Monday, January 4, 2010

ගුටි ඉල්ලන විටදී ඒවා නොදිය යුත්තේ ඇයි?

නිර්පාක්‍ෂික ජෙනරාල් වෙනුවෙන් ප්‍රචාරක අත් පත්‍රිකා බෙදීමට කිරිබත්ගොඩ නගරයට ගිය එ.ජා.ප. සහ ජ.වි.පෙ. පාක්‍ෂිකයන්ට මැර පාක්‍ෂික පිරිසක්‌ විසින් පහර දෙනු ලැබීම ඊයේ (04 දා) පුවත්පත්වල පළවිය. මෙය සමස්‌ත ලංකා මට්‌ටමේ සිද්ධියක්‌ නොවුවද සාකච්ඡා කළ යුතු මට්‌ටමේ සිද්ධියක්‌ බව අපගේ වැටහීමය. එ.ජා.ප. සහ ජ.වි.පෙ. පාක්‍ෂිකයන්ට මැර පාක්‍ෂිකයන් පහර දීමට මූලික විය හැකි හේතු ලෙස අපට හැඟෙන්නේ මේවායá

1. ජ.වි.පෙ. සහ එ.ජා.ප.ය එක මඟ යන විට එය රෝහණ විඡේවීරගේ ප්‍රතිපත්තිවලට සහසුද්දෙන්ම විරුද්ධ බව සිතූ පිරිස්‌ ඒ නිසා සිහිය විකල් කරගෙන ප්‍රචණ්‌ඩ මාර්ගයට අවතීර්ණ වීම.

2. 88-89-90 අවුරුදුවල එ.ජා.ප.යෙන් මැරුම් කෑ තරුණයන්ගේ පවුල්වල අය හා ජ.වි.පෙන් මැරුම් කෑ අයගේ පවුල්වල අය දෙගොල්ලම එකවර හසුවන්නේ කලාතුරකින් බව සිතා පහර දීම.

3. ආණ්‌ඩුවේ මැර කණ්‌ඩායම් පහර දීම.

ඉහත සඳහන් කරුණුවලින් තුන්වන කාරණයට බර තැබීමට අපි වඩාත් කැමැත්තෙමු. මෙවර ජනාධිපතිවරණය ඉතාම උණුසුම් එකකි. මෙය මීළඟ ජනාධිපති මෙන්ම යුද්ධයේ නියම ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා ද පැවැත්වෙන ජනමත විචාරණයක්‌ බව අපට හැඟෙයි. ජ.වි.පෙ. නායක සෝමවංශ අමරසිංහයන්ගේ කටින්ම කියන ලද පරිදි ජ.වි.පෙ. තනියෙන් ඉල්ලුවත් පරාද වන එ.ජා.ප.ය තනියෙන් ඉල්ලුවත් පරාද වන මේ ජනාධිපතිවරණයට පක්‍ෂ දෙකේම ඉහළ මට්‌ටමේ සැලකිය යුතු පිරිසකගේ (සියලු දෙනාම නොවේ.) කැමැත්තෙන් නිර්පාක්‍ෂික ජෙනරාල් ඉදිරිපත් කරන ලදී. ජෙනරාල් ඇත්තටම නිර්පාක්‍ෂිකද නැද්ද යන්න ගැන අද මේ පිටුවේම පළවෙන ලිපියෙන් සාකච්ඡා කරන බැවින් ඒ ගැන මෙහිදී නොලියමු. ජෙනරාල්ගේ පත්‍රිකා බෙදුවන්ට පහර දුන්නේ ආණ්‌ඩුවට හිතවත් ජනයා නම් ඔවුන් ලොකු දේශපාලන වරදක්‌ කර තිබේ. ඒ වූ කලී ඕනෑම විපක්‍ෂයක්‌ මේ වෙලාවේදී ඉල්ලන දේ තේරුම් ගැනීමේ හැකියාවක්‌ ඔවුන්ට නොතිබීම ය.

ඕනෑම රටක විපක්‍ෂය මෙබඳු තරගයකදී ඉල්ලන්නේ මොනවාද?

1. විපක්‍ෂයේ ආධාරකරුවන්ට කවරකු විසින් හෝ පහර දෙනු ලැබීම. එවිට එය ආණ්‌ඩුවේ ගිණුමට බැර කළ හැක.

2. විපක්‍ෂයේ උද්ඝෝෂණවලට පොලිසිය පහරදීම සහ එහි වගකීම ආණ්‌ඩුවේ ගිණුමට බැර කිරීම.

3. නිර්පාක්‍ෂික අපේක්‍ෂකයාට සහ ඔහුqගේ ආසන්නතම මිත්‍රයන්ට හෙවත් ඔහු මෙතැනට තල්ලු කළ කිහිප දෙනාට ශාරීරික හානි සිදු කිරීම. එය ආණ්‌ඩුවේ ගිණුමට බැර කර සානුකම්පිත ඡන්දයක්‌ දිනා ගැනීම.

මෙය කොයි විපක්‍ෂයේත් ක්‍රමෝපායයකි. අපට පෙනෙන හැටියට මේ ක්‍රමෝපාය සාර්ථක කර ගැනීමට කිරිබත්ගොඩදී ආණ්‌ඩුව උදව් දී තිබේ. සාමාන්‍යයෙන් කිරිබත්ගොඩ, කැලණිය වැනි ප්‍රදේශවල හටගන්නා ඕනෑම ගැටුමකදී අපගේ අහිංසක මිත්‍ර කම්කරු ඇමැති මර්වින් සිල්වාගේ නම ගෑවෙයි. වැදගත්ම කාරණය වන්නේ සිද්ධියට ඔහු සම්බන්ධ නැතත් ඔහුගේ නම ඊට ගෑවීමය. සාමාන්‍යයෙන් සිදුවන්නේ මෙයයි. ඕනෑම ආණ්‌ඩුවක සිටින ඇමැතිවරුන්ගේ ආධාරකරුවන් සහ හිතවතුන් ඇමැතිතුමාගේ හිත තවදුරටත් දිනාගැනීම සඳහා ඔහුට නොදන්වා විපක්‍ෂයට පහර දෙයි. එවිට ඇමැතිගේ මැර ගිණුම තවදුරටත් බැරවෙයි. සියලු දේශපාලන කටවුට්‌ ගැලවිය යුතු බවට ජනාධිපතිතුමා විසින් පොලිසියට නියෝග කර තිබියදීත් පොලිසිය එය නොකරන්නේ ආණ්‌ඩුවේ හිත ගැනීමටය. ආණ්‌ඩුව කොහොමටත් මැතිවරණ කොමසාරිස්‌ට පොලිස්‌ බලතල දී තිබේ. එතුමාගේ අණ පරිදි දේශපාලන කටවුට්‌ ගලවා මුහුදේ පා කිරීම පවා කළ හැකිය. එහෙත් එතුමාගේ එම බලතල කවුරුත් ගණන් නොගනී. ඒ නිසා එතුමාගේ පොලිස්‌ බලතල හොරා පොලිස්‌ ක්‍රීඩාව වැනි ක්‍රීඩාවන්ට පමණක්‌ යොදාගත හැකිය. කෙසේ වුවද සරත් ෆොන්සේකාගේ කටවුට්‌ ගලවා විසි කරන පිරිස්‌ සිටින බවට විටින් විට පැමිණිලි ලැබේ. මේවා සිදුකරන්නේ 88-89-90 කාලයේදී හමුදාවෙන් මැරුම් කෑ ජ.වි.පෙ. අවතාර බව කෙනකු කියනු ඇති. එබඳු විඥ්ඥනවාදී විහිළුවලට අපි නොරැවටෙමු. මේවා ගලවන්නේ ද ආණ්‌ඩුවේ හිත දිනා ගැනීමට ප්‍රිය කරන උදවියට බවට අපි සැක කරමු. ජන්දයකදී දේශපාලන ඥනය ඉහළින්ම පාවිච්චි විය යුතුය. තීරණාත්මක මැතිවරණයකදී කෙනකු ආණ්‌ඩුවෙන් හෝ විපක්‍ෂයෙන් ගුටි ඉල්ලන්නේ නිකමටම නොවේ. එය හොඳ ආයෝජනයක්‌ නිසා ය. කිරිබත්ගොඩ සිද්ධිය ගැන රජය වහා පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුය. ඒ මාරයන් ගල ග්‍රහණයෙන් ගෙන උපරිහම දඬුවම් දිය යුතුය.
(දිවයින - 10/01/05)

ටිප්පණිය - දුර සිටින සතුරාට වඩා ළඟ සිටින මිතුරාගෙන් පරිස්සම් වන්නැයි ආප්තයක් තිබේ. ඒ මිතුරා මෝඩයෙක් වූ කල තත්ත්වය තවත් භයානක වෙයි. අපට ජනාධිපතිතුමාට ද කීමට ඇත්තේ ඒ ටිකම ය. එතුමා තව වරක් ජනාධිපතිවීම වැළැක්වීමට විපක්ෂ පතෝල එකතුවට නොහැකි බව දැන් පැහැදිළිය. එහෙත් ඒ ජයග්‍රහණය කිළිටි කිරීමට ඔහු වටා සිටින මෝඩයින්ට හැකිය. ඒ මෝඩයින් සැබවින්ම ජනාධිපතිතුමා ළෙන්ගතු නිසා ඔහු මොවුන්ට විරුද්ධව කිසිදු දැඩි තීරණයක් නො ගන්නා බව පෙනේ. එහෙත් ඉන් වන්නේ බලවත් විනාශයකි. ජනාධිපතිතුමාට හානියකි. එය රටටත් හිතකර නැත. සතුරාට පමණි හිතකර. රජතුමාගේ ආරක්ෂාවට සිටි විශ්වාසවන්ත වදුරා අතින් අවසාන රජතුමාගේ ජීවිතය කෙළවර වූ බව මෙහිදී අපට සිහිපත්වෙයි.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !