Monday, October 12, 2015

එන්න අපි පිල්ලෙයාන්ට ගල් ගහමු!

2005 වසර යනු කොටි ත්‍රස්තවාදය දරුණු ලෙස ක්‍රියාත්මක වූ සමයකි. එකල සිදු වූ ඝාතන බොහෝ ය. ඒ සියල්ල ප්‍රභාකරන්ගේ අණින් කළ ඒවා ය. ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නමැති පොඩි එකා ළමා සොල්දාදුවෙකු ලෙස කොටි සංවිධානයට බඳවා ගන්නේ ද ඔහුට පිල්ලෙයාන් යනුවෙන් නමක් ලබා දෙන්නේ ද ප්‍රභාකරන්ගේ අණ අනුව ය. මොළ සෝදා කුඩා දරුවන් වූ චන්ද්‍රකාන්තන්ලා පමණක් නොව පමණක් නොව විනයාගමූර්ති මුරලිදරන්ලා මිනි මැරීම සඳහා යොමු කළේ ප්‍රභාකරන් ය. ඒ ම්ලේච්ඡ කටයුතු අපේ ළමයින්ගේ දඟකාරකම් ලෙස සලකා කටයුතු කළේ දෙමළ ජාතිවාදී දේශපාලකයෝ ය. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය සහ ජාත්‍යන්තර සහාය ලබා දුන්නේ සුරේන් සුරේන්ද්‍රන්ලා ප්‍රමුඛ දෙමළ ඩයස්පෝරාවයි. එසේ බලන කල චන්ද්‍රකාන්තලා යම් අපරාධයක් කළේ නම් ඊට සහාය දුන් දෙමළ ජාතික සංවිධානය ද දෙමළ ඩයස්පෝරාව ද වගඋත්තරකරුවන් විය යුතු ය.

එහෙත් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතා 2005 වසරේදී ඝාතනය සම්බන්ධයෙන් සැක පිට හිටපු නැගෙනහිර පළාත් මහ ඇමති චන්ද්‍රකාන්තන් පමණක් අත් අඩංගුවට ගෙන තිබේ. ඒ ඔහු ප්‍රජාතන්ත්‍රවාදයට පැමිණීමට පෙර කළ වරදකට ය. එසේ අත්අඩංගුවට ගන්නා ලද්දේ දෙමළ ජාතික සන්ධානය ද දෙමළ ඩයස්පෝරාව ද සිය මිතුරන් ලෙස සලකන ආණ්ඩුව විසිනි. චන්ද්‍රකාන්තන්ලා අත්අඩංගුවට ගත් ආණ්ඩුවේ විදේශ ඇමතිවරයා නොබෝදා සුරේන් සුරේන්ද්‍රන්ගේ එංගලන්ත නිවසේ රාත්‍රී සම්භාෂණයකට පැමිණි බව වාර්තා වේ. චන්ද්‍රකාන්තන්ලාට අපරාධ කිරීමට අනුබල දුන්නේ සුරේන්ද්‍රන්ලාගේ දෙමළ ඩයස්පෝරාවයි. ඒවා සාධාරණීකරණය කළේ දෙමළ ජාතික සන්ධානයයි. 

මේ උභතෝකෝටිකය අප තේරුම් ගන්නේ කෙසේ ද? සැබවින් ම මේ අත්අඩංගුවට ගන්නේ ඔවුන් සඳහන් කර ඇති අපරාධය නිසාම ද? නො එසේ නම් විනයාගමූර්ති මුරලිදරන් සමඟ කොටි සංවිධානයෙන් බිඳී අවුත් ශ්‍රී ලංකා හමුදාව සමඟ එක්ව කොටි පරාජය කරන යුද්ධයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ නිසා ද?ජනවාරි 08 වෙනිදා සිට බන්ධනාගාරව ගතව සිටි දරුණු ගණයේ කොටි නිදහස් කළ ආණ්ඩුව චන්ද්‍රකාන්තන්ලා පසුපස හඹා යන්නේ ඇයි? මෙවැනි චෝදනා යටතේ කොටින්ට ද්‍රෝහි වූ නිසා ම විනයාගමූර්ති මුරලිදරන් වුව අත් අඩංගුවට ගත හැකි ය. බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වූ ජය ශ්‍රී මහා බෝධියට ප්‍රහාර එල්ල කිරීම ඒ සඳහා කදිම චෝදනාවකි. එහෙත් සැබවින් ම ඔවුන් අත් අඩංගුවට පත් වන්නේ තිස් වසරක් මේ රට වෙළා ගෙන පැවති ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට කටයුතු කළ නිසා ය. ඊට අනුබල දුන් නිසා ය. මහින්ද රාජපක්ෂ සමඟ සිටගත් නිසා ය. 

එහෙයින් ප්‍රභාකරන්ගේ පුතා බාලේන්ද්‍ර වෙනුවෙන් කිඹුල් කඳුලු හෙළු මේ රටේ මානව හිමිකම් අයිතිකාරයින්ට කිසි විටෙක චන්ද්‍රකාන්තන්, මුරලිදරන් වැනි එදවස ළමා සොල්දාදුවන් වූ අහිංසකයින්ගේ ලමා අයිතිවාසිකම් සිහිපත් නොවනු ඇත. ඔවුන්ගේ ළමා කාලය උදුරා ගෙන අත රැඳී පෑන පොත වෙනුවට තුවක්කුව සහ බෝම්බය ද ගෙලට සයනයිට් කරල ද ලබා දුන් ප්‍රභාකරන් ද දෙමළ ජාතික සන්ධානය ද දෙමළ ඩයස්පෝරාව ද කිසිවෙකු ප්‍රශ්න නොකරනු ඇත. ඊනියා ළමා අයිතිවාසිකම් වෙනුවෙන් නොව ශ්‍රී ලංකා හමුදාවට අපහාස කිරීමට ඔවුන් රටට දිනා දුන් ජයග්‍රහණය අවප්‍රමාණ කිරීමට බාලේන්ද්‍ර ගැන කවි ලියු කවීන් ඊට සුදු කොඩි එසවූ මානවහිතවාදීන් කවි නොලියනු ඇත. සුදු කොඩි නො උස්සනු ඇත.   ඉතින් අපි සම්බන්ධන්ට සහෝදරත්වයේ දෑත් දිගු කරමු. සුරේන්ද්‍රන්ලා සමඟ සව්දිය පුරමු. පිල්ලෙයාන්ට ගල් ගහමු. කරුණාට ගල් ගහමු. 

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !