එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කළ යුතු බවට සංවාදයක් මේ දිනවල පවතී. මේ සංවාදය කාලයෙන් කාලයට අසා, අපට ඉතා පුරුදු ය. කෙතරම් පුරුදු ද යත් දැනටමත් එල්ලුම් ගස ක්‍රියාත්මක වන බව මේ ගැන වැඩි තොරතුරු නො දන්නා කෙනකුට හිතෙන්නට පවා පිළිවන. මේ ගස යළි ක්‍රියාත්මක කළ යුතු බවට විශාලතම හඬ නැගුනේ මෙයට වසර කිහිපයකට පෙර මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කළ විට ය. උසාවියේ ඇසෙමින් පැවැති කුඩු නඩුවක තීන්දුව ඝාතනය සිදු කළ දිනට දින කිහිපයකට පසු ප්‍රකාශ කිරීමට අඹේපිටිය විනිසුරුතුමා බලාපොරොත්තුවෙන් සිටියේ ය.
අදාළ කුඩු ජාවාරම්කාරයා වූ පොට්ට නවුෆර් නමැත්තා රුපියල් ලක්ෂයකටත් අඩු මුදලකට කොන්ත්‍රාත්තුවක් දී විනිසුරුතුමා මැරවී ය. පසුව එල්ලුම් ගසට නියම වූ විත්තිකරුවෝ අදටත් හිර ගෙදර යහතින් සිටිති. ප්‍රධාන විත්තිකරු හෙවත් කොන්ත්‍රාත්තුව ප්රදානය කළ තැනැත්තා අදටත් හිර ගෙදර සැප පහසු ජීවිතයක් ගත කරයි.
විනිසුරු ඝාතනයෙන් පසු විටමින් පීප්ප දහයක් පානය කළාක් මෙන් කෙළින් සිටගත් එවකට පැවැති ආණ්ඩුව එල්ලුම් ගස සඳහා පාකිස්තානයෙන් අලුත් කඹයක් පවා ගෙන්වීය. මේ කඹයට වෙනම ප්‍රචාරයක් දෙන ලදී. කඹය ගෙන්වූයේ චන්ද්‍රිකා ජනාධිපතිතුමියගේ කාලයේදී ය. අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වන අතර කඹයෙන් ගත් වැඩක් නැත. මසකට වරක් පමණ තුන් හතර දෙනකු එල්ලුම් ගසට නියම කරනු ලැබේ. ඒ මිනිසුන් හිර ගෙදරට යවනු ලැබේ. එහෙත් එල්ලුම් ගස නැති බැවින් එකී මනුෂ්‍යයන්ගේ දඬුවම ස්වල්ප කලකින් ජීවිතාන්තය දක්වා වූ දඬුවමකට පරිවර්තනය වන්නේ ය. යහපත් කල් ක්‍රියාව, ජනාධිපති සමාව යන කාරණා යටතේ මෙයින් සිරකරුවෝ කිහිප දෙනෙක් නිදහස ලබති. තවත් භයානක මනුෂ්‍ය ඝාතනයක් සිදුවන තුරු එල්ලුම් ගස පිළිබඳ කතාවට තිතක් තබනු ලැබේ.
එල්ලුම් ගස ක්‍රියාත්මක නොවීමට කාරණය සැකෙවින් මෙසේ ය. විනිසුරුතුමා විත්තිකරුවකුට මරණ දඬුවම නියම කළ ද ඒ දඬුවම ජනාධිපතිතුමා විසින් අත්සන් කර අනුමත කරනු ලැබිය යුතු ය. විත්තිකරු එල්ලිය හැක්කේ එවිට ය. එහෙත් වසර 1977 දී "ධර්මිෂ්ඨ සමාජය" යන ලේබලය යටතේ බලයට පත් වූ ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා මරණ දඬුවම් ලියෑවිලි අත්සන් කර අනුමත කිරීමෙන් වැළකී සිටියේ ය. ඊට පසු බලයට පැමිණි ප්‍රේමදාස ජනාධිපතිතුමා ඡේ. ආර්. ට ලැබුණු ලකුණු තමා ද ලබාගනු රිසිව ඒ දේම කළේ ය. මේ වන විට ලෝකය වෙනස් වී ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල්, ණය දෙන විදේශ සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන යනාදිය තුන්වන ලෝකයේ ජනාධිපතිවරුන් ලෙස ද කියමින් කටයුතු කරන්නට පටන් ගත්හ. කිසියම් රටක් මරණ දඬුවම ක්‍රියාත්මක කරන විට ඒ රටට ණය සහ ආධාර දීමෙන් වැළකී සිටින ලෙසට බලපෑම් කිරීමට ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් වැනි මානව හිමිකම් සංවිධානවලට හැකි විය.
ඒ නිසා එල්ලා මැරිය යුතු අපරාධකරුවන් පෝලිමක් සිටියත් උන් එල්ලා ජාත්‍යන්තර තලයේදී අනාථ වීමට, ඒ වන විට බලයට පැමිණ සිටි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද නො කැමැති වූවාය. එහෙත් ඉතාම නරක තත්ත්වය වූයේ ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානයට අරමුදල් සපයන ඇමරිකාව වැනි රටවල් පවා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ය. මෙය තම බිරියගෙන් පතිව්රතය බලාපොරොත්තු වන වනචර පිරිමින්ගේ කල් ක්‍රියාවට සමාන කල් ක්‍රියාවකි.
කෙසේ වුවද ජාත්‍යන්තර සංවිධාන සහ බලගතු රටවල් සත පහකට ගණන් නොගෙන යුද්ධය නිමා කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කළ හැකි ය. රටේ අපරාධ බහුල ය. නො එල්ලන බැවින් රුපියල් ලක්ෂ දෙක තුනක කොන්ත්‍රාත්තුවක් ගෙන මිනිසකු මරා ස්වල්ප කලක් සිරේ ගතකර ගෙදර යැම ලාභ අධික ව්‍යාපාරයකි. අපරාධකරුවන් නො එල්ලන එල්ලුම්ගසෙන් ඇති ඵලය කිම? එය ගලවා ගෙනවුත් ගාලු මුවදොර පැළ කර කොළ ආ දවසක මැල්ලුම් කමු
(දිවයින_09/08/03)
ටිප්පණිය_'ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට' යන කවි දෙපදය ඇත්තේ සුභාෂිතයේ ය. එය ඇමරිකානුවන් කියවා නැත. ඇතැම් හිංගලයින් ද කියවා නැත. එහෙයන් ඒ උතුමෝ තම ඇහේ පරාළ නොදකිති. අන් ඇහැක රැදි කෙහේ ගහ දකිති. මෙරට සිටින කළු සමැති සුද්දෝ ද සුදු වැදි බණ ම මතුරති. ඉන් අපට කම් නැත. ත්රස්තවාදයට තිත තැබූ සේ අපරාධ රැල්ලට ද තිත තැබිය යුතු ය. ඒ සඳහා එල්ලුම් ගස කදිම ය. පකිස්ථානයෙන් ගෙන ආ ලක්ෂ 2 1/2 කඹය නිකරුණේ දිරා යාමට ඉඩ නොදිය යුතු ය.
Sunday, August 2, 2009
Subscribe to:
Post Comments (Atom)
1 comment:
මොකක්ද මේ නලින්ගෙයි අමරසේකරගෙයි වලිය? කවුරු හරි මේ ගෑන වෑඩි විස්තර දන්නවද?
Post a Comment