Wednesday, October 7, 2015

මානව හිමිකම් නමැති ආයුධය!

ඇමරිකාව ඇෆ්ගනිස්ථානයේ කුන්දූස් නගරයේ රෝහලකට බෝම්බ දාලා කාර්ය මණ්ඩලයේ 12ක් සහ රෝගීන් 10ක් සමඟ 22ක් මරණයට පත්වුණේ ය. තව 30 දෙනෙක් අතුරුදහන් වී ඇති බව ඇතැම් මාධ්‍යවල කියැවිණි. මෙය අත්වැරදීමක්ලු. ඔබාමා පූර්ණ පරීක්ෂණයක් ද කරන්නේලු. මේ පරීක්ෂණයෙන් රෝහලේ මිය ගිය කාර්ය මණ්ඩලය සහ රෝගීන් වැරදිකරුවන් වෙන්න තියෙන ඉඩ බොහොම වැඩිය. දැනටමත් ඔවුන් දඩුවම් ලබලා නිසා ලොකු ප්‍රශ්නයක් නොවනු ඇත.

ඒ කොහොම වුණත් මෙවන් සිද්ධියක් ඇමරිකාව සහ බටහිර විරෝධි රටක් අතින් සිදු විණි නම් මේ වන විට ලෝක දේශපාලන නායකයින්ගේ සහ සංවිධානවල හැසිරීම කුමක් විය හැකිව තිබුණි ද? BBC, CNN, අල්-ජසීරා ඇතුළු මාධ්‍යවල හැසිරීම කුමන ස්වරූප ගනු ඇත් ද? මේ කොදෙව්වේ ජීවත් වන NGO උගතුන් කුමක් කරනු ඇත් ද?

එසේ වී නම් අදාළ රටේ නායකයා ජිනීවා රැගෙන යාමට අවශ්‍ය සියලු මතවාද මේ වන විට සමාජයට මුදා හැර අවසන් ය. ඊට එරෙහිව ලොව පුරා ජනතාව වීථි බස්වා අවසන් ය. දහස් ගණනින් පෙත්සම්වලට අත්සන් තබා අවසන් ය. බෑන් කී මූන් පැයෙන් පැයට නිවේදන නිකුත් කරනු ඇත. හියුමන් රයිට්ස් වොච්ලාට වෙන වැඩක් නැති වනු ඇත. ලංකාවේ උගත්තු ලිප්ටන් වටරවුමේ නිහඬ උද්ඝෝෂණයක් කර අදාළ රටේ තානාපති කාර්යාලයට විරෝධතා සන්දේශයක් රැගෙන යනු ඇත. අදාළ රටේ පාලකයා කිලර්, බුචර් වැනි නම්වලින් හඳුන්වමින් ලෝකය විනාශ කරන්නට පැමිණි අති භයානක චරිත ලෙස හුවා දක්වනු ඇත. එහෙත් මේ අවස්ථාවේ ඒ කිසිවක් සිදු නොවේ.

එසේ වන්නේ ඇයි? ඒ අන් කිසිවක් නිසා නොව මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ආදි සියල්ල ලෝක බලවතුන් සිය දේශපාලන සතුරන් දඬයම් කිරීම සඳහා භාවිත කරන භයානක ආයුධ නිසා ය. මේ වන විට ලෝකයේ මානව හිමිකම්, භාෂණ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ආදිය කිසියම් ජනතාවකට හිමි යැයි බටහිර සහ ඇමරිකාව පිළිගනු ලැබීමට නම් ඒ රටවල පාලකයින් ඇමරිකන් සහ බටහිර ගැති නොවිය යුතු ය. ඇමරිකන් අභිලාෂයන්ට පටහැනිව ක්‍රියා කළ යුතු ය. එකල්හි ඒ රටේ පාලකයින් ජනතාව පෙළන බවට වසර ගණනාවක් තිස්සේ ලෝක මට්ටමින් මතවාද නිර්මාණ කරනු ලැබේ. විරුද්ධ පක්ෂ කණ්ඩායම්වල රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා ඇමරිකාව විසින් නොමිලේ ආයුධ සහ පුහුණුව ලබා දෙනු ලැබේ. ඒ රටවල ප්‍රජාතන්ත්‍රවාදී පාලකයින් පැන්නීම සඳහා ගැටුම් නිර්මාණය කරනු ලැබෙන අතර ඒවා මර්දනයට අදාළ ආණ්ඩු ක්‍රියා කරන විට රටේ ජනතා මර්දනය කරන බව පවසමින් තමන් ආධාර කළ ත්‍රස්ත කල්ලි ආරක්ෂා කරනු ලැබේ. දැන් සිරියාවේ සිදු වන්නේ එයම ය. කෙසේ වුව ද කිසියම් රටක් ඇමරිකාවේ මිතුරන් නොවුණ ද ඇමරිකාවේ දේශපාලන සතුරන්ගේ සතුරන් නම් ඒ රටවල ජනතාවට අර පැකේජය නොමිලේ ලැබේ.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !