Tuesday, October 6, 2015

ප්‍රජාතන්ත්‍රවාදය රැකගමු ද? ඇමරිතන්ත්‍රවාදය පිළිගමු ද?

සිරියාවේ ඉල්ලීමක් හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීමක් හෝ නොමැතිව අවුරුද්දක පමණ කාලයක් ISISලාට පහර දෙන්නේ යැයි කියමින් සිරියාවට බෝම්බ හෙළු ඇමරිකාවට, සිරියානු රජයේ ඉල්ලීම සහ සිය රටේ අනුමැතිය සහිතව රුසියාව ISISලාට පහර දෙන විට මේ තරම් රිදෙන්නේ ඇයි? ඇමරිකාව සැබවින් ම ISISලාට එරෙහි නම් කළ යුත්තේ අවුරුද්දක් තිස්සේ බෝම්බ හෙළා තමන්ට කිසිදු ප්‍රගතියක් අත්කර ගත නොහැකි වූ කටයුත්ත සාර්ථක කර ගැනීමට රුසියාවට සහාය වීම නොවෙද? එහෙත් අවුරුද්දක් තිස්සේ ISISලාට පහර දෙන බව පවසමින් එය මර්දනයට නොව වර්ධනයට කටයුතු කළ ඇමරිකාව, රුසියාව සිය ප්‍රථම ගුවන් ප්‍රහාරය එල්ල කිරීමට ද පෙර රුසියානු ප්‍රහාරවලින් සාමාන්‍ය සිරියානු වැසියන් මියෙන බව ප්‍රකාශ කිරීම අප අවබෝධ කර ගත යුත්තේ කෙසේ ද? එම ප්‍රකාශයට අත්පොළසන් දෙන සෞදි, කුවෙට්, තුර්කි සුන්නි ත්‍රස්තවාදය අප තේරුම් ගෙන තිබේ ද? එම ප්‍රකාශය නිකුත් කර පැය ගණනක් ඇතුළත ඇෆ්ගනිස්ථානයේ රෝහලකට බෝම්බ දමා එම රෝහල විනාශ කර 20 අධික පිරිසක් මරා දැමූ ඇමරිකාව මිනිස් ජීවිතවලට ලබා දී ඇති වටිනාකම කුමක් ද? 

එම ප්‍රහර එල්ල වූ රෝහල් සේවකයෙකු BBCයට ප්‍රකාශ කර ඇති පරිදි පැයක පමණ කාලයක් එම රෝහලට ප්‍රහාර එල්ල කර තිබේ. එහෙත් රෝහල් පරිශ්‍රයේ තාලිබාන් හෝ කිසිදු ත්‍රස්තවාදියෙකු සිට නැත. ඔහු ප්‍රකාශ කරන පරිදි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සිව් දෙනෙකු ප්‍රහාරය සමඟ පණ පිටින් දැවී ගොස් තිබේ. වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය 10ක් ද රෝගීන් 10ක් පමණ ද මිය ගොස් ඇත. එහෙත් ඇමරිකාවේ ම්ලේච්ඡ ත්‍රස්තවාදයට එරෙහිව සුන්නි ත්‍රස්තවාදීහු කිසිවක් නොකියති. මේ අනුව ඇමරි ත්‍රස්තවාදය සහ සුන්නි ත්‍රස්තවාදය ලොව සියලු සංකල්ප නැවත අර්ථ කතනය කරමින් සිටින බව පැහැදිලි ය. ඔවුන්ගේ අර්ථයෙන් ත්‍රස්තවාදය යනු අන් කිසිවක් නොව ඇමරිකාවට සහ සුන්නි ත්‍රස්තවාදය එරෙහි වීම ය. ඔවුන්ගේ අභිලාෂයන්ට පටහැනිව ක්‍රියා කිරීම ය. එසේ ක්‍රියා කරන විට තම දේශපාලන සතුරන් සකල විධ මානව හිමිකම් කඩ කරන බව පවසමින් BBC, CNN සහ අල්-ජසීරා අති දැවැන්ත ත්‍රස්ත ප්‍රචාරණ ජාලයක් ලෝකයට මුදා හරින අතර ඉන් සැබෑ ත්‍රස්තවාදීන්, විමුක්තිවාදීන් බවට ද ඊට එරෙහිව සටන් කරන පිරිස් ත්‍රස්තවාදීන් බවට ද පත් කෙරේ. මේ දැවැන්ත ප්‍රචාරණ ජාලයට ලෝක ජන මනස වහා ගොදුරු වන අතර ඔවුහු ඉන් සිහි විකල්ව එය අනුමත කරමින් ඊට පක්ෂව ක්‍රියා කරති. ලෝක ජනතාව නැවත සිහි එල්බ ගන්නා විට සියලු විනාශයන් සිදු වී හමාර ය. 

මේ තත්ත්වය නිවැරදිව අවබෝධ කර නොගතහොත් රුසියාව, සිරියාවේ ISISලා මර්දනයට එරෙහි මේ ප්‍රධාන ත්‍රස්ත කල්ලි දෙක ගෙන යන ප්‍රචාරණය ද කෙළවර වනු ඇත්තේ මහා විනාශයක් ඉතිරි කරමිනි. ඇමරිකාව ප්‍රමුඛ බටහිර තමන්ගේ දේශපාලන අභිලාෂයන්ට අනුව නො හැසිරෙන, ඊට එරෙහි වන සිරියානු අල්-අසාද් පාලනය බිඳ දැමීමට ISIS ඇතුළු ත්‍රස්ත කල්ලි නිර්මාණය කර රට අස්ථාවර කර තිබේ. ISIS කල්ලියේ වැඩ කරන කුළී හේවායන් සිය ස්වාමීවරුන්ගේ අභිලාෂ වෙනුවෙන් ISIS ක්‍රියාකාරකම් මෙහෙයවයි. ඒ සඳහා සුන්නි-ෂියා ගැටුම ඇමරිකාව මැනවින් භාවිත කරයි. අල්-අසාද්ගේ ෂියා පාලනය බිඳ දමා සිරියාවේ සුළුතර සුන්නි පිරිස අතට බලය ලබා ගැනීම සඳහා ලෝක සුන්නි ත්‍රස්තවාදය පිස්සු වැට්ටීම මගින් සෞදි, කුවෙට්, තුර්කි සහාය දිනා ගැනීමට ඇමරිකාව සමත්ව තිබේ. සිරියානු විපක්ෂය යැයි බටහිර මාධ්‍ය පුල පුලා පවසන්නේ මේ සුන්නි ත්‍රස්තවාදය විසින් පෝෂණය කර මෙහෙය වනු තබන ත්‍රස්ත කල්ලි වේ. එහෙත් එරට පැවති ජනාධිපතිවරණයෙන් 80%කට වැඩි කැමැත්තකින් බලයට පත් අසාද්ට සිය රට පාලනය කිරීමට ඇමරි සහ සුන්නි ත්‍රස්තයෝ ඉඩ නොදෙති. ඒ හුදෙක් ඔවුන්ගේ දේශපාලන අභිලාෂයන්ට අල්-අසාද් පාලනය අහිතකර නිසා පමණි. මේ අනුව නූතන මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය යනු බටහිර විසින් සිය දේශපාලන සතුරන් මර්දනය සඳහා භාවිත කරන සමූල ඝාතන පරමාණු බෝම්බයකි. 

මේ වන විට රුසියානු ප්‍රහාර හමුවේ අල්-අසාද් පාලනය බිඳ දැමීමට ඇමරි-සුන්නි කල්ලිය ඇටවූ ISIS කෙමන දෙදරා තිබේ. එහි කුලී හේවයින් හය සියයක් පමණ නැවත යුරෝපයට පැන යාමට සැරසෙති. ප්‍රහාරය සමඟ ISIS මධ්‍යස්ථාන, සන්නිවේදන මධ්‍යස්ථාන, යුද ටැංකි විනාශ වී ඇති අතර බ්‍රිතාන්‍ය යේ සිට ක්‍රියාත්මක සිරියානු මානව හිමිකම් සංවිධානයක් ප්‍රකාශ කළ පරිදි එක් ප්‍රහාරයකින් ISIS ත්‍රස්තයින් 12 දෙනෙකු මිය ගොස් තිබිණි. ඇමරි-සුන්නි ත්‍රස්තවාදයට එරෙහි සියලු දෙනා මේ අවස්ථාවේ කළ යුත්තේ ඔවුන්ගේ ව්‍යාජ සාමවාදී වෙස් මුහුණු ගලවමින් සැබෑ මිනි මරු මුහුණ ලොව හමුවේ නිරුවත් කර සිරියාවේ ජනතා කැමැත්තෙන් පත් වූ පාලනය ආරක්ෂා කර ගැනීම සඳහා ජන මතයක් නිර්මාණය කිරීම ය. එසේ නොවුණහොත් ඉක්මණින් ම ප්‍රජාතන්ත්‍රවාදය මිය ගොස් ඇමරිත්‍රන්තවාදය උපදිනු ඇත. ඇමරිතන්ත්‍රවාදය යනු ඇමරිකන් කැමැත්ත සහිත පාලක ගැත්තන් විසින් ලොව අනෙකුත් රටවල් පාලනය කිරීම ය.    

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !