Thursday, January 7, 2010

සංඥව ෆෙඩරල්: මොකද කියන්නේ ජෙනරල්?



ජෙනරාල් සරත් ෆොන්සේකා සහ දෙමළ සන්ධානය අතර දැනට හටගෙන ඇතැයි කියන එකඟතාව ගැන අපට මුලින් ම දැන ගන්නට ලැබුණේ පසුගිය වසරේ දෙසැම්බර් 22 වැනිදා නිකුත් වූ වීරකේසරී පත්‍රයෙනි. විපක්‍ෂය නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ සාකච්ඡාවට සහභාගි වු නමුත් ජ.වි.පෙ. නියෝජිතයන් සහභාගි නොවූ බව එම පුවතේ පළවිය. ඒ අතර ඊයේ (7 වැනිදා) ප්‍රවෘත්ති පත්‍රවල පළ වූ එකඟතාවන් අතුරෙන් අපගේ වැඩිම අවධානය දිනා ගන්නේ උතුර - නැගෙනහිර යළි ඒකාබද්ධ කිරීමට ජෙනරාල් එකඟ වී යෑයි කියන කාරණයයි. එහෙත් ජෙනරාල් සමඟ කිසිදු කොන්දේසියකට තමන් එළැඹ නැතැයි දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පවසයි. කෙසේ වුව ද උතුර - නැගෙනහිර එක්‌ කිරීමට අමතරව දැනට අත්අඩංගුවේ සිටින කොටි සාමාජිකයන් නිදහස්‌ කිරීම, රජයේ බුද්ධි අංශවල සාමාජිකයන් අඩු කිරීම, යුද හමුදාවේ පිරිස්‌ බලය අඩු කිරීම, අධි ආරක්‍ෂිත කලාප ඉවත් කිරීම යන කාරණාවලට ද ජෙනරාල් එකඟ වී යෑයි ජනමාධ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසා තිබේ. ඡන්දයක්‌ ළඟ එන විට මෙවැනි කට කතා පැතිරීම සහ පතුරුවනු ලැබීම ස්‌වභාවිකය. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජනාධිපතිව සිටි කාලයේ එ.ජා.ප.යේ ජයලත් ජයවර්ධන මන්ත්‍රීතුමා සහ කොටි සංවිධානය අතර රහස්‌ ගිවිසුමක්‌ අත්සන් කළ බවට මංගල සමරවීර මැතිතුමා රජයේ මාධ්‍ය හරහා පැතිර වූ කට කතාව අපට මේ මොහොතේ දී සිහිපත් වෙයි. සමරවීර මැතිතුමාම කී බැවින් කවරෙක්‌වත් එය පිළිගත්තේ නැත. අද වන විට ජයවර්ධන සහ සමරවීර දෙදෙනා එකම පිළේ ය. දේශපාලනයේ හැටි ඔහොම තමයි. එය බෙහෙවින් ගඳ ගසන ව්‍යාපාරයකි. කෙසේ වුවද දෙමළ සන්ධානය සහ ජෙනරාල් ෆොන්සේකා අතර කිසියම් හෝ එකඟතාවයක්‌ හටගෙන ඇතැයි කියන කාරණය අපගේ සිත් තුළ බලවත් කුහුලක්‌ ඇති කිරීමට හේතු වී තිබේ. එතැන් සිට මේ කතාව පටන් ගනිමු.

දෙමළ සන්ධානය යනු ප්‍රභාකරන්ගේ දේශපාලන බළල් අත ය. ප්‍රභාකරන් විසින් කරන ලද සියලු මනුෂ්‍ය ඝාතන සහ බෙඳුම්වාදී මෙහෙයුම් පාර්ලිමේන්තුව තුළදී සාධාරණීය කරන ලද්දේ දෙමළ සන්ධානය විසිනි. මෙයට මාස හතකට පමණ පෙර ජෙනරාල් සරත් ෆොන්සේකා යනු ප්‍රභාකරන්ගේ පරම සතුරන්ගෙන් කෙනෙකි. ඔහු මැරීමට ප්‍රභාකරන් නොගත් උත්සාහයක්‌ නැත. එයින් එක උත්සාහයකදී ජෙනරාල් නො මැරී මළේ ය. මේ අර්ථයෙන් ගත් කල ජෙනරාල් ෆොන්සේකා යනු ප්‍රභාකරන්ගේ දේශපාලන සේවක ආර්. සම්බන්ධන්ගේ ද පරම සතුරෙකි. සම්බන්ධන් මෙයට පෙර ජනපති රාජපක්‍ෂ හමු විය. එහෙත් ඔහුගේ ඉල්ලීම්වලට ජනාධිපතිවරයා කැමැති වූයේ නැත. එ බැවින් සාකච්ඡා බිඳ වැටින. අද වන විට සිය නායකයා වන ප්‍රභාකරන්ගේ ප්‍රධාන සතුරන්ගෙන් කෙනෙකු වන ජෙනරාල් ෆොන්සේකා සමඟ එකඟත්වයකට ඒමට සම්බන්ධන් කැමැති වී තිබේ.

අපගේ සැකය පටන් ගන්නේ මෙ තැනිනි. මෙසේ පටන් ගත් අපගේ සැකය උතුර - නැගෙනහිර නැවත එක්‌ කරන්නැයි සම්බන්ධන් කළ ඉල්ලීම ජෙනරාල් ෆොන්සේකා විසින් පිළිගත්තේ යෑයි කියන නිසා තවදුරටත් පුළුල් වෙයි. සම්බන්ධන් මේ ඉල්ලීම ජනාධිපති රාජපක්‍ෂ වෙතින් ද කළේය. එහෙත් ඔහු එයට විරුද්ධ විය. උතුර - නැගෙනහිර එක්‌ කරන ලද්දේ මෙයට වසර 22 කට පෙර ඉන්දු - ලංකා ගිවිසුම මගිනි. උතුර පමණක්‌ ඊළම ලෙස ලබා ගැනීමේ මූලික බලාපොරොත්තුවෙන් සිටි ප්‍රභාකරන් නැගෙනහිර පළාත ද එයට එක්‌ කිරීමෙන් පසු සටනක්‌ නැතිවම ඊළම විශාල වූ නිසා බලවත් සේ සතුටට පත් විය. ආණ්‌ඩුව සරත් ෆොන්සේකා හමුදාපති ලෙස තබා ගෙන කරන ලද යුද්ධයේ දී මුලින් ම පරාජය කරන ලද්දේ නැගෙනහිර කොටි බලයයි. නැගෙනහිර ජයග්‍රහණයෙන් පසු උතුරට අත තබන ලද්දේ ඉතා පරෙස්‌සමිනි. එයට හේතුව එහි ජන ඝනත්ත්වය ඉතා ඉහළ මට්‌ටමක පැවතීමය. එහෙත් දෙමළ ත්‍රස්‌තවාදීන් දහස්‌ ගණනක්‌ ඝාතනය කළ යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ සෙබළ පිරිස ප්‍රභාකරන් ද මරා යුද්ධය නිම කළේ ය. ඊට පෙර උතුර - නැගෙනහිර පළාත නැවත දෙ පළාතක්‌ කරන ලෙස ඉල්ලා ජ. වි. පෙ. උසාවි ගියේ ය. ජ.වි.පෙ. නඩුව දිනූ අතර උතුර - නැගෙනහිරින් වෙන් කරන ලදී.

මේ රටේ දෙමළ බෙදුම්වාදීන් පාර්ලිමේන්තු දේශපාලනය හරහා එන විට ඊළම ඉල්ලන ලද්දේ ෆෙඩරල් ප්‍රාන්තයක්‌ ලෙස ය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය හරහා ප්‍රකාශයට පත් කළ පළාත් සභා බලතල ප්‍රමාණවත් නොවන බව කිවූ ඔවුහු පොලිස්‌ බලතල ඉඩම් බලතල යනාදිය ද ඉල්ලූහ. වෙනම රාජ්‍යය යන සංකල්පය මේ හරහා සම්පූර්ණ කිරීමෙන් පටන් ගැනීමට පුළුවන. අද සම්බන්ධන් සරත් ෆොන්සේකාට දෙන්නේ ද මේ ෆෙඩරල් සංඥවම ය. උතුර නැඟෙනහිර නැවත එක්‌ කළොත් ජ.වි.පෙ. කිවූ නඩුව කුණු කූඩයට වැටෙයි. යුද හමුදාව සහ බුද්ධි අංශය කප්පාදු කළොත් සටන් විරාම කාලයේදී සිදු වූ සියලු විනාශයන් ආපසු පටන් ගැනෙයි. රට යුද්ධය පටන් ගත් තැනටම ආපසු ගමන් කරයි. මියගිය රණවිරුවන්ගේ ආත්ම විලාප නඟන්නට පටන් ගනී. රෙජිමේන්තුගත මානසිකත්වයක්‌ ඇති විනයානුකූල ජෙනරාල්ට මේ තත්ත්වය නොවැටහෙන්නේ ද? නැතහොත් එ.ජා.ප.ය ජ.වි.පෙ. සහ දෙමළ සන්ධානය එබන්දක්‌ නොතේරෙන තැනට ඔහු තල්ලු කර තිබේ ද?
(දිවයින - 10/01/08)

ටිප්පණිය -බළලා මල්ලෙන් එළියට පැන්නේ එසේ ය. තව දුරටත් ෆොන්සේකා මේ රටේ බහුතර අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින්නකු නො ව ෆෙඩරල් හරහා ඊළමට පාර කපන භයානක බුල් ‍ඩෝසරයක් බවට පත්ව තිබේ. සම්බන්ධන් වැනි ඊළාම්වාදීන් කලකට පෙර සිය සතුරෙකු ලෙස සැලකූ දුටු තැන බිළි ගන්නට කළු කොටි යෙදවූ ෆොන්සේකා අද වික්‍රමබාහු පරදා සම්බන්ධන්ලාගේ සුරතලා බවට පත්ව තිබේ. ඒ උතුරු නැගෙනහිර එක්කිරීම උතුරේ අධි ආරක්ෂිත කළාප ඉවත්කිරීම, හමුදාව අඩු කිරීම, බුද්ධි අංශ අඩු කිරීම හරහා නැවත ඊළමට පාර කැපීම, හිරේ සිටින කොටි 10 000 නිදහස් කර නැවත යුද්ධයට පණදීම ආදී දොළ පිදේනි දීමෙනි.

එදා රටේ ජනතා අභිලාෂය වෙනුවෙන් පෙරමුණ ගෙන උතුරු නැගෙනහිර වෙන් කරන්නට අධිකරණයට ගිය ජවිපෙ අද මංමුලා එදා තමන් මුල් වී ලද ජය පාවා දෙන්නන්ට ආවැඩීම කෙතරම් ජුගුප්සාජනකද? අපට ආපසු ඇසීමට ඇත්තේ ලාල්කාන්තය තොපට කොන්දක් තිබේ ද? කියා පමණි. ඔවුන්ට තවමත් නිවැරදි වීමට අවස්ථාව තිබේ. එසේ නැත්නම් ජනතාව විසින් ඔවුන් නිවැරදි කළ යුතුය.

මේ රටේ තරුණයින් 26000ක් ජීවිත පූජා කොට එක්සේසත් කළ රට නැවත මිනි කන්දක් කරනවාද? කලකින් ‍නොපිපුරුණු බෝම්බවලට පණ දී ඔබේ දරුවා ස්වාමියා බිරිය හිතවතා කැබලිවන්නට පාර කපනවාද? අප එසේ වන්නට ඉඩ නො දෙමියි ෆොන්සේකාට කිව හැකි ද? එසේ නම් නැවත උතුරු නැගෙනහිර එක් නොකරමියි ඔහු කිව යුතු ය. එසේ නැත්නම් මේ අම්බලන්ගොඩ පිළිමතලාවේ දතකන්නේ රට ලද ඓතිහාසික නිදහස බන්දේසියක තබා බෙදුම්වාදීන්ට පූජා කරන්න බව ජනතාව තේරුම් ගත යුතුය. ඊට එරෙහිව දිවි හිමියෙන් සටන් කළ යුතුය.





4 comments:

රවා said...

ජෙනරල් යනු අවුරුදු 40 රට වෙනුවෙන් යුද බිමෙ සිටි මිනිසෙකුය. තම ජිවිතය පවා පරදුවට තබා සියලු කැප විම් කල නිලදාරියෙකි. අනිත් කරුන නම් බුරුවෙකුත් නොවන බවයි. රට පාවා දුන්නා, හොරුත් එක්ක එකතු උනා මෙ ආකාරයෙන් මොන චොදනාව කලත් ජෙනරල් යනු විශිෂට යුද නායකයෙකි. මහින්ද ජනපති දුරදිග බලා කපටිකමින් තොරව ක්‍රියා කලෙනම් ජෙනරල් නිහඩව ඉදිනු ඇත. මහින්දගෙ කපටිකම් වැඩිවු නිසයි මෙ සියලු දේ සිදුවුයෙ..මගෙ මතය

නාමල් උඩලමත්ත said...

ජෙනරාල් යුද බිමේ විරුවෙක් බවට කිසිදු විවාදයක් නැත. ඒ බව එදා ඔහු ගැලවීමේ හමුදාවටත් සුදුසු නැතැයි කී තක්කඩින්ට වඩා හොඳට ඔහු වෙනුවෙන් එදා පෙනී සිටි අපි දනිමු. ඔහු එදා රටට විරුවෙක් වූයේ ඊළමට විරුද්ධව සිට ගත් නිසාය. රටේ ඒකීයභාවය වෙනුවෙන් පෙනී සිටි නිසා ය. එහෙත් ඔහු අද එහි ප්‍රතිපාර්ශවය සමග එක් වී සිටියි. උතුරු නැගෙනහිර යළි එක් කරන්නට, උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්නට, හමුදා බුද්ධි අංශ අඩු කරන්නට, හිරේ සිටින කොටි නිදහස් කරන්නට කොටින් ම ජීවිත 26 000ක් පුදා දිනූ දේශය යළි මිනී කන්නන්ගේ දේශයක් කරන්නට TNA කොටි රංචුව සමග ගිවිසුමක් ගසා ඇත.

රනිල් සහ ෆොන්සේකා ඒ වෙනුවෙන් අත්සන් කළ ඒ බව කීවේ අප නො ව TNA මන්ත්‍රී තුරෙයිරත්නසිංහම් ය. එසේ වු කළ අප නඟන චෝදනා බොරු යයි ඔබ කියන්නේ කවර පදනමක සිට ද? එය එසේ නොවේ යැයි කිව හැක්කේ ඔබට නොව ෆොන්සේකාට ය. ඔහු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා උතුරු නැගෙනහිර යළි එක් නො කරන බව සහ කිසිදු ආකාරයක බෙදුම්වාදයකට ඉඩක් නො තබන බව ජාතියට කිව යුතුය. එසේ කළොත් ජෙනරාල් නිවැරදි යයි පිළිගත හැකි ය.

ශවේන්ද්‍රලා, ගෝඨාභයලා ජාත්‍යන්තර දං‍ගෙඩියට යවා දෙමළ ඡන්ද දිනා ගැනීමට හොර පාරෙන් ඊළමට පාර කපන ෆොන්සේකාට විරුද්ධවීමට අපට ශුද්ධ අයිතියක් ඇත. ඒ අප එදා මෙන් ම අද ද රට වෙනුවෙන් පෙනී සිටින හෙයිනි. අප එදා ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටියේ ඔහු රට වෙනුවෙන් පෙනී සිටින හෙයිනි. එහෙත් ඔහු දේශප්‍රේමි කඳවුරේ සිටිද්දී අපහාස කළ ලසන්ත මරා දැමුවා යැයි චෝදනා කළවුන්ට අද ෆොන්සේකා කොටි සුරතලෙකු බවට පත්වූවාම වීරයෙකු වීම අපට පුදුමයක් ද නොවේ. එය විය යුතුමය. එහෙත් එදා ගැලවීමේ හමුදා ලොක්නා වීමටත් සුදුසුකම් නැතැයි කී මිනිහා අද රටේ ජනාධිපතිකමට සුදුසු යැයි කියනවුන් කතා කරන්නේ මොන පැත්තේ කටින්දැයි ජනතාව තුළ කුහුලක් ඉපදීම වැළැක්විය හැකි ද? එසේ ම යුගයේ මහා පාවදීම කළ නූතන පිළිමතලාවේ භූමිකාව රඟදක්වන්නා හැරෙන්නේ පොල් පැලයට බව ජනතාවගෙන් වසන් කළ හැකි ද?

මේ පිළිමතාවේ අවසන එක්තරා කතා පුවතක එන නයාට සිදු වූ දේ කර ගන්නවා ඇත. ඒ කතාවේ පරිදි අහිකුණ්ඨකයා දිනපතා නයා රැගෙන නගරයට ගොස් නටවා මුදල් උපයා ගනියි. නයා බිත්තර ආදී ආහාරයෙන් සතපයි. එය ප්‍රමාණවත් නො වූ නයා සිතුවේ තමා තනිවම මේ වැඩේ කළොත් ලැබෙන මුදල් සියල්ල තමාට බවයි. එහෙයින් දිනක් ස්වාමියාගෙන් මිදුණු නයා නගරයට ගොස් පාරක් අයිනේ තනිවම නටන්නට විය. දැවැන්ත පෙණය ලෙළවමින් නටන නයා දුටු මිනිස්සු කළ යුත්ත කළේ ය. ඊට පසු පාර අයිනේ වළක ඒ නයා සදාකාලික ව සැතපුණේ ය.

නිලන්‍ත said...

@නාමල් උඩලමත්ත
එය එසේමය.

නාමල් උඩලමත්ත said...

නිලන්ත ඔබ 2005 සිට සිංහල බ්ලොග් අඩවි හරහා රට වෙනුවෙන් හඬ නැඟවා අපට මතකය. එකල ඔබ ඊළාම්වාදීන් ඉදිරියේ බුහුටි ලෙස හඬ නඝා උන් නිරුත්තර කළා අපට මතකය. ඒ ජයග්‍රහණය සඳහා අප කළ කැප කිරීම් ගඟට කැපූ ඉණි වන්නට ඉඩ දිය යුතු නැත. එහෙයින් වහාම ඒ මෙහෙවර මාතෘභූමිය ඔබෙන් ඉල්ලා සිටින මේ මොහොතේ ලබා‍දෙන්න. මව්බිම තව බොහෝ දේ ඔබට ලබා දෙනු ඇත.

 
සිය රට දේ සිරි සැප දේ !