Friday, January 22, 2010

විජය ඉවත් කළේ ඇයි?

විජය කුමාරතුංග නම් සොඳුරු නළුවා ගායකයා ගැන නොදන්නා ශ්‍රී ලාංකිකයෙක් නොමැත. ඒ සොඳුරු රැඟුම් ගැයුම් කිසිදාක අමතක කළ හැකි ද? අපි කිසිදු පක්ෂ පාට භේදයකින් තොරව ඔහුගේ රඟපෑම්හි ආස්වාදය වින්දෙමු. මියුරු ගී රස වින්දෙමු. ඔහුට ආදරය කළෙමු.

එහෙත් මේ සොඳරු මිනිසාට 1988 පෙබරවාරි 16 වැනි දා වෙඩි තබා මරා දැම්මේ ය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ නියෝගයෙන් ලයනල් රණසිංහ හෙවත් ගාමිණි නම් එහි සාමාජිකයෙකු විසිනි. ඒ ඝාතනය සාධාරණීකරණය කරමින් සිය සාමාජිකයින් අතර ජනතා විමුක්ති පෙරමුණ 'විජය කුමාරතුංග ඉවත් කළේ ඇයි?' යනුවෙන් කුඩා පත්‍රිකාවක් බෙදා හැරියේ ය. එහි සඳහන් වූයේ එදින විජය ඇමරිකන් තානාපති කාර්යාලයේ දිවා ආහාරය සඳහා යාමට සුදානම් ව සිටි බවකි.

මෙයින් පෙනෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට අනුව විජය කුමාරතුංගට ඇමරිකන් එම්බසියේ ආහාර වේලක් සඳහා යාමටවත් අයිතියක් නැති බවය. ඔහු ජවිපෙ සාමාජිකයෙක් නොවේ. වෙනත් දේශපාලන මතවාදයක් දැරුවෙකි. ඔහුගේ දේශපාලන මතවාද අද වුව අප අනුමත කරන්නේ නැත. එහෙත් අතේ ආයුධයක් නැති මිනිසෙක් සමග අප සටන් කළ යුත්තේ මතවාදවලින් නොවෙද?

එහෙත් ජවිපෙට වෙනස් දේශපාලන මතවාදයක් දැරීමේ වරදට එදා විජයට සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු විය. ඒ මොහොතේ කිසිදු පක්ෂ භේදයකින් තොරව මුළු රට ම මළ ගෙයක් වූ ආකාරය එවක කුඩාවුන් වූ අපට හොඳින් මතකය. අධිරාජ්‍ය විරෝධි දැඩි මතවාදය වෙනුවෙන් අවංකව ලෙස පෙනී සිටින ජවිපෙ තම සතුරෙකු විනාශ කළේ යැයි සිතා එදා ජවිපෙ සාමාජිකයින් සිත හදා ගත්තා යැයි සිතමු.

එහෙත් අද තත්ත්වය කුමක් ද? ජවිපෙ එදා දැරූ සියලු මතවාද එකිනෙක පාව දෙමින් එහි සාමාජිකයින් වූ අප එම පක්ෂයෙන් පළවා හරිමින් සිටියි.
කලක් මාක්ස්වාදය ද කලක් දේශප්‍රේමය ද නමින් රටේ තරුණයින් 70 000ක් ඝාතනය සඳහා නොමසුරුව සම්මාදම් වූ ජවිපෙ අද තවත් එවන් බිහිසුණු යුගයක් කරා රට වේගයෙන් ඇද ගෙන යමින් සිටියි.

