රාජ්‍ය ආයතන විස්‌සක දූෂණ හා වංචා හෙළිදරව් කරමින් නිකුත් වූ කෝප් වාර්තාව නිසා එම ආයතන කෙරෙහි වූ ජනතා විශ්වාසය පලුදු වී තිබේ. සමහර විට රටේ සියලුම රාජ්‍ය ආයතන ගැන ස්‌වාධීන පරීක්‍ෂණයක් කළ හොත් ලැබීමට ඉඩ ඇති ප්‍රතිඵල සමූහය බෙහෙවින් භයානක ය. කෝප් වාර්තාව ගැන සාකච්ඡා නො කර මේ රටේ දූෂණ ගැන කතා කිරීමට මෙය අවස්‌ථාව කර ගනිමු. සමහර පෞද්ගලික ආයතන රජයට පවරා ගත යුතු බවට ව්‍යාපාරයක් මේ දිනවල පවතී.
අලුත් කෝප් වාර්තාව දුටු අපට මේ ව්‍යාපාරය ගැන බියක් හටගෙන තිබේ. මේ ව්‍යාපාරයට සහයෝගය දෙනවා ද නැද්ද යන්න හරියාකාරව තීරණය කර ගැනීමට අපට නො හැකිව තිබේ. මන්ද යත් පෞද්ගලික අංශයට අයත් ව්‍යාපාරයක් රජයට එකතු වීම යනු එම ආයතනය රාජ්‍ය දූෂණයේ මකර කටට යැම වන නිසා ය. ආණ්‌ඩුවේ සල්ලිවලින් සැප ගන්නේ කෙසේ ද යන්න මේ රටේ දේශපාලනඥයන්ට උගන්වන ලද්දේ 1970 දී බලයට පත් වූ සමගි පෙරමුණ රජයයි. ඒ ආණ්‌ඩුව පැවැති කාලයේදී පිටරටින් කිරි පිටි ගෙන්වීම තහනම් කළ නිසා රටේ කිරි පිටි හිඟයක් ඇති විය.
ආණ්‌ඩුව එය කළේ දේශීය නිෂ්පාදනය නැංවීම සඳහා සද්භාවයෙනි. එහෙත් ඒ ආණ්‌ඩුවේ ඇමැතිවරුන්ගේ මන්දිර තුළ පිටරටින් ගෙන්වූ කිරි පිටි ඕනෑතරම් තිබූ බවත් එක් ඇමැතිවරයකුගේ සත්ත්ව ගොවිපලේ සතුන්ට ආහාර පිණිස කිරිපිටි ගෝනි ගණන් ගබඩා කර තිබූ බවත් පසුව හෙළි විය. මෙසේ කිරි පිටි පැකට්‌ටුවකින් හෝ රැකියාවක් ලබා දීමට තරුණියක් බිලි ගැනීමෙන් ඉතා ප්‍රාථමික ලෙස පටන් ගත් රාජ්‍ය දූෂණය 1977 දී බලයට පත් එ.ජා.ප. රජය සමයේදී අතු පතර විහිදුනු මහා ගසක් ලෙස වැඩී ඵල දරන්නට ද විය. මේ ගස ඉතා භයානක ගසක් විය.
ඒ යටින් ගමන් කළ ඕනෑම ආයතනයක් හෝ පුද්ගලයකු වීද, ඒ ගසේ විසූ යක්‍ෂයා විසින් ඒ මොහොතේදීම ගිල දමන ලදී. කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය, ගම් උදාව හෙවත් නිවාස දසලක්‍ෂයේ වැඩපිළිවෙල, ජනසවිය ඇතුළු රජයේ සියලුම වැඩපිළිවෙළ හරහා මුදල් ගසාකන ලදී. අගමැති ප්‍රේමදාසගේ ජනසවිය සංකල්පයක් වශයෙන් ඉතා උසස් විය. එහෙත් එයට සම්බන්ධ වූ සමහරුන් විසින් මුල සිට අගට යන තෙක්‌ම ගසා කෑම නිසා ජනසවිය අසාර්ථක විය.
1977 දී බලයට පත් වූ ජයවර්ධන රජයේ ඇමැතිවරයකු නිතර කියූ ප්‍රකට කියමනක් මෙහිදී මතක් කරමු. එනම් මේ රටේ ආණ්‌ඩුවේ කටයුත්තක් සඳහා රුපියල් දහයක් අවශ්‍ය තැනක් වෙත් ද, එතැනට රුපියල් පහළොවක් නිකුත් කළ යුතු බව ය. හේතුව රුපියල් දහයෙන් පහක් එය අතට ලැබෙන මොහොතේදී ම ගසා කන නිසා වැඩය අතරමගදී ඇන හිටීම ය. රුපියල් පහළොවක් නිකුත් කළ විට රුපියල් පහක් ගසා කා ඉතිරි රුපියල් දහයෙන් වැඩේ නිම කළ හැකි ය. මෙයින් වැටහෙන්නේ දූෂණය රටේ ජන සමාජය තුළට කිඳා බැස ඇති බව ය.
ශ්‍රී ලංකාව යළි ගොඩ නැංවීමේ කාර්යාවලියේදී ත්‍රස්‌තවාදය විනාශ කිරීමට මුල් තැන දෙන ලදී. ඊළඟට ආණ්‌ඩුව අදහස් කළේ පාතාලයට අත තැබීමට ය. ස්‌ථිර වශයෙන් ම මේ හා සමගාමීව රටේ දූෂණය ද විනාශ කළ යුතුය. 1970 දී "අසමත් රාජ්‍යයක්" වෙනුවෙන් අප ඇරැඹි ගමන දැන් අවසන් කළ යුතුව තිබේ. මේ රට ස්‌ථිර වශයෙන්ම ගොඩනැංවිය හැකි ය. එයට සියලු පක්‍ෂවල සහාය ද ලැබිය යුතු ය.
(දිවයින-09/08/21)
ටිප්පණිය- හොරකම් ගැන එකිනෙකාට ඇඟිලි දිගුකර ගැනීමට මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකට ම අයිතියක් නැත. මන්ද සිය පාලන කාලවල සියලු ආණ්ඩු රිසි සේ හොරකම් කළහ. එහෙයින් මේ හොරු කළ යුත්තේ අනාගතයේ හෝ හොර හංවඩුවෙන් මිදීමට අද සිට යහපත් ලෙස වැඩ කිරීමය. අද අදූරදර්ශී නායකත්වය විසින් ගමනක අවසානය කරා වේගයෙන් රැගෙන යන ජවිපෙට දූෂණ ගැන කතා කිරීමට අයිතියක් තිබේ. මන්ද ඔවුන් කලක් පාලනය කළ අමාත්‍යංශ ඊට සාක්ෂි දරන බැවිනි. එහෙත් ඒ අයිතිය දඩමීමා කරගෙන පදනම් විරහිත චෝදනා එල්ල කිරීම ද පක්ෂයේ වර්තමාන පිරිහීම පිළිබිඹු කරන්නකි. කෝප් වාර්තාව වූ කලී මේ රටේ සැට වසරක පාලනයේ ශේෂ පත්‍රයයි.
Thursday, August 20, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment