Thursday, October 1, 2015

ජනපති ධූරයට අපහාස කරන්නේ කවුද?

ජනපති ධුරයට අපහාස කළේ යැයි සම්පත් අතුකෝරළ සිරගත කර තිබේ. ඔහු දකුණු පලාත් සභා මන්ත්‍රීවරයෙකි. මාධ්‍ය නිදහස, මානව අයිතිවාසිකම්, නිදහස් අදහස් දැරීමේ අයිතිය ගැන නරිවාදන් දෙඩු නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ප්‍රජාව සහ බඩගෝස්තරවාදී ඊනියා උගත්තු ඩොලර් උස්මුරුත්තාවෙන්දෝ එහෙන් මෙහෙන් පුංචි පුංචි බලු කෙඳිරිලි හඬක් දෙකක් නඟා යළි නින්දට වැටෙති. ඒ එවුන් පැතූ දැන් මාධ්‍ය නිදහස ද ප්‍රකාශන නිදහස ද ස්ථාපිත වී ඇති හෙයින් විය යුතු ය.

පසු ගිය ආණ්ඩු සමයේ ෆේස් බුකියේ මහින්ද විරෝධීන් මේ චෝදනාව යටතේ අත් අඩංගුවට ගත්තේ නම් මත්තල වී ගබඩාව වැනි නව සිරගෙවල් තැනීමට සිදුවනු ඇත. කෙසේ වුව ද එසේ එකෙකු අත් අඩංගුවට ගත්තේ නම් මෙරට නිදහස් මාධ්‍ය ව්‍යාපාරික රංචුව, NGO කල්ලිය, ඊනියා උගතුන් ඇතුළු පල්ලිය ඇතුළු සකලවිධ බලවේගව එක පෙළට ලිප්ටන් වටරවුමෙහි, කොටුව දුම්රිය පොළ ඉදිරිපිට බඩ පිනුම් උඩ පිනුම් ගසනු දැකිය හැකිව තිබිණි.

ඇතැම් තනතුරුවලට බෙහෙවින් අපහාස කරන්නේ, නින්දා කරන්නේ අන් අය නොව ඒ තනතුරු දරන අයම ය. යම් යම් තනතුරු කටුස්සාගේ කරේ රන් බැන්දා මෙන් වූ අය ය. රටේ ගෞරවනීය තනතුරු රට්ටු හිනස්සන විකට තනතුරු බවට අපහරණය කළ අයම ය. ඒ අර්ථයෙන් ගත් කල ජනපති ධූරයට අපහාස කිරීමේ චෝදනාව යටතේ සිරගත කළ යුත්තේ සම්පත් අතුකෝරළ නොවන බව නම් ඉතා ම පැහැදිලි ය.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !