Tuesday, January 26, 2010

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න

මැතිවරණ ප්‍රතිඵල අද මැදියමේ නිකුත් වනු ඇත. මම හවස පොඩි නින්දකින් සැනසුනේ අද ටිකක් රෑ වන තුරු නොනිදා සිටිය යුතු හෙයිනි.මේ අපූරු සිහින දුටුවේ ඒ නින්දේ දී යැ.

එක සිහිනෙක අනුර කුමාර හිටපු සහෝදරයා (ඔහු සහෝදයා වූයේ යූඇන්පිය සමග එකගෙයි කෑමට පෙර හෙයින් දැන් හිටපු සහෝදරයා යැයි පවසමු)දත් කූරුකමින් මැදියම පහන් කරමින් හුන්නේය. බලාගත් අත බලාගෙන මංගල, හකීම්, මනෝ ගනේෂන්,සම්බන්ධන් හුන්නෝය. රනිල් නම් චුවිම්ගම් එකක් හපමින් සැහැල්ලුවෙන් හුන්නේය. හිස් කොලයක් මේසය මත ද පෑනක් අතේ ද විය. කඳුලු පිස දා ගෙන සුසුමක් හෙළා ලියන්නට විය මෙසේ.

"මේක ජනතා මතය රජය නිල බලය මැර බලය යොදා ගෙන අමු අමුවේ කොල්ලකෑමක්. ඉතිහාසයේ අප දැකපු දූෂිත ම මැතිවරණය මේක. මේ සැබෑ ජන මතය නෙමේ. විකෘතියක්. රාජ්‍ය මාධ්‍ය කෙතරම් නින්දිත විදිහට පාවිච්චි කළා ද කිව්වොත් මැතිවරණ කොමසාරිස්ට සිය නිසි බලධාරියා ඉවත් කර ගන්න වුණා.රජය ඉතාම නින්දිත විදිහට විපක්ෂයේ අපේක්ෂකයාට මඩ ගැහුවා. ඒ හරහා ජනතාවගේ ඇස්වලින් තමන්ගේ හොරකම් වහගන්න ආණ්ඩුවට හැකි වුණා.අපි අපේ පන්සලක දේව පූජාවකට ගෙනැවිත් තිබූ ටී 56 තුවක්කු, බෝම්බ මේ ආණ්ඩුව අත් අඩංගුවට අරන් ඒක දේශපාලන වාසි ගන්න පාවිච්චි කළා.මොන තරම් නින්දිතද?අපි ඡන්ද වැඩ කරලා මහන්සි නිසා රට පු‍්‍රා තියෙන පූජනීය ස්ථාන වන්දනා කරන්න අපේ අය යැව්වා. මේ ආණ්ඩුව මොකද කළේ අපි ඡන්ද දූෂණවලට යනවා කියලා රටට ම කිව්වා.අපි සිරිමා සහ පේමදාස ජනාධිපතිවරණය වෙලාවේ හැසිරුණු විනීත විදිහ දන්න රාජපක්ෂ ජුන්ටාව අපිට ඉතාම දරුණු විදිහට මඩ ප්‍රහාර එල්ල කළා.අපි කියන්න ඕන මහින් ද මහත්තයට මේක අවසානය නෙමේ ආරම්භය කියලා.

නමුත් ආණ්ඩුව නිතර කියපු කතාවක් එයාලා ජනාධිපතිවරණයට එන්නේ වැඩි ඡන්ද ලක්ෂ 25ක් එක්ක කියලා. ඒක මොනතරම් ලොකු බොරුවක් ද? ආණ්ඩුවට මහජනතාව බය ගන්වලා,පහරදීලා, මරලා මර්දනය කරලා ලබා ගත්තේ වැඩි ඡන්ද 24 99 999ක් විතරයි. ඒ කියන්නේ ආණ්ඩුවේ බහින කලාව ආරම්භ වෙලා. එදා ආණ්ඩුව සමග සිටි ජනතාව අද ආණ්ඩුව අතහැරලා ගිහින්.ඇත්තට ම ජනතාව මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. අපි ඊළඟ මහ මැතිවරණයේ දී මේ ආණ්ඩුව ගෙදර යවන්න ජනතාව පෙළ ගස්වනවා."

"මේ තමුසේ අපිට කියන්න දෙයක් ඉතුරු කරන්නේ නැද්ද? ඔය ඇති හොඳටම" යැයි බෙරිහන් දෙමින් මංගල,රනිල්,හකීම්,සම්බන්ධන් කඩා පැන්නේ මේ අතරය.

"හරි හරි අපි මේ ටික බෙදා ගෙන කියමුකෝ"

හතර අතින් ඇසෙන රතිඤ්ඤා හඬ නොවන්නට ඒ සිහිනය මට තව බොහෝ වෙලා දකින්නට ඉඩ තිබිණි.ඒ අස්සේ නන්නදා මාලනි අපේ රේඩියෝ කටුවට වී මෙසේ ගයන්නට වූවාය.
"මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න"
ඒ සමග මට අනුර කුමාර හිටපු සහෝදරයාගේ මුහුණ නැවතත් මැවී පෙනිණි.

2 comments:

Thejan said...
This comment has been removed by the author.
Thejan said...

තැපැල් ඡන්ද ප්‍රතිපල වලින් නම් මිනිසුන්ට මුල අමතක වී නැති බව දකිමි... සතුටුයි...

thejan

lankanthoughts.wordpress.com

 
සිය රට දේ සිරි සැප දේ !