ෂණ එය සත්‍යයක් බව සනාථ කරයි.

තමන්ගේ රටට බෝම්බ දැමූ ඇමරිකාවේ රාජ්‍ය නායකයින් ලවා සිය ගම්භීර පාර්ලිමේන්තුව කිළුටු කර ගැනීමට අභිමාණවත් ජපන් ජාතිකයෝ කිසිසේත් ක්‍රියා නොකරති. එහෙත් ඔබාමා තරහ කර ගෙන බැරි නිසා ඔහුට පැරණි රාජ සභාව ඇමතීමට අවස්ථාවක් ලබා දී තිබිණි. එහෙත් එය රහසක් ලෙස තබා ගැනීම සඳහා ඊට පසු පැමිණි රාජ්‍ය නායකයින්ට ද ජපන් පාර්ලිමේන්තුව ඇමතීමට අවස්ථාව ලබා දෙන බව පවසා ජපනුන් කර ඇත්තේ පැරණි රාජ සභාවේ කතාවක් කරවා ඔවුන් සතුටු කරවීම ය.

එහෙත් නළුවෙක් නොව මොළයක් බව පැවසෙන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එසේ රැවටිය නොහැකි බව ජපනුන් දැන සිටි අතර ඔහුගේ මාමා වන ජේ. ආර්. ජයවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ජපානය වෙනුවෙන් පෙනී සිටිමේ ගෞරවය ආරක්ෂා කිරීමට ද ඔවුන්ට අවශ්‍ය විය.
එහෙයින්ය; ඔවුන්ගේ සැබෑ පාර්ලිමේන්තුව අමතන ප්‍රථම විදේශ රාජ්‍ය නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරා ගනු ලැබූවේ. එය අපට මහත් ආඩම්බරයකි. 

කෙසේ වුව ද මේ සමඟ ජපානය සහ ඇමරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ඇති වී තිබේ. ඒ ජපානය සිය රාජ්‍ය නායකයා ලවා ජපාන පාර්ලිමේන්තුව යැයි පැරණි රාජ සභාව ඇමතවීම සිය රටට කළ මදි පුංචිකමක් ලෙස ඇමරිකාව සලකන නිසා ය. අනෙක් අතට තම අගමැතිවරයා ඇමතුවේ ජපන් පාර්ලිමේන්තුව නොව එහි රැස්වීම් ශාලාවක රැස් වූ මන්ත්‍රී පිරිසක් යැයි ලංකා ආණ්ඩුව වරදවා තේරුම් ගැනීම නිසා එම සංචාරය නිමා වනවාත් සමඟ ජපන් වාහනවල බදු ගණන් ඉහළ දමා තිබේ. 

ඔබාමා මහතාට මෙන් ම රනිල් මහතාට ද සැබෑ තත්ත්වය අවබෝධ කර ගැනීමට මේ ලිපිය ප්‍රමාණවක් යැයි සිතමි. සත්‍ය අවබෝධ කර ගෙන ජපන් වාහනවල බදු පහත දමා අඩුවට වාහනයක් ගැනීමට එජාප ආණ්ඩුවක් උදා වන තුරු ස්කුටියක නැඟී වැස්සේ තෙමුණු සුදු නංගිටත් ඒ සුන්දර සිහින දුටු සුදු අයියාලාටත් මල්ලිලාටත් අවස්ථාවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.


No comments:

 
සිය රට දේ සිරි සැප දේ !