Thursday, January 14, 2010

මහා නාග කතා වස්තුව


තවද එක් සමයෙක්හි රජගහ නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය විචාරන කල මිහින් නම් අහිකුණ්ඨකයෙක් සිය හීලෑ නාගයා නගරට ගෙන ගොස් නටවා ජීවිකාව කර ගත්තේ ය. මිහින්ගේ නාළා හඬට සුන්දර රැඟුම් පාන නාගයා ටික දිනකින් මුළු නුවර ම ජනප්‍රිය විය. තම තමන්ට විවේක ඇති විට මිහින් නයි නටවන්නා වෙත පැමිණ නාග රැගුම් බලා සතොසින් කහවණුයෙක් දෙකෙක් දී යෑම නුවරු පුරුද්දක් කරගත්හ. මෙහෙයින් කෙමෙන් මිහින්ගේ අතමිට සරු විය. හෙතෙම ඒ මුදලින් සිය නාගයා රස මසවුලෙන් සනහා සිය සුතඹුවන් සන්තර්පණය කරමින් යුතුකම් ඉටුකරමින් යෙහෙන් දිවි ගෙවීය.

එකල ඒ නුවර ම තවත් තැනක නයි නටවන්නකු දෙන්නෙකු සිටිය ද උන් වෙත එකදු වැසියෙක් ගියේ නොවේ. කෙමෙන් කෙමෙන් සිය දිවි ගැටගසා ගැනීම උන්ට මහ සටනෙක් විය. ආ උන් පවා මෙකල කලාකකරුවන්, විද්වතුන් මෙන් උන්ට සමච්චල් බසින් සංග්‍රහ කර යන්ට හැරුණෝ ය. මේ ගැන මුසුප්පුවට පත් නයි නටවන තෙමේ තම නැටුමින් සන්තෝෂ නොවන්නේ මන්දැයි නුවරුන්ගෙන් විමසූහ. එකල උන් මෙසේ පිළිතුරු දෙති.

ඇදුර තුටු නො වෙතියි
නො සිත'ප සිප් නො දනිතියි
සිතිමු සැරසීතියි
නොදත්තෙමු නා නැටුම් පාතියි

මේ තෙපුලින් මහත් නින්දාවට පත් ඒ නයි නටවන්නෝ පෙර කී මිහින් නයි නටවන්නාගේ සමත්කම් අසා උන් කෙරෙහි වෙර බැඳ ගත්හ. තම ජීවිකාව අහිමි කළේ මිහින්ය යන බොළඳ සිතුමෙන් අඳ ව ගිය උන් සිය නැටුමෙහි අඩු තැන් සදා ගනු වෙනුවට මිහින් නයි නටවන්නා විනාශ කළ හැකි මං සොයමින් දිවා රෑ නිදි නො ලබමින් මහත් තැවුලින් දවස් ගෙවන්නට විය.

මේ කිසිවක් නොදත් මිහින් නයි නටවන්නා පෙර සේ සතුටින් සිය ජීවිකාව කර ගෙන ගියේ ය. නාගයා ද උතුරා යන ස්වාමි භක්තියෙන් යුතු ව දින දින නේක අසිරිමත් රැඟුම් පා නුවරුන්ගේ සිත් දිනමින් ද ස්වාමියා වෙත යසස ම සදමින් ද හුන්නේ ය. මිහින් කෙරෙහි පමණක් නො ව උහුට යසස සදන නාගයා නෙරෙහි ද මහත් වෙර බැඳ ගත් වෛරී නයි නටවන්නෝ මුන් කෙසේ වනසමි දැයි සහස් අත කල්පනා කරන්නට වූහ. උන් දෙදෙන අතර ඇති තර බැඳීම කෙසේ හෝ වනසා මිස සිය පාපිෂ්ට ආශා සතපා ගත නො හැකි බැව් දැන ගත් වෛරී නයි නටවන්නන් ඒ බැඳුම් බිඳ මිහින් ද නාගයා ද විනාශ කරලන්නට මර උගුලෙක් ඇටවීය. ඒ උපාය නම් නාගයාගේ අසමත්කම්, දූෂණ ගැන කියා මිහින්ගේ සිත නාගයා කෙරෙහි බිඳවීම ය. මෙවැනි ආනන්තරිය ගණයේ මහා පාප කර්ම සඳහා ම නම් දැරූ දිව දෙකේ පොළඟා ඒ සඳහා යෙදවිණි.

"මේ මෝඩ නාගයා මිහින් යටතේ නැටීමට නො ව ගැලවීමේ හමුදාවේ නැටීමටවත් සුදුසු නැත. වහා මේ ගැරඬියා ඉවත් කර අහවල් නාගයා මිහින් විසින් නැටවිය යුතුයි" කියා ඒ දුෂ්ට පොළඟා නාගයාට මහත් පරිභව කළේ ය.

එහෙත් මේ මරු උගුලෙක් බැව් වහා වටහා ගත් මිහින් නේක නින්දා ගැරහුම් හමුවේ නාගයා ආරක්ෂා කරමින් පෙර සේම සිය ජීවිකාව කරගෙන ගියේ ය. යසස කීර්තිය මිහින් වටා පොදි ගැසෙන්නට විය. නේක දේශවලින් ප්‍රශංසා ගලා එන්නට විය. ඒ එසේ වන කල වෛරී නයි නටවන්නෝ අයසින් අයසට ම වනසින් වනසට ම පිළිපන්හ.

සිය ස්වාමියා සමග අනේක සැප සම්පත් විඳිමින් දිවි ගෙවන නාගයාගේ සිත දිනක් පාප සිතිවිල්ලෙක් පහළ විය. මිහින් මේ සියලු සැප විඳින්නේ මාගේ මන මෝහනීය රැඟුම් දැක නුවරින් නොමසුරුව දෙන තුටු පඬුරින් නොවෙද? එම මුදලින් මිහින් මට රිසි සැප සියල්ල දී මා සනසන බව ද සැබෑ ය. මට මැ කියා අගනුවරින් බිම් කඩක් ද දිව්‍ය සැපැති රථයක් ද තවත් නේක සැප සම්පත් ද දුන් බැව් සැබෑ ය. එහෙත් මිහින් වෙත ගලන සියලු ධනය මා වෙත ලබා ගත හැකි නම් කෙතරම් යහපත් ද? එකල මට අනන්ත නාග රාජයා මෙන් සතුටින් සිටිය හැකි නොවේද? ඈ අනේක පාප සිතිවිල්ලෙන් නාගයාගේ සිත කිළිටි විය. සිය ස්වාමියා කෙරෙහි විරසකයක් සිතේ ඇති විය.

මේ විරසකය ඉව වැටුණු වෛරී නයි නටවන්නෝ සිය සැතැඟි සපුරා ගන්නට මේ හොඳ ම නැකත යැයි සිතා නාගයාට ළං වන්නට වූහ. කේජු කනු රිසි සිවලා මෙන් උන් 'මිතුරු නාගය, තොපගේ රැඟුම් මනහරය. ඉන් ලද කීර්ති කදම්භ සඳ තරු රැස් පරයා මුළු සක්වළේ විහිදෙයි. නුඹේ කඳ රන් වැලක් මෙනි. එහි පිපි පුල්ලි නිල් මිණි වැනි ය. නුඹේ පෙණ ගොබය රත්තරන් කුල්ලකි. නුඹේ අං දෙක අපේ මන පොබයයි' ඈ නේක චාටු බස් දොඩන්නට විය.

'තොපගේ ස්වාමියා නම් අදමිටුවවෙකි. උහු නුඹට අවැසි කිසිවක් නොදෙයි. දුනු ඊතල ගෙන ආ ඔරුවක් නැවත හරවා යැව්වේ නුඹේ බෑණනුවන් කෙරෙහි ඉරිසියාවෙනි ' ඈ වැහි නැති හෙණ වදින මුසාවාදවලින් නාගයාගේ දූෂිත සිත කුදූෂිත කරවා සිය බසට නම්මවා ගත්තේ ය. මෙසේ එක ගලෙන් සියොතුන් දෙදෙනා නියායෙන් මිහින් ද නාගයා ද විනාශ කරනු රිසින් නැවතත් මෙසේ කියති. 'සබඳ නාගය, තොප තව දුරටත් මිහින් ළඟ නැටිය යුතු නැත. නුවරට ගොස් තනිව ම නැටීමට තොපගේ කුසලතා හොඳට ම ප්‍රමාණවත්ය. තොපගේ තනියට මේ අප මැ සිටී. එහෙයින් වහා තනිවම නුවර රඟන්නට අදිටන් කරගනුව'

නුග ගස මහත් වුවත් එහි ඵලය කුඩා වන්නා සේ උස මහත කඳක් ඇතක් නුවණ මද හෙයින් ඒ මෝඩ නාගයා සිය සතුරන්ගේ උගුලේ වැටුණේ ය. එහෙත් ඉබ්බා දියේ දැම්මා ම ඇන්නෑවේ කීවා සේ අහෝ මා ලද භාග්‍යයකැයි සිතා මෝඩ නාගයා පුරාජේරු කියවමින් නුවර දෙසට ඇදෙන්නට විය. වෛරී නයි නටවන්නෝ අපරාධකාරයෙකු අමු සොහොනට ගෙන යන වධකයින් මෙන් ටිකක් පිටුපසින් ඔහු පසුපස ම ඇදෙති. 'උණු වෙන තුරු කකුළුවා දිය සැලියේ කෙළිතියි' මග දුටු තවත් නයි විස්සෝප වූහ.

දැවැන්ත නයෙක් විශාල පෙණයක් පුප්පා ගෙන නුවරට ඇතුළු වූ බැව් ළැව් ගින්නක් සේ නගරයේ පැතිරි ගියේ ය. මුළු නුවර ම බඹරයට ගල් ගැසුවා සේ ඇවිස්සී, නුවරු පොලු මුගුරු කඩු මන්නා ගෙන නයා සොයා නුවර පීරන්නට විය. මොහොතකින් කැබලි වූ නාග සිරුර මහ මග දක්නට ලැබිණි. මේ අර මිහින් නයි නටවන්නාගේ නාගයා නොවේ දැයි කෙනෙක් ඇසූහ. 'පව් අසරණයා' තවෙකෙක් කීවේ ය. 'ඇඟිල්ලේ තරමට එපායැ ඉදිමෙන්න' තරුණයෙක් කෝපයෙන් කීවේ ය. 'දැන් ඉතින් කම්පා වී කුමට ද වුණ දේ වුණා. මේවා කාටත් හොඳ පාඩම්' යැයි මහල්ලෙක් කීවේ ය.

එකල මිහින් නම් නයි නටවන්නා අද --- ය. අසීමිත තණ්හාව සහ මෝඩකම නිසා වනසට පත් නාගයා අද---ය.

9 comments:

Anonymous said...

සිරාම සිරා. පට්ට කතාව...

පිස්සු හුටං said...

ඇත්ත වශයෙන්ම එළකිරි!!!

Anonymous said...

ෆුල් ආතල්...

Anonymous said...

......උන්ට සමච්චල් බසින් සංග්‍රහ කර යන්ට හැරුණෝ ය. මේ ගැන මුසුප්පුවට පත් නයි නටවන තෙමේ තම නැටුමින් සන්තෝෂ නොවන්නේ මන්දැයි නුවරුන්ගෙන් විමසූහ......

නයි නටවන්නා මුසුප්පුවට (ප්‍රමාදයට) පත්වුණේ මොකෝ එවෙලෙ

ගැලවිමේ හමුදාවල නටන නයිත් ඉන්නවද හැබෑට?

නිකන් නොදන්න වචන දොඩවන්නැතුව දන්න ඒවයින් ලියන්න තිබුණේ

නාමල් උඩලමත්ත said...

the,
අනේ මේ මහත්තයෝ නොදන්න දෙමළෙට ගිහින් වරිගේ නහගන්නවා කියන්නේ ඔය වගේ කතාවලට‍ තමා. ඔය කතාව රනිල්ගේ පස් දුන් කෝරළේ ගොන් කතාව වගේනේ. පාත්තයාගේ යහපාලන කතාව වගේනේ.
තමන්ට යම් වචනයක් ගැන සැක නම් ශබ්දකෝෂ තියෙනවා බලන්න. 'මහා සිංහල ශබ්දකෝෂය', 'ශ්‍රී සුමංගල ශබ්දකෝෂය' වගේ ඒවා. ඔයා බැලුවේ මොන එක ද? රනිල් වගේ 6 වසරේ පොතක් ද?කව්සිළුමිණේ තියෙනවා 'තම වරද නොදිස්නේ- මෙරමා වරද දිස්නේ 'කියලා. නිකන් නන්දොඩවන්න එපා.

kadappuli said...

ඉතින් 'මහා සිංහල ශබ්දකෝෂය', 'ශ්‍රී සුමංගල ශබ්දකෝෂය' වගේ එකක් අරන් බලන්න මුසුප්පුව කියන්නේ මොකක්ද කියලා
වැඩිය ඕන නෑ සාමාන්‍ය පෙළ සිංහල පොතක් අරන් බලන්න (හැබැයි පරණ නිර්දේශෙ). දැන්නම් සමහරවිට 6 වසරෙ පොතකිනුත් මුසුප්පුව කියන වචනෙ තේරුම බලාගතහැකි. තමුන්ට ඔය තරම් විශ්වාස නම් ශබ්දකෝෂෙකින් බලලා තේරුම දාන්න. යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ රනිලෙක් ගැන දොඩවන්නැතුව.

මිගාර said...

පට්ට ආතල් කතාව

Unknown said...

ආදර්ශමත් කතාවක්

Unknown said...

ආදර්ශමත් කතාවක්

 
සිය රට දේ සිරි සැප දේ !