Monday, August 10, 2009

කතිරය පිටුපස ඇති "ඇත්ත" (2)

අප කියන්නේ ආණ්‌ඩුව මින් ඉදිරියට සෑහෙන කාලයකට ඡන්දයකට ඉදිරිපත් විය යුතු නැති බවයි. මන්ද යත් ආණ්‌ඩුවට තරගයක්‌ නැති නිසා ය. විපක්‍ෂය ඉතා කනගාටුදායක ලෙසත්, භයානක ලෙසත්, ශෝකජනක ලෙසත් දුර්වල වී තිබේ. මහ ඡන්දයකදී ආණ්‌ඩුවට කදිම පාඩමක්‌ උගන්වමු යි තිස්‌ස අත්තනායක මැතිතුමා කියන කතාව ඉතා කම්මැලි, ඈනුම් යන අවලංගු කතාවක්‌ වී තිබේ. මෙය සෑම ඡන්දයක්‌ම පැරදුණු විට කීම පිණිස පුරුදු කරන ලද්දකි. තිස්‌ස අත්තනායක මැතිතුමා ගිරවකු මෙන් මෙයම කියයි. ජනතා විමුක්‌ති පෙරමුණේ ටිල්වින් සිල්වා මහත්මයාගේ අදහස මෙම මැතිවරණය, මැතිවරණයක්‌ ලෙස විග්‍රහ කළ නො හැකි බවත්, ආණ්‌ඩුව තනිවම කළ ඡන්දයක්‌ බවත් ය. තිස්‌ස අත්තනායක මහතා කියන කතාව අපට තේරුම් ගත හැකි වුව ද, ටිල්වින් සිල්වා කියන කතාව නම් කිසි විටෙකත් තේරුම් ගත නො හැක. මේ මැතිවරණය මැතිවරණයක්‌ ලෙස විග්‍රහ කළ නො හැකි නම් විග්‍රහ කළ හැක්‌කේ කුමක්‌ ලෙස ද? ක්‍රීඩා තරගයක්‌ ලෙස ද? නැතහොත් මහා බත් දන්සලක්‌ ලෙස ද? මෙහිදී ටිල්වින් සිල්වා මැතිතුමා කළ යුත්තේ විකාර කතා නො කර ඌව පළාත් සභාව තුළ ජනතා විමුක්‌ති පෙරමුණ වාෂ්පීකරණය වීමට හේතුව සොයා බැලීම ය. පරාජය ලඡ්ජාවට කාරණයක්‌ නොවේ. ජනතා විමුක්‌ති පෙරමුණ සිය ඉතිහාසය තුළ අවස්‌ථා දෙකකදී සංහාරයකට ලක්‌ වුව ද, නැවත වතාවක්‌ අළු මතින් හිස ඔසවා ජනතාව අතර ස්‌ථාවරයක්‌ ගොඩ නංවාගෙන පාර්ලිමේන්තු ආසන ගණනාවක්‌ ම දිනා ගත්තේය.

ආණ්‌ඩුව මේ ඡන්ද දිනන ආකාරය ආණ්‌ඩුවට ද අපහසුවක්‌ වී ඇති බව අපි දනිමු. එකම ළමයකු සිටින පන්තියක පළමුවැනියා වීම, එකම ධාවකයකු සිටින ධාවන තරගයක ජයග්‍රාහකයා වීම, එක තරගකරුවකු පමණක්‌ ඉදිරිපත් වූ බොක්‌සිං තරගයක කුසලාන හිමිකරුවා වීම වැනි තත්ත්වයකට ආණ්‌ඩුව ද පත් වී තිබේ. එහෙත් පළාත් සභාවක බලය ලබා ගැනීම නිතරගයෙන් කළ නො හැකි නිසා ඒවාට ඉදිරිපත්වීමට ආණ්‌ඩුවට සිදු ව තිබේ. රටක විපක්‍ෂය පරිහානිගත වීම ඉතා කලාතුරකින් සිදුවිය හැකි අවාසනාවකි.

රටක විපක්‍ෂය දෙවිදියකට පරිහානියට පත්විය හැකිය. පළමුවැන්න ආණ්‌ඩුව විසින් තලා පෙළා මරා විපක්‍ෂය වනසා දමනු ලැබිය යුතු ය. උදාහරණ ලෙස මාලදිවයිනේ තිබූ තත්ත්වය, ඉරාකයේ ඒක පාක්‍ෂික ආණ්‌ඩු ක්‍රමය යනාදිය දැක්‌විය හැකි ය. දෙවැන්න විපක්‍ෂය විසින් ම පරිහානිය වෙත ගමන් කරනු ලැබීම ය. ශ්‍රී ලංකාව තුළ සිදුව ඇත්තේ මෙකී දෙවැන්න ය. එ.ජා.ප.ය සහ ජ.වි.පෙ. අන් අයගේ මළඉලව් ගැන කතා කරමින් සිටියා මිස දේශපාලන ඉදිරි ගමන ගැන කල්පනා කළේ නැත. ජවිපෙ හැර පාර්ලිමේන්තුවේ සිටින සෙසු විපක්‍ෂවලින් වැඩි හරිය කතා කළේ විකට කතා ය. මේ නිසා ජනතාවට විපක්‍ෂය එපා විය. ඌව පළාත් සභා ඡන්දයේදී ගෙදරට වී සිටිය යුතු යූ.එන්.පී.කාරයන් ඡන්ද පොළට ගොස්‌ ශ්‍රීල.නි.ප. ය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළේ එ බැවිනි. අප ඉදිරිපිට ඇති සත්‍යය මෙයයි. මේ රට වසර 30 ක්‌ පුරාම යුද්ධයක ගිලී සිටි බවත්, ජනාධිපති රාජපක්‍ෂ සිය මළනුවන් හා ත්‍රිවිධ හමුදාව සමඟ එක්‌ව කොටි යුද්ධය පැරදවූ බවත් ජනතාවට මතක තිබේ. ඒ මතකය ප්‍රභාකරන් කියූ සති දෙකේ මතකය නොව තවත් දශක කිහිපයක්‌ ඉදිරියට යන මතකයකි. විපක්‍ෂය තේරුම් ගත යුත්තේ මෙයයි.

(දිවයින_09/08/11)

ටිප්පණිය_2005 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ඌව ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 2කිනි. මෙවර ඌව ආණ්ඩුව ජයගත්තේ වැඩි ඡන්ද ලක්ෂ 2කිනි. මේ ජයග්‍රහණයට හෙවත් විපක්ෂයේ අන්ත පරාජයට හේතු ලෙස විපක්ෂය දක්වන කාරණාවලින් පැහැදිළි වන්නේ නුදුරේ එන සියලු මැතිවරණවලින් ද ඔවුන් නියත ලෙස පරාජය වන බවයි. විපක්ෂය සිය පරාජයට හේතු සොයන්නට කිසිදු අවංක උත්සාහයක් නොගෙන නන් දොඩවයි. කිලිනොච්චියට හමුදාව ගියොත් තම ආගම වෙනස් කරමියි කියූ අයියලා මේ පරාජයේ මහා මොළකාරයෝ ය.

9 comments:

Ramachandra said...

දැන් මෙච්චර කල් ආන්ඩුවට ජන්දය දෙන්න ඕනෙ තර්කය හැදුවෙ යුද්දය දිනන්න නෙ.දැන් යුද්ධය අහවර වෙලා තියෙනවා.එතකොට තවදුරටත් චන්දය දෙන්න හේතුවක් කොහොමද හොයාගන්නෙ?
කෘතගුන සලකන්න චන්දය දෙන එකත් නරකම අදහසක් නෙමේ.
ඒත් ඇමතිවරු තමන්ගේ දෝනියැන්දලාට ලක්ෂ 45 උපන්දින සාද දාන්නෙ,ලක්ෂ 300ක් යට කරල රජතුමා රාජ මන්දිර ඉදි කරන්නෙ,හෙජින් ගිවිසුමේ කෝටිගානක පාඩුව මකාගන්න ජාමු අරමුදලින් කොන්දේසි වලට යටත්වෙලා ආන්ඩුව නය ගන්නෙ ඔය "කෘතගුන සලකන්න"දෙන චන්දය යොදාගෙන වීම තමයි තියෙන ප්‍රශ්නෙ
අතීතය මත යැපෙන්නෙ නැතිව වර්තමානය මත පදනම් වෙලා තීරන නොගෙන බැරි දවසක් මහජනතාවටත් එයි.එදාට අශ්වයා පැනල ගිහිල්ලා තිබුනොත් තමයි අවුල

Priyadarshana said...

ඒකම තමයි දුර්වල විපක්ෂයක් තිබීමේ භයානක කම.

නාමල් උඩලමත්ත said...

ආණ්ඩුව යුද්දේ විතරක් කළේ නැහැ. රටේ සංවර්ධනයටත් වැඩ කළා. මෙච්චර කල් යුද්දේ නිසා ඡන්දේ දුන්නා නම් දැන් දෙන්නේ ඇයි? ලෝක යුද්දේ කෙළවර තෙමසක් තුළ චර්චීල්ගේ ආණ්ඩු වැට්ටා. නමුත් මේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය තව තවත් වැඩි වෙනවා. විපක්ෂය නැත්තට ම නැති වෙනවා. මේ රටේ ජනතාව සමාජවාදී රාජ්‍ය ගොඩ නඟන්න සිහින නොදකින නිසාත් රටේ සංවර්ධනය ප්‍රබෝධය ඔවුන් දකින නිසාත් අවුලක් නැහැ.

ආණ්ඩුවේ හොරෙ‍ක් දෙන්නෙක් හිටියා කියලා ඊට සමස්තය වගකිව යුතු නැහැ. මේ රටේ ඉස්සර සුපිරිසිදු ආණ්ඩු තිබුණෙත් නැහැ. අනෙක සාපේක්ෂව යූඇන්පීය තරම් මේ ආණ්ඩුව නරක නැහැ. ඒ ටික ජනතාව අපට වඩා හොඳට දන්නවා කියලා මේ ඡන්දෙන් පැහැදිළියි. හැබැයි ඉන් අදහස් වෙන් නෑ තිබෙන වැරදි හදා නොගත යුතුයි කියන එක නම්.

Chrishi said...

@ Namal
වැඩ කරල නම් තියනවා ඒත් ඒ වගෙ 10 ගුණයක් වැඩ කරන්න පුලුවන් ණයත් අරන් තියනවා.

ලෝක යුද්දේ කෙළවර තෙමසක් තුළ චර්චීල්ගේ ආණ්ඩු වැට්ටා.

ඒ උන්ට මොලෙ තියන හින්දා

නාමල් උඩලමත්ත said...

ඔව් 1505 ඉඳලා මේ රටේ උපන් එවුන් හිතුවේ සුද්දට මොළේ තියෙනවා. සුද්දාට අරක තියෙනවා. සුද්දාට මේක තියෙනවා කියලා. ඒ විතරක් නෙමේ සිංහලයට මුකුත් බෑ කියලත් සුද්දෝ මේ දීනයන්ට හිතන්න පුරුදු කළා. තාම එවුන්ගේ මී මුනුපුරෝ අපි අතර ඉන්න බව රහසක් නෙමේ. ණය ගැන කීවේ අර මැදවච්චි කරුණානායකගේ න්‍යාය අනුව වෙන්න ඇති නේද? මිනිහා කියපු imf කොන්දේසී කතාව ඊයේ රාමචන්ද්‍ර ගෙඩිය පිටින් කසාපබ්බතේ ලියලා තිබුණා. කවුරු කොහොම කීවත් මේ රටේ ජනතාව තවම ආණ්ඩුව දිහා සුබවාදීව බලනවා. හෙට අනිද්දා දකුණෙන් ඒක නැවත ඔප්පු වෙනවා.

Ramachandra said...

නය ගැන ලිව්වෙ කරුනානායකගෙන් ඉගෙන ගෙන නෙමෙයි.කරුනානායකලාගේ ටියුෂන් නැතිවට රජය කොන්දේසි සහිතව විශාල නයක් අරගෙන අනාගත පරම්පරාව තවත් නය කරල තියෙනව කියන එක තේරුම් ගන්න අපක්ෂපාතිව කල්පනා කරන ඕනෙ කෙනෙක්ට බැරිකමක් නැහැ.මේ නය ගැන ඇත්ත විස්තර සමාජයට ගිහිල්ලා නැහැ.ගිහින් තිබුනා නම් සහ මිනිස්සු මේක හරියට ග්‍රහනය කරගෙන තිබුනා නම් ආන්ඩුවට දෙන්නෙ චන්දෙ නෙමෙයි,හොද පා පහරක්
කැමති නම් නය ගැන කතා කරමුද?

නාමල් උඩලමත්ත said...

හා ...හා.. කොච්චර හොඳද? අපි ණය ගැන කතා කරමු. මොකද මේ රටේ අනාගත පරම්පරාව ණයකාරයින් කරන්න මුලින් ම ණය ගත් ජරා ආණ්ඩුව මේකනේ. අන්න ඒකට මීට කලින් ආණ්ඩු IMF එකටත් ණය දුන්නා. පිට රටකින් කවදාවත් ණය ගත්තේ නෑ. ඒ කාලේ හිටියේ පිට දේශ දීප ජය ගත් අයනේ.

මට මුලින් ම කියන්න. මේ ණය ලබාදීම සඳහා මූල්‍ය අරමුදල දාපු කොන්දේසී මොනව ද? ඊට පස්සේ කියන්න මීට පෙර එජාප ආණ්ඩුව ණය (ණය ගත්තා නම්) ගැනීමේදී මූල්‍ය අරමුදල දාපූ කොන්දේසී මොනවද? ඉතින් මේ ණය සහ කොන්දේසි ගැන ජනතාව දැනුවත් කරලා ඔයාට පුළුවන් මේ බටහිර ගැති ආණ්ඩුව ගෙදර අරින්න. ඊට පස්සේ ඔයාට පුළුවන් IMF එකට තියා සැක්කරයටවත් කොන්ද නොනමන (කොන්දක් තියෙන්න එපායැ නවන්න)පරාක්‍රමබාහු උතුමා බලයට ගේන්න.

පොඩ්ඩක් ඉක්මන් කළොත් 18 වෙනිදා හොඳ අංචියක් අදින්න පුළුවන් ආණ්ඩුවට. මොකද එදාට තමා යූඇන්පීකාරයෝ ඌවේ ඡන්දේ දාන්නේ.

Ramachandra said...

පලවෙනියටම මේ ආන්ඩුව වගේම මීට ඉස්සර තිබුන ආන්ඩු සේරම රටේ මිනිස්සු නයකාරයෝ කලා.නිෂ්පාදන ආර්ථිකයක් නංවන්න මේ කාටවත් වැඩපිලිවෙලක් තිබුනෙ නැහැ.නය මත එදාවේල දුවවන එක තමයි මේ හැමෝගෙම ප්‍රතිපත්තිය වුනේ.ජේආර් ප්‍රේමදාස චන්ද්‍රිකා රනිල් මේ සේරම ගිය මේ පාරේ තමයි මහින්දත් යන්නෙ.නිල් පාට කන්නාඩියෙන් ලෝකය දිහා නොබල වෙන දේවල ගුනාත්මක හරය බලන්න ගත්තොත් මේ නය මෙතෙක් කල් අපි හිරවෙලා උන්න නය උගුල තුල අපිව තවත් හිර කරන එකක් බව පේනවා.ඒක පේන්නේ නැති තරමට මහින්දාභිනන්දනයෙන් අන්ධ වෙලා නම් ඉන්නෙ මට කරන්න දෙයක් නැහැ.
මූල්‍ය අරමුදල නය දෙද්දි කොන්දේසි ඉදිරිපත් කරන රාමුවක් තියෙනවා .ඒ රාමුව මෙවරත් ඇවිත් තියෙනවා.ඇ ඩොලර් බිලියන 2.1ක් කොන්දේසි රහිතව නිකම්ම දුන්න කියලද හිතන්නෙ?
මොනවද කොන්දේසි?
රජය ජාමු අරමුදල එක්ක අත්සන් කල ලේඛනය එලියට දාල නැහැ.එලියට දාල තියෙන්නේ අභිප්‍රාය පල කිරීමේ ලියුම කියන එක විතරයි.ඒ ඇසුරින් කොන්දේසි ගැන දල අවබෝදයකට එන්න පුලුවන්.
- රජ‍යේ සුබසාදන වියදම් කපන එක
- රජයේ ආදායම වැඩි කරන්න බදු ඉහල දාන එක
- විවිද ක්ෂේත්‍රවල ,විශේෂයෙන් ඛනිජ තෙල් සැපයුම හා විදුලි සැපයුම කියන තැන්වල රාජ්‍ය පංගුව අත්හරින එක
මේව වෙනවද නැද්ද කියන එක ඉතිරි අවුරුදු දෙක තුන තුල බලාගන්න පුලුවන්.පහුගිය දවස්වල සම්මත කල විදුලි බල මන්ඩල පනතට ප්‍රකාරව දැන පෞද්ගලිකකරන ක්‍රියාවලිය පටන් අරගෙන තියෙනවා.
එජාපයටත් පැනවූයේ මේ වගේම කොන්දේසි තමයි.එජාපය රටේ මිනිස්සු ගෙදර යැවුවේ ඒකනෙ.මහින්දව ගෙනාවෙ එජාපය ගිය පාරේ යන්න නෙමෙයිනෙ.දැන් මහින්ද කරන දේ හරිද?
අපිට කරන්න පුලුවන් මේවා කියන එක විතරයි.තේරුම් ගන්න තියා සලකා බලන්නවත් අවශ්‍යතාවයක් නැතිව ආයුබෝ වේවා රජානෙනි කියකිය ඉන්න නම් ආසාව තියෙන්නේ ඒකෙන් පලක් වෙන්නෙ නැහැ

නාමල් උඩලමත්ත said...

ඉතින් ඔයා නිකන් කීවේ ණය ගත්ත කොන්දේසී අතැඹුලක් සේ දැන්වා වගේනේ. ඒ වුණාට ඔයා ඒක දන් නෑනේ. අනෙක ඔයා දන්නවානේ අභිප්‍රාය පළ කළ ලියවිල්ලේ තිබුණු දේවල්. ඒ ටික කීවා නම් බළලා මල්ලෙන් පනිනවා. ඒ නිසා අර කොන්දේසී නිසා වෙන්න පුළුවන් දේ ගැන කියනවා. ඒ කොන්දේසි අතර තියෙනවා රජයේ අයවැය පරතරය අඩු කරන්න. පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන බවට පත් කරන්න. ඉතින් මේවා අපි ජනතාව විදිහට ආණ්ඩුවෙන් බලාපොරොත්තු විය යුතු දේවල්නේ. දැන් යුද්ධය ඉවරයි. ඒ නිසා මේ ඉලක්කවලට අපි යා යුතුයි. ඒවාට යන්නේ කොහොමද කියලා අපි බලමු. වික්‍රමසිංහ ගිය පාරේ යනවා නම් ජනතාව එදාට ඔයා කියන විදිහට මේ රජය ගෙදර යවාවි. ඒක අපි බලා ඉමු. ඔයා නිකන් පැන් තලියේ කිඹුල්ලු දකිනවා. ගිය ආණ්ඩු දිහා බලලා මේ ආණ්ඩුවේ කේන්දරය හදනවා. ඒක හරියට ආච්චිගේ කේන්දරේ බලලා මිනිබිරිගේ අනාගතේ කීවා වගේ.
ඔයා ඔක්කොම කියලා අන්තිමට කියනවා 'මේව වෙනවද නැද්ද කියන එක ඉතිරි අවුරුදු දෙක තුන තුල බලාගන්න' කියලා. ඔව් අපි බලමු. ඒවා වෙන් නෑ කියලා මම හිතනවා. එහෙම වුණොත් මම ඔයා එක්ක එක් වෙනවා. මේ ධනපති රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවලා මාක්ස්වාදී සමාජවාදී ලෙනින්වාදී මනෝරාජ්‍ය ගොඩ නගන්න ඔයා එක්ක දිවි හිමියෙන් කැපවෙනවා. අපේ මළ මුත්තපා.

 
සිය රට දේ සිරි සැප දේ !