එදා ඇමරිකන් එම්බසියේ කෑම වේලකට යාමට සිටීමේ වරදට විජය මරා දැමූ මොවුන් අද රටට කියන්නේ ඇමරිකන් ග්‍රීන් කාඩ් කාරයෙකුට අපේ රට භාර දෙන්න කියා ය. ඒ වෙනුවෙන් ඡන්දය දෙන්න කියා ය. එදා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පත් වූ සිරිමා බණ්ඩාරනායක මරා හෝ පණ පිටින් හයිඩ් පිටියට රැගෙන එන්නට මහා බිහිසුණු කුමන්ත්‍රණය කළවුන් අද කිසිදු හිරිකිතයක් නැතිව හයිඩ් පිටියේ ම ප්‍රජාතන්ත්‍රවාදයේ රන් දෙවොල තනන්නට ගිරිය පුප්පගෙන උඩු බුරති. එදා කොල කොටියා යැයි රනිල්ට බැණ වැදුණුවුන් අද රනිල්ට අත්වැල් ගායනා කරති. එදා පාර්ලිමේන්තු කොටි යැයි සම්බන්ධන්ලා ගැරහු අය අද සම්බන්ධන්ගේ මුර බල්ලන් ලෙස හැසිරෙති. එදා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියාට බලතල දී රට හමුදා පාලනයකට බිලි දෙතැයි කී උන් අද ඒ වෙනුවෙන් හෙළුවෙන් පෙනී සිටිති. මේ විපරිතයන් ජනතාව අවබෝධ කරගන්නේ කෙසේ ද?

1994 සිට 2005 දක්වා ප්‍රගතිශීලි ගමනක් ගිය ජවිපෙ සමග සිටි කලාකරුවන් දැන් එකෙක් එහි නැත. ඉතිරි වූවන් සිටියත් නැති ගාණය. රට අමු සොහොනට ඇද ගෙන යනු දැක දැක සංවේදි කලාකරුවෙකුට තව දුරටත් ඒ වෙනුවෙන් පෙනී සිටිය හැකි ද? 2005 එජාපයට සහය දැක්වූ කලාකරුවන් අද මහින්දගේ ජයග්‍රහනය වෙනුවෙන් පෙනී සිටිති. පගා බලකායට අනුව නම් ඒ මුදලට ය. කලාකරුවන් මුදලට ගත හැකි විණි නම් මේ සියලු කලාකරුවෝ අද ෆොන්සේකාගේ වේදිකවේ රඟනු අති බවට කවර නම් සැකයක් ද?

රූකාන්ත ගුණතිලක, සනත් නන්දසිරි, අබේවර්ධන බාලසූරිය, ලතා වල්පොළ, උපුල් ශාන්ත සන්නස්ගල, සමන් ද සිල්වා, හඩ්සන් සමරසිංහ ආදි එජාපය වෙනුවෙන් එදා පෙනි සිටි අය අද ඔවුන් අතැර ගියේ ඇයිදැයි අවංකව සොයා බලනු වෙනුවට වල්පල් දොඩවති. කඩේ යනවා යැයි කියති. කඩේ යනවා නම් යන්නේ සිය ජීවිත ආරක්ෂාව පතා විය යුතුය.

එදා භීෂණය රජ කළ එජාප පාලන සමයේ කලාකරුවන් මාධ්‍යවේදීන් 40ක් පමණ එජාප සහ ජවිපෙ මිනිමරුවන් මරා දැම්මේ තරගයට මෙනි. ප්‍රේමකීර්ති ද අල්විස්, තේවිස් ගුරුගේ, ස්වර්ණලතා කවීශ්වර, විජය කුමාරතුංග, රිචඩ් ද සොයිසා ආදීන් මරා දැමූ මහා භීෂණ යුගය එදා එජාප නායකයින් ජනතාව අතරට ගෙන ගියේ ධර්මිෂ්ට සමාජය නම් සුන්දර දවටනයේ ඔතා සරසා බව අප අද දවසේ සිහිපත් කරගත යුතුය. මෙදා යහපාලන පොරොන්දුවල ඔතාගෙන රැගෙන එන හලාහල විෂ හෙට දවසේ රටේ තවත් පරපුරක් අමුසොහොනට ඇද නොදමනු ඇතැයි කිව හැක්කේ කාට ද? එසේ දංගොඩියට දක්කන මුල් පෙළේ ම ජවිපෙ දෙවන පෙළ සාමාජිකයින්ට ලොකු ඉඩක් ලැබෙනු ඇත. එහෙයින් වරක් දෙවරක් නොව සිය දහස් වරක් සිතා ඔබේ ඡන්දය පාවිච්චි කරන්න. මුළු රටක් අසීමිත කැපකිරීම් මැද නිදහස් කරගත් දේශය නැවත අමුසොහොනක් වන්නට ඉඩ නොදෙමු. අපි කොටි වෙනුවෙන් නොව රට වෙනුවෙන් නැගී සිටිමු.


3 comments:

Variable "X" said...

නිකම් ජවිපෙට ආදරේට බොරු ටෝක් දාන නැතිව තමන්ගේ ඇජෙන්ඩා එක කෙලින්ම දාන්නකො.
88 යූඑන්පිය ජවිපෙ අය මැරුවා වගේම 72 ශ්‍රී ලංකා ආන්ඩුව ජවිපෙ අය පන්න පන්න ඝාතනය කලා.ප්‍රේමවතී මනම්පේරිලා මහපාරේ නිර්වස්ත්‍ර කරල වෙඩි තිබ්බා.එච්චර ඈත යන්න ඕනෙ නැහැ.ලගදි ජවිපෙ නුවර කාර්යාලය භාරව වැඩකරපු නන්දන බාලගේ මහ පාරේ වෙඩිතියල මරල දැම්මෙ වර්තමාන ආන්ඩුවේ සංස්කෘතික ඇමතිගෙ ගෝල බාලයෝ.88 ජවිපෙ මර්ධනයට ආයුද කල්ලි හදපු රාජිතලා අද ඇමතිවරු.ත්‍රිමාවිතානගේ ඔලුවට පරාල ඇන ගස්සලා මරවපු පුංචිනිලමේලා අද රට පාලනය කරනව.ජවිපෙ පෝස්ටර් අලවල අයට පන්න පන්න පහර දෙමින් ජවිපෙට හිතවත් මාධ්‍යවේදීන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිරගත කරමින් රාජපක්ෂ ජවිපෙට ප්‍රජාතන්ත්‍රවාදය දුන්න හැටි අපි දන්නවනෙ.
ජවිපෙට ඉතිහාසය අමතක නැහැ.ඒක හොදට මතකයි.මේ වෙලාවෙ තීරන ගද්දි ඒ ඉතිහාස කෝන්තරය විතරක් එකම සාධකය කරගන්නෙ නැහැ.එහෙම කරගත්තනම් ශ්‍රීලනිපය එක්ක සන්ධාන ගහන්නත් බැහැනෙ.
අපරාධ කරපු ඔය දෙපාර්ශවයම ජනතා අධිකරනය ඉස්සරහට ගේන්න අනාගතේදී කටයුතු කරන්න පුලුවන්.ෆොන්සේකා බලයට ගේනනේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් කරන්න.ඊට පස්සෙ එන්නෙ සමාජ වෙනස සදහා සටන.ඒව ජවිපෙ අය හොදට දන්නවා.ඒ අවබෝධය සහිතවයි වැඩකෙරෙන්නේ.ඔයා හිතනව වගේ බ්බ්බු නෙමේ ජවිපෙ ඉන්නෙ.
ඔයාගේ ටියුෂන් වෙන කාට හරි දෙන්න.රාජපක්ෂට කඩේ ගියාට කමක් නැහැ.වෙන පක්ෂ වලට බොරු ආදරේ පෙන්නලා ඒ ජොබ් එක කරන තැනට වැටෙන්න එපා.ඔයාලට ජවිපෙ ගැන ආදරයක් නැහැ කියල අපි හොදට දන්නවා.

නාමල් උඩලමත්ත said...

Ninada Hiranya,
මේ ඔයාට පිස්සු ද හැටි ද? මම කිවා ද ම ජවිපෙට ලව් කියලා. අපිට ආදරේ කරන්නේ රටට. සහය දෙන්නේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් නායකයාට. දැන් නම් මගේ ජවිපෙ ගැන කොහොමත් කිසිම පැහැදීමක් නැහැ. ඒත් අපි 2005 ජනාධිපතිවරණයේත් ඉන් අණතුරුව පැවති ප්‍රාදේශීය සභා මැතිවරණයේත් ජවිපෙ වෙනුවෙන් දරදිය ඇදපු අය. විශේෂයෙන් ඒ කාලය තුළ 1994-2005 දක්වා කාලය තුළ ජවිපෙ ක්‍රියා කළාපය ගැන අපේ හිත්වල ලොකු පැහැදීමක් තියෙනවා. ඒකෙන් කියන්නේ නැහැ ඒ අය ඊට පෙර සහ පසු කරන දේවල් අනුමත කරන බවක්.
ඔයා මොනවද ජවිපෙ ගැන දන්නේ එයාලා පංති 5 අපට කළා. දේශපාලන මතවාද අපට දුන්නා. අන්න එතනදී එයාලා අපට කීවා එජාපය අපේ පොදු හතුරා කියලා. රනිල් කොළ කොටියා. නෝර්වේ සුදු කොටියා. දැන් මොකද කියන්නේ?

1972 එයාලා සිරිමා ආණ්ඩුව පෙරලන්න ගියා. සිරිමා පණ පිටින් හරි මරලා හරි හයිඩ් පිටියට ගේන්න කුමන්ත්‍රණය කළා. ඒක වැරදුණා. ඉතින් ජනතා ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුවක් පෙරළන්න ගියා ම හමුදාව යොදවා ඒක මැඩලීම කරනවා.
නමුත් 1988-89 වුණේ ඊට වඩා ජඩ වැඩක්. ඒ වන විට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ සිටි ජවිපෙ තහනම් කරලා ඔවුන්ගේ දේශපාලන අයිතිය අමු අමුවේ උදුර ගෙන ජවිපෙ භීෂණයට තල්ලු කරලා රට වනසපු එක. ඒකට වග කියන්න ඕන එජාපය.

මේ ආණ්ඩුව මහින්ද පත් කළ එකක් නෙමේ. මේ චන්ද්‍රිකාගේ පාර්ලිමේන්තුව. කතානායකපත් කරගන්න බැරුවුණු ආණ්ඩුව. මේ අය එක්ක තමා මහින්ද තිස් වසරක යුද්ධය අවසන් කළේ. එතකොට දෙව්දත්ලා වගේ යුද්ධය නවත්වන්න ගල් පෙරලපු ජාතියේ හතුරෝ තමා අද ෆොන්සේකා කරේ තියන් දුවන්නේ. මේ දුවන්නේ ජාතිය අරගෙන කනත්තට කියලා රට දන්නවා. ඒ නිසා 27 වෙනිදාත් ජනපති මහින්ද ම තමා. ඒටික මේ රටේ ජනතාව තීන්දු කරලා ඉවරයි.

හැබැයි මහින්දගෙන් මේ පාර ජනතාව බලාපොරොත්තු වන දේ නො ලැබුණොත් අපි එයාට විරුද්ධව ඊළඟ මැතිවරණයේ දී වැඩ කරනවා. ඒකේ දෙකක් නෑ. අපිට වැදගත් පක්ෂ හෝ පුද්ගලයෝ නෙමෙයි රට.

අපි බබ්බු තමා. බාබා වුණත් හරි දෙයක් කිව්ව ම පිළිගන්න ඕන. ඇත්ත තමා අපි වගේ බබ්බු නෙමේ ජවිපෙ ඉන්නේ. නැත්නම් දිගින් දිගටම මෙහෙම ඇණ ගනී ද? ලඟදි තියපු සියලු පලාත් සභාවල ඇපත් නෑ. ඊළඟ මහ මැතිවරණය පවතින ක්‍රමයට ම තිබ්බොත් උපරිම ආසන 6යි. මේ සමානුපාතික ක්‍රමය වෙනස් කරලා කේවළ ආසන ක්‍රමයට තිබ්බොත් ජවිපෙට ඉතින් අනිච්චාවත සංඛාර තමා. එදාට තේරෙයි දැන් ජවිපෙ ඉන්නේ මැටි බබ්බු කියලා. ඔන්න ඒකත් මේ බාබා කීව කියලා මතක තියා ගන්නකෝ.

අනේවාසික said...

ජවිපෙ සාමාන්‍යයෙන් මොලයට පෙර හදවත ඉදිරියට දමා වැඩ කරන පක්‍ෂයකි. මෙවර ඔවුන් ඒ දෙකටම කලින් පශාචාත්භාගය පෙරට දැමූහ. ඟෙයට සිංහළෙන් කියන්නේ "නක දී පුසී" කියාය.

අනේවාසික Anewasika

 
සිය රට දේ සිරි සැප දේ !