Monday, January 25, 2010

අපි පාව දුන්නේ නෑ

සිකුරාදා මරදානේ පැවති අවසන් ජන හමුවේදී රනිල් වික්‍රමසිංහ පැවසුවේ සිය ප්‍රතිපත්ති පාව නොදුන් බවය. අපට ඇති ප්‍රශ්නය ද එයයි. රනිල් පාව දුන්නේත් නැත. සම්බන්ධන් සිය ප්‍රතිපත්ති පාව දුන්නේත් නැත. පාව දුන්නේ ෆොන්සේකා ය.

රනිල්ගේ ප්‍රතිපත්තිය කුමක්දැයි 2002 වසරේ කොටි සමග ඇති කර ගත් ඊනියා සාම ගිවිසුමෙන් පැහැදිළි ය. රටේ කොටසක් කොටියාට ලියා දී වෙනම ඊළාම් රාජ්‍යයක් සඳහා මංගල පස් පිඩැල්ල කැපූ රනිල් සියලු හමුදා බැරැක්කවලට සීමා කර බුද්ධි අංශ සමූල ඝාතනය කරන්නට ඉඩ දුන්නේය. කොටි පොලිසි උසාවි බැංකු ආරම්භ කරන්නට ඉඩ දුන්නේ ය. A 9 මාර්ගය විවෘත කර කොටින්ට බදු අයකරන තුරු බලා සිටියේ ය. ජාත්‍යන්තරයේ කොටින්ට රිසි සේ ක්‍රියා කරන්නට ඉඩහසර දුන්නේ ය. කොටින් ම ඊළම මුළු හදින් ම අනුමත කර ඊට හැකි පමණ උදව් කළේ ය. එය ඔහුගේ ප්‍රතිපත්තියයි. එය වෙනස් වී නැත.

සම්බන්ධන් ඊයේ උතුරේ ජනතාව අමතා කීවේ ෆොන්සේකා ජයග්‍රහණය කළ වහා ම නැවත උතුර නැගෙනහිර එක් කිරීමට සාකච්ඡා අරඹන බවය. එසේ ම සිය ඉල්ලීම් පෙර පරිදි ම බවත් කිසිදු වෙනසක් සිදු වී නැති බවත් ඔහු කීවේ ය. ඔහුගේ ප්‍රතිපත්තිය නම් උතුරු නැගෙනහිර දෙමළ නිජබිම් බවත් ඒ ප්‍රදේශ සඳහා තමන්ට ස්වයං පාලනයක් අවශ්‍ය බවත් ය. කොටින් ම කීවොත් රටේ උතුරු නැගෙනහිර කොටසේ ඊළම තමන්ට හිමි විය යුතු යැයි සිතන බෙදුම්වාදියෙකි; සම්බන්ධන්. ඔහුගේ ප්‍රතිපත්තිය ද වෙනස් වී නැත.

ඒ අනුව වෙනස් වී ඇත්තේ ෆොන්සේකා බව පැහැදිළි ය. නැතහොත් බටහිරට සහ බෙදුම්වාදීන්ට අනුව නැටවිය හැකි රූකඩය ෆොන්සේකා බව පැහැදිළි ය. ඔහු දැන් ඇමරිකන් ඉත්තෙක් ලෙස හැසිරෙන ආකාරයෙන් හෙට දවසේ ඔහුට මේ රටට එරෙහිව කළ නොහැකි ද්‍රෝහිකමක් නොමැති බව පැහැදිළි ය.

දකුණේ ජනතාව අතරට ගොස් යුද්ධය දිනුවේ කොටි සංහාරය කළේ ෆොන්සේකා බවත් යුද වීරයා ඔහු බවත් පවසන එජාපය උතුරට හෝ බටහිරට ගිය කල පවසන්නේ අනෙකකි. ෆොන්සේකා කළේ මහින්දගේ අණ ක්‍රියාත්මක කිරීම පමණකැයි රනිල් වික්‍රමසිංහ GTV වැඩසටහනකට සහභාගී වෙමින් කීවේ ඒ අනුව ය. ඉන් පැහැදිළි වන්නේ ඔවුන්ගේ කුහක දෙබිඩි ප්‍රතිපත්තියයි. දකු‍ණේ යුද්ධය මාර්කට් කර උතුරේ යුද්ධයේ බරපැන මහින්ද මත පටවා සිංහල දෙමළ දෙජාතිය ම රවටා ඡන්දය ලබා ගැනීම ඔවුන්ගේ අරමුණයි.

මේ කුහකත්වය මොනවාට ප්‍රදර්ශනය කරමින් 23 වෙනිදා යාපනේ පැවැති ෆොන්සේකාට සහය දැක්වීමේ රැළියකදී ඝාතනය වූ කොටි සමරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වා තිබේ. දකුණේ ජනතාව රවටමින් උතුර නැවත කොටියාට පවරා දී රට ලේ විලක් කරන්නට මේ ද්‍රෝහී සන්ධානය ගෙන යන දුෂ්ට මෙහෙයුම ජනතාව වහා අවබෝධ කරගත යුතුය. ඊට එරෙහිව සිය ඡන්දය පාවිච්චි කොට මව්බිම මේ උගුලින් ගළවා ගතවා යුතුමය.

ෆොන්සේකා වටේ ඉන්නේ කවුද? අද ඔහුට විරුද්ධව නැඟී සිටින්නේ කවුද? යන්න ඔබ අවධානයට ලක් කළ යුතු ප්‍රධාන කරුණකි. එදා යුද්ධයට විරුද්ධ වූ ඊට කළ හැකි සියලු අපහාස කළ අඩපණ කිරීමට සියලු ගල් පෙරළු එජාපය ද 2007 අයවැය පරදවා ආණ්ඩුව ගෙදර යවන්නට බැරු වූ තැන විවිධ වැඩ වර්ජන කැඳවා රජය අපහසුතාවයට පත් කර යුද්ධය නවතාලීමට උත්සහ කල ජවිපෙද කොටි වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනී සිටි ටීඑන්ඒ කොටි ද අද ඔහු වටා රොක් වී ඇත.

විදෙස් රටවල සිටින කොටි ඩොලර් මිලියන ගණනින් එවමින් ෆොන්සේකාට හුරේ දමමින් සැණකෙළි කරති. එදා ඔහු වෙනුවෙන් පෙනී සිටි රට වෙනුවෙන් පෙනී සිටි යුද්ධයේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටි සියලු දේශප්‍රේමී බලවේග ඔහුගෙන් වෙන් වී ඇත. එහෙයින් එදා අපේ වීරයා අද ද්‍රොහීයා වී ඇති බවට තවත් සාධක කුමකට ද?

මුළු රටක් ජනතාවක් සමස්ත හමුදාවක් ලද ජය සිය පෞද්ගලික ජයකැයි ද්‍රෝහීන් ලවා සිය භූක්තියට සවි කරගෙන ෆොන්සේකා මේ හැසිරෙන්නේ ප්‍රභාකරන්ගේ අවතාරය ආවේශ වී නොවේදැයි ජනතාව බුද්ධිමත් ලෙස සිතා බැලිය යුතුය. මව්බිම නැවත 1505ට ගෙන යාමට මේ මොහොතේ ඔබ දායක වී ආත්ම ගණනකට ගෙවිය නොහැකි පවක් කර ගන්නවාද? මව්බිමේ සුබ අනාගතය වෙනුවෙන් පෙළ ගැසේනවාද යන්න ඔබ තීරණය කළ යුතුය.

2 comments:

9XM said...

මේකත් බලන්න.....

http://www.lankaenews.com/Sinhala/news.php?id=12138

නාමල් උඩලමත්ත said...

ඇයි අපිට සිරස බලන්න නොකීවේ?lankaenews කියන්නේ unp කුණු හරුප මල්ලක්නේ. ඇයි ඔයාට ආස නම් අර Lankatruth එක, ඉස්සර jvptruth දැන් unptruth එකත් බලන්න පුළුවන්.ඔයා ආස ඒවා බලන්න නේද?

 
සිය රට දේ සිරි සැප දේ !