Wednesday, October 21, 2015

කුමාරසිංහ සිරිසේන යනු පියදාස සිරිසේනගේ මල්ලී ය

ලංකාවට යහ පාලන වසන්ත කාලය උදා වන විට ටෙලිකොම් සභාපතිගේ වැටුප ලක්ෂ 2කි. කුමාරසිංහ සිරිසේන මහතා සභාපතිත්වයට පත් වු වහා එය ලක්ෂ 9 බවට පත්ව පසුව ලක්ෂ 30ක් බවට පත් විය. සියලු දීමනා සමඟ ලක්ෂ 90ක් ඔහුට මාසිකව ලැබිණි. දැන් ඔහු වැටුප ලෙස රුපියල් කෝටියක් ඉල්ලා සිටින බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ දූෂිත පාලන සමයේ බොහෝ දුක් විඳිමින් ඉතා ම දුෂ්කර ජීවිත ගත කළ රාජ්‍ය සේවකයෙකු රට නිවැරදි මාවතේ ගමන් කරන මෙවන් කාලයක හොඳ වැටුපක් ඉල්ලා සිටීම පිළිබඳ ඇතැමුන් කුහක ලෙස අදහස් ප්‍රකාශ කරන්නේ ඇයි ද යන්න ජනතාවට ගැටලුවකි.

රටේ ජනතාවට තේ දළු කිලෝවක් රුපියල් 150-160ක මිලකට අලෙවි කළ හැකි රටක, වී කිලෝවක් රුපියල් 90-110ට අලෙවි වන රටක, රබර් ෂීට් කිලෝවක් රුපියල් 750ට වැඩි මිලකට අලෙවි වන රටක එවැනි ඉඩකඩම් දේපොල කිසිවක් නැති අසරණ රාජ්‍ය සේවකයෙකු රුපියල් කෝටියක වැටුපක් ඉල්ලුවේ යැයි කෝපවන්නෝ යහ පාලනයට නින්දා නොකරත් ද? අනෙක් අතට මේ ඔවුන් නින්දා කරන්නේ ජනවාරි 08 වෙනිදා වනතුරු විළිරුදාවෙන් මොරදී බිහි කර ගත් කුළුඳුල් යහ පාලන නොදරුවාට නොවෙද?

අනෙක් අතට මේ කුමාරසිංහ සිරිසේන යනු අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරා බවට ගෙන යන ප්‍රචාරය ද මහා බොරුවකි. සරල දිවිපෙවෙතක් ගත කරන එතුමා ජනාධිපති මන්දිරයේ වාසය කිරීම පවා ප්‍රතික්ෂේප කළ සැබෑ මහත්මයෙකි. එතුමා රාජපක්ෂ පවුල් පාලනයට මෙන් ම ඕනෑම පවුල් පාලනයකට එරෙහිවන ජන නායකයෙකි. නාස්තියට, ගසා කෑමට හෝ වංචාවට එතුමාගෙන් කිසි බුරුලක් නැත.

කෙසේ වුව ද මේ කුමාරතුංග සිරිසේන මහතා යනු පියදාස සිරිසේන නැමැත්තාගේ මල්ලි වීමට බොහෝ දුරට ඉඩ තිබේ. ඔහු විමලතිස්සි හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය නමින් පොතක් ද ලියා තිබේ. ඒ සිරිසේන මුදල් පසු පස්සේ දිව ගියා පමණක් නොව හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටි වෙත ද ඇස ගසා ගෙන සිට තිබේ. කුමාරතුංග සිරිසේන පියදාස සිරිසේනගේ සොහොයුරාා බව සනාථ කිරීමට මේ සාධක ප්‍රමාණවත් ය. එහෙයින් ලොවට ම ආදර්ශයක් වූ සිරිසේන ජනාධිපතිවරයාට අවලාද නඟන කණ්ඩායම් පිළිබඳ ජනතාව අවදියෙන් සිටිය යුතු ය.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !