Friday, August 21, 2009

දෙමළ ප්‍රශ්නය සහ බලය බෙදීම

දෙමළ ජනතාවට ප්‍රශ්නයක්‌ වී ඇත්තේ ඔවුන් දේශපාලනික වශයෙන් බල රහිත වීම යෑයි සමහර විචාරකයින්ගේ මතය වී ඇති බව පෙනේ. දෙමළ ජනතාව මේ නිසා කොන් වී ඇති බවක්‌ ඔවුනට මහත් සේ දැනෙන බව පැවසේ. මෙසේ සිදුවී ඇත්තේ තීරණ ගැනීමේ අයිතිය ඔවුන් සතු නොවන නිසා බව එම විචාරකයන්ගේ අදහස වී ඇත. දෙමළ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීන් සංඛ්‍යාව පිළිබඳව ඔවුන්ගේ ජන අනුපාතවලට අනුලෝමව බැලුවිට සෑහීමකට පත්විය හැකි බව පෙනේ.

තවද දෙමළ ජනතාවගේ ආගම, සංස්‌කෘතිය සහ ඔවුන් ජීවත් වන පළාත්වල සංවර්ධනය සොයා බැලීම පිණිස ඇමැතිවරුන් කිහිපදෙනෙක්‌ද පත් කර ඇත. විශේෂයෙන්ම සඳහන් කළ හැක්‌කේ ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රමයේ බලවත් අංගයක්‌ වන විධායක ජනාධිපතිවරයා ඡන්දයකින් පත්කර ගැනීමට සුළු ජාතීන්ගේ ඡන්ද අත්‍යවශ්‍ය බවය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට විශාල බලයක්‌ ව්‍යවස්‌ථාව මගින් ලබා දී ඇත.

ඒ මගින් දෙමළ ජනතාවගේ ස්‌වාධිපත්‍ය ප්‍රකාශ කිරීමක්‌ සිදුවන බව කිවහැක. එලෙසම දේශපාලන බලය ස්‌ථානගත වන ව්‍යවස්‌ථාදායක, විධායක සහ අධිකරණ යන සංස්‌ථා ත්‍රිත්වය තුළද පවතින දෙමළ නියෝජනය පිළිබඳව සෑහීමකට පත්විය හැකි බව පෙනේ. එනමුත් දෙමළ ජනතාව දේශපාලනිකව බල රහිත වී ඇති බව පැවසේ. පාර්ලිමේන්තුවේ දෙමළ නියෝජිතයන්ගේ සංඛ්‍යාව සුළුතරයක්‌ වීම නිසා ඔවුන්ට අදාළ ප්‍රශ්න පිළිබඳව වුවද තීරණයක්‌ ගැනීමට ඔවුන්ට නොහැකි වීම මීට හේතුව බව පෙන්වා දී ඇත. මේ ප්‍රශ්නය විසඳීම පිණිස දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශවලට දේශපාලන බලය බෙදා දිය යුතු යෑයි මෙම විචාරකයන්ගේ අදහස වී ඇත. එවිට ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව ඔවුන්ට තීරණ ගත හැකිය.

බලය බෙදීම දෙමළ ප්‍රශ්නයට විසඳුමක්‌ වීමට නම් ඔවුන් ජීවත් වන ප්‍රදේශවල බහුතරය දෙමළ විය යුතුය. එසේ නොමැතිව ඔවුන් සුළුතරයක්‌ වේ නම් තීරණ ගැනීමේ බලය ඔවුනට ලැබෙන්නේ නැත. එසේම දෙමළ ජනයාගෙන් සෑහෙන ප්‍රමාණයකට තීරණ ගැනීමේ අයිතිය මේ විසඳුමෙන් ලබාදිය යුතුය. දේශපාලන බලය බෙදීම වැනි අත්‍යන්ත බලවත් වෙනස්‌කමක්‌ කළ යුත්තේ එය සාධාරණීකරණය කළ හැකිදැයි සලකා බලාය. දෙමළ ජනතාවගේ බහුතරයකට තීරණ ගැනීමේ බලය එම විසඳුමෙන් ලැබෙන්නේ නැති නම් එය සාධාරණීකරණය කළ නොහැක.

දෙමළ ජනතාව බහුතරයක්‌ ලෙස පදිංචි වී සිටින්නේ කුමන පළාත්වල දැයි යන්න මෙම ප්‍රශ්නයට අදාළ ඉතාමත් වැදගත් කරුණක්‌ බව කිව යුතුය. දෙමළ ජනතාවගෙන් කෙතරම් ප්‍රමාණයකට බලය බෙදීම් හේතුවෙන් තීරණ ගැනීමේ හැකියාව ලැබේදැයි කිව හැක්‌කේ දෙමළ ජනතාව කෙතරම් ප්‍රමාණයක්‌ ඒකරාශී වී සිටිදැයි සොයා බැලීමෙනි. ඔවුන්ගෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක්‌ ජීවත් වන්නේ උතුර සහ නැගෙනහිර පළාත්වලින් පිටත බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. උතුර සහ නැගෙනහිර පළාත්වලින් පිටත ජීවත් වන දෙමළ ජනයා බහුතරයක්‌ ලෙස ඒකරාශී වී සිටින පළාත් නොමැති බවද පෙනී යයි.

නැගෙනහිර පළාතේද දෙමළ ජනතාව බහුතරයක්‌ නොවන බව පෙනේ. එම පළාතේ සිංහල හා මුස්‌ලිම් ජනතාව එකතු වූ විට දෙමළ ජනතාව සුළුතරයක්‌ වන බව සංඛ්‍යාලේඛනවලින් පෙන්වාදිය හැකිය. දෙමළ ජනයා බහුතරයක්‌ වන තරමට ඒකරාශී වී සිටින්නේ උතුර පළාතේ පමණක්‌ බව පෙනේ. උතුර පළාතේ ජීවත් වන දෙමළ ජනතාවගේ සංඛ්‍යාව මුළු දමිලයින්ගෙන් තුනෙන් එකකට වඩා ස්‌වල්පයක්‌ වැඩිය.

මින් පෙනී යන්නේ පාලන බලය බෙදීමෙන් සෙතක්‌ සිදුවන්නේ නම් එසේ සිදුවන්නේ දෙමළ ජනතාවගෙන් තුනෙන් එකකට වැනි සුළු ප්‍රමාණයකට පමණක්‌ බවය. එසේ නම් එය සාධාරණීකරණය කළ හැකිද? දේශපාලන බලය බෙදීම වනාහී සුළු පටු වෙනසක්‌ සිදුකරන්නනක්‌ නොවේ. ජනතාවගේ පරමාධිපත්‍යය දුර්වල කිරීමට ඉවහල් විය හැකි වෙනසක්‌ ඉන් සිදුවිය හැකි බව සැලකිය යුතුය.

ජෝන් ලොක්‌ නැමති ශ්‍රේෂ්ඨ ඉංග්‍රීසි ජාතික දේශපාලන දාර්ශනිකයාගේ (17 වෙනි ශ.ව.) අදහසට අනුව දේශපාලන බලය පිහිටා ඇත්තේ ජනතාවගේ පරමාධිපත්‍යය මතය. ලොක්‌ වනාහි දේශපාලන බලය පිළිබඳ ඉතාම වැදගත් සංකල්ප ඉදිරිපත් කළ විද්වතෙකි. ව්‍යවස්‌ථාදායකය. විධායකය සහ අධිකරණය යන සංස්‌ථා ත්‍රිත්වය ප්‍රධාන ලෙස ඔහුගේ නිපැයුමකි. එම සංස්‌ථා අතර තිබිය යුතු බල තුලනය ගැන හෙතෙම පවසා ඇත්තේ එය ඉතා ප්‍රවේශමෙන් රැකිය යුතු බවය. පරමාධිපත්‍ය ජනතාවගේ සාමුහික ශක්‌තියක්‌ බවත් දේශපාලන බලය තුළින් එය රැකෙන බවත් හෙතෙම සඳහන් කොට ඇත.

දේශපාලන බලය සංගතික රාමුවක්‌ තුළ පවතින කල පරමාධිපත්‍ය රැකෙන බවත් එය බෙදා වෙන් කිරීමට තුඩුදෙන ක්‍රමයක්‌ පිහිටුවීමෙන් පරමාධිපත්‍ය දුර්වල වන බවත් ජෝන් ලොක්‌ පවසා ඇත. ජනාධිපති ක්‍රමය සංගතික ශක්‌තියක්‌ ඇති කිරීමේ එක්‌ මාර්ගයක්‌ වන අතර පාලන බලය බෙදීම වනාහී වෙන් කරන්නට තුඩුදෙන ශක්‌තියක්‌ ඇති කිරීමේ මාර්ගයක්‌ බව සැලකිය යුතුය. ජනාධිපතිවරණයකදී සුළු ජාතීන්ගේ ඡන්දය යම් ප්‍රමාණයකට ලබා නොගෙන කෙනකුට ඡන්දය ජය ගත නොහැක.

එසේ පත් කරගන්නා ජනාධිපතිවරයකු සුළු ජාතීන්ගේද ජනාධිපති යෑයි ඔවුන්ට හැඟීමක්‌ ඇති විය හැක. ජනාධිපතිවරයාට අයත් වන විධායක බලතල අතිමහත් වන හෙයින් විධායකය තුළ සුළු ජාතීන්ගේ නියෝජනය බලගතු බව කිව හැක. මේ ලෙසින් රටේ ජීවත් වන ජන කොටස්‌ සැමගේ සාමූහික පරමාධිපත්‍යය ශක්‌තිමත් වන බව පෙන්වාදිය හැකිය. දේශපාලන බලය බෙදීම තුළින් සිදු වන්නේ මීට විරුද්ධ වූ ක්‍රියාවලියකි.

විධායක ජනාධිපතිවරයා වෙත හිමි වී ඇති බලය හේතුවෙන් තනි පුද්ගලයකු තුළ බලය කේන්ද්‍රගතවීම වැළැක්‌විය නොහැක. මෙම ක්‍රමය තුළ දූෂිතභාවය ඇතිවන බවත් එම නිසා ඉන් අවැඩක්‌ සිදුවන බවත් ජනාධිපති ක්‍රමයට විරුද්ධ වන්නන්ගේ මතය වී ඇත. එනමුත් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් රැකීමට ඇති මාර්ග අතරෙන් මෙම ක්‍රමය ඉතා හොඳ එකක්‌ බව පිළිගැනේ. ඉන් සුළු ජාතීන්ගේ අයිතීන් රැකෙන අතර මහා ජාතීන්ට හානිකර දෙයක්‌ සිදු නොවේ. තවද එම ක්‍රමය සෑම ජාතීන්ගේම එකමුතුව ශක්‌තිමත් කරන අතර ඔවුන්ගේ සාමූහික පරමාධිපත්‍යය තහවුරු කරයි.

සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සුරැකීම පිණිස එක්‌සත් ජාතීන්ගේ සම්මේලනය විසින් සම්මත කරගන්නා ලද ප්‍රකාශනයට (18.12.1992 47/135 වැනි සම්මුතිය) අනුව ඔවුන්ගේ භාෂාව, ආගම, සංස්‌කෘතිය, අධ්‍යාපනය, ආර්ථිකය සහ එවැනි මූලික අයිතීන් සුරක්‍ෂිත කොට වැඩිදියුණු කිරීමට සෑම රජයක්‌ම බැඳී සිටියි. තවද සුළු ජාතීන්ගේ ප්‍රජා සහ දේශපාලන අයිතීන් සුරැකීම පිණිස සම්මත කරගන්නා ලද අන්තර් ජාතික ගිවිසුමේ 27 වැනි වගන්තියට (16.12.1966 දිනැති අංක 22004 (ඞඞෂ) සම්මුතිය) අනුව සුළු ජාතීන්ට රටේ අණ පනත් සම්පාදනය කිරීම සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගිවීමට රජය විසින් ඉඩ සලසා දිය යුතුය.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශිත ඉහත සඳහන් සම්මතවලට අනුකූලව ශ්‍රී ලංකා රජයයන් ක්‍රියාකොට ඇති බව පෙනේ. දෙමළ ජනතාවගේ භාෂාව රාජ්‍ය භාෂාවක්‌ ලෙස ව්‍යවස්‌ථාව මගින් ප්‍රකාශකොට ඇත. ඔවුන්ගේ ආගම සංස්‌කෘතිය සහ අනිකුත් අයිතීන් සුරක්‍ෂිත කරන බවට ව්‍යවස්‌ථාව මගින් ප්‍රතිඥ දී ඇත.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් බලය බෙදීම පිළිබඳ ප්‍රකාශන නිකුත්කොට නොමැත. සුළු ජාතීන්ගේ අයිතීන් සුරැකීම පිණිස දේශපාලන බලය බෙදාදිය යුතු යෑයි එම සංවිධානය විසින් මොනම අවස්‌ථාවකදීවත් තීරණයක්‌ ගෙන නොමැත. සුළු ජාතීන්ට සර්වජන ඡන්දය හිමිවන්නේ නම් එම මාර්ගයෙන් දේශපාලන බලය අවශ්‍ය ප්‍රමාණයට ඔවුන්ට ලැබී ඇති බව එම සංවිධානය විශ්වාස කරන බව මින් පෙනී යයි.

ඡන්දය පාවිච්චි කිරීමේ නිදහස ද නියෝජිතයන් තෝරා ගැනීමේ නිදහස ද එම නියෝජිතයන් ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන්ට අවශ්‍ය පරිදි විසඳන්නේ නැත්නම් එම නියෝජිතයන් වෙනුවට වෙනත් නියෝජිතයන් තෝරාපත් කර ගැනීමේ නිදහස ද සුළු ජාතීන් සතුව ඇත. සෑම රජයකින්ම එක්‌සත් ජාතීන්ගේ සංවිධානය බලාපොරොත්තු වන්නේ එම නිදහස සුළු ජාතීන්ට ලබාදීම බව පෙනී යයි. සුළු ජාතීන්ට ඉන් ලැබෙන දේශපාලන බලය ප්‍රමාණවත් බවද එම සංවිධානය අදහස්‌ කරන බව කිව හැක.

ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ ව්‍යාපාරයක්‌ තිබෙන බව අප දනිමු. එය රට තුළ පමණක්‌ නොව ලෝක ව්‍යාප්ත බවද නොරහසකි. එම ව්‍යාපාරයට ඉතාමත්ම බලසම්පන්න රටවල් අනුග්‍රහය දක්‌වන බව පෙනේ. ඔවුන්ගේ සැඟවුණු අභිප්‍රායයන් මොනවාදැයි සිතා ගැනීම එතරම් අසීරු කරුණක්‌ නොවේ.

සැමදා යටත්විජිතවාදය වංක ලෙස ක්‍රියාවට නඟන එම රටවල්වලට අවශ්‍යව ඇත්තේ ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය දුර්වලකොට දෙකඩ කිරීමේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යැමය. ඉන්දියන් සාගරයේ වැදගත් ස්‌ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව අනාගතයේ ඇති විය හැකි සීතල යුද්ධයකදී ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි දුර්වල කොට තැබීම ඔවුන්ට අවශ්‍යව ඇත. දේශපාලන බලය බෙදීම වනාහී මෙම ව්‍යාපාරයට පාර කපන වැඩපිළිවෙළක්‌ බව සිහියේ තබාගත යුතුය.

මහාචාර්ය එන්.ඒ.ද.එස්‌. අමරතුංග
(දිවයින_09/08/21)

ටිප්පණිය_බලය බෙදීම යනු අධිරාජ්‍යවාදී අවශ්‍යතා වෙනත් මුහුණුවරකින් කරළියට පැමිණිමත් බව අපි පුනපුනා කීවෙමු. මේ ලිපියෙන් එය මැනවින් පැහැදිළි කෙරේ. වර්ග බේදයකින් තොරව ජනතාව පෙළන ප්‍රශ්නය සම්පත් බෙදී යාමේ විෂමතාවයි. අප විසඳුම් දිය යුත්තේ ඊට ය. ඊට විසඳුම රට සමස්තයක් ලෙස සංවර්ධනය කරා ගෙන යාමයි. කොළඹට මෙන් ම ගමට ද කිරි ලබාදීමයි.

2 comments:

හම්සා අහමඩ් said...

1."දෙමළ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීන් සංඛ්‍යාව පිළිබඳව ඔවුන්ගේ ජන අනුපාතවලට අනුලෝමව බැලුවිට සෑහීමකට පත්විය හැකි බව පෙනේ".-
අද අමැතිවරු කීයක් ඇත්ද නමුත් ඔවුට තමන්ගෙ අදහස් ක්‍රියත්මක කල නොහැක එම නිසා මන්‍රිවරු ගනනින් වැඩක් නැත

2."ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රමයේ බලවත් අංගයක්‌ වන විධායක ජනාධිපතිවරයා ඡන්දයකින් පත්කර ගැනීමට සුළු ජාතීන්ගේ ඡන්ද අත්‍යවශ්‍ය බවය"-සුලුජාතීන්ගෙ චන්ද ලබාගැනීමට ජනාධිපතිවරු සහා පක්ස හැම්දාම පොරොන්දු ලබා දෙති නමුත් බලයට පැමිනි පසු ඒවා ක්‍රයාත්මක නොකරති- උදාහරන එමට ඇත

3. "ඔවුන්ගෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක්‌ ජීවත් වන්නේ උතුර සහ නැගෙනහිර පළාත්වලින් පිටත බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි"-
මෙකත් සත්‍යයි

4. විසදුම ඇත්තෙ මෙතනය (උපුටා ගැනීම-http://beyondframe.wordpress.com/2009/08/22/9ag2/)-"රටට අවශ්‍ය දේවත්වයෙන් වන්දනා මාන කරන රජවරුන් නොව සෙන්පතියන් නොව ශක්තිමත් ආයතන හදන -ඒවාට අදාළව නීති පද්ධති ක්‍රමවේද ආචාර ධර්ම ගොඩ නගන- අයවලුන් බව තේරුම් ගැනීමට අපේ රටට තව කොපමණ කල් ගත‍ වේද?"

නාමල් උඩලමත්ත said...

අන් නමකින් පෙනී සිටින මිතුර - හම්සා,
1, 2. කියන දේ නොකිරීම බොරු පොරොන්දු දීමට දේශපාලකයාට වර්ග බේදයක් නැත. එය සිංහල දෙමළ මුස්ලිම් හැමෝම කරති. එය සැමට පොදු ප්‍රශ්නයකි. එහෙයින් එය මෙතනට අදාළ නැත.

4. මේ කරුණ ගැන මට කීමට ඇති දේ මෙසේ ය. යම් යම් දේවල් අපට දුටු සැනින් සත්‍ය සේ පෙනේ. ඇතැම් සත්‍ය අපේ පියවි ඉන්ද්‍රියවලට හසු නොවේ. අපට හිරු පෘථිවිය වටා යන්නා සේ පෙණුනත් එය එසේ නොවේ. එහි අනිත් පැත්ත ය සිදුවන්නේ. ජනතාව නිකරුණේ දේශපාලකයින් පුදන්නේ නැත. ජනතා පිදුම් බලෙන් ලැබිය නොහැකි බවට නිදසුනකි, පේමදාස ජනාධිපතිවරයා. රටට යම් සේවයක් කළේ නම් කවුරු කැමති වුවත් අකමැති වුවත් ජනතාව ඒ නායකයින් පුදති. තම බංකොලොත් දේශපාලන මතවාද සහ පක්ෂ කුණු කූඩයට විසි වන විට ප්‍රතිවාදී දේශපාලන මතවාද කුහක ලෙස හෙළා දැකීම ඇතැමුන්ගේ සිරිතකි. ඔවුන්ට අනෙකාගේ හොඳක් කිසිවිට නොපෙනේ. ඉතිහාසය පුරා මේ රටේ ජනතාව වීරයින් සහ ද්‍රෝහීන් නිවැරදිව හදුනා ගෙන තිබේ. මහසෙන් දෙවියෝ රහසිහ දෙවියෝ ලෙස ඇතැම් රජුන් දේවත්වයෙන් පුදන අතර දොන් ජුවාන් ධර්මපාල වැන්නෝ ද්‍රෝහීන් ලෙස හංවඩු ගසා තිබේ. එහෙයින් ජනතාවට පාර පෙන්නන්න යන අය පළමුව තමන් නිසි මග යන බවට සහතික කරගත යුතුය.

 
සිය රට දේ සිරි සැප දේ